2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ඊළඟ ඉනිම

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

අලුත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතා මෑත ඉතිහාසයේ සිව්වැනි වරට අගමැති ධූරයේ අද (09) කැලණිය රජමහා විහාරයේදී දිව්රුම් දීමට නියමිතය. අගෝස්තු 05 ඡන්දයෙන් ඉතා විශිෂ්ට වූත් ඓතිහාසික වූත් ජනවරමක් ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් නායකත්වයෙන් රට ඉදිරියට කරගෙන යාමේ වගකීම පැවරෙයි. ලැබූ ජනවරමට සාධාරණත්වය ඉටුකිරීම අලුත් රජයේ සියලු මැති ඇමැතිවරුන්ගේ යුතුකම වෙයි.

අලුත් ආණ්ඩුව බලයට පත්වෙන්නේ රට මුහුණ දී ඇති අභියෝග රැසක් ඉදිරියේ තබාගෙන බව රහසක් නොවේ. ඒ අභියෝග අතර රටේ ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුවලට මුල් තැනක් හිමි වෙයි. තමන්ට ඡන්දය ලබා දී මැතිසබයට යවන මහජනතාවගේ බලාපොරොත්තු සියල්ල ඉටු කිරීමට කිසිම ආණ්ඩුවකට හැකියාවක් නැත. එහෙත් ඔවුන් තුළ ඇති අවම බලාපොරොත්තු හෝ යම් පමණකට ඉටුකිරීමට ප්‍රමුඛත්වය ලබාදීම අවශ්‍යය. ඒ සඳහා මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම එකවරම ඇරඹිය යුතු නැත. එහෙත් රටේ පීඩිත ජනතාව දෛනිකව මුහුණ දෙමින් සිටින ගැටලු කෙරෙහි ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු කිරීමෙන් ඇතැම් සරල ගැටලුවලට විසඳුම් සොයා ගැනීම අපහසු නොවේ. එය ආණ්ඩුවේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු අවශ්‍යතාවකි.

මෑත කාලයේ දෙවතාවක්ම ඉතා විශාල බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතා මූලික විය. 2010 වසරේදී පැවැත්වූ මහ මැතිවරණයේදී ඉතා විශාල ජයක් ලබාගත් අවස්ථාවේ රටේ ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඉන්පසුව මෙවර ඔහු මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය ලබාදෙන්නේ අග්‍රාමාත්‍යවරයා වශයෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබූ අවස්ථාවේද ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. එසේ පළපුරුදුකම් ඇති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් ඇතුළු ආණ්ඩුව කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පලුදු නොවන සේ වැඩ කිරීමට මුල්තැන ලබාදීමට නායකත්වය දිය යුතුවෙයි. හැකි ඉක්මනින් වැඩට බැසීමෙන් රටේ මේ වනවිට එක තැන සිර වී ඇති යාන්ත්‍රණය යළි පණ ගැන්වීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව උදා කරගත හැක.

රට වර්තමානයේ ප්‍රධාන වශයෙන් මුහුණ දී සිටින්නේ ආර්ථික ගැටලුවටය. එය අපේ රටට පමණක් සීමා වූවක් නොවේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහොමයක් ධනවත් - බලවත් රටවල් සිටින්නේ ආර්ථික වශයෙන් කොර ගසමිනි. එහෙත් එවැනි රටවලට ආර්ථිකය ඔසවා ගැනීම අපට තරම් ගැටලුවක් වන්නේ නැත.

එම රටවල පවතින ධන සම්පත් උපයෝගී කර ගනිමින් ඔවුන්ට බොහොමයක් ගැටලු විසඳාගත හැකිය. එහෙත් අපේ රට එසේ නොවේ. දිගටම පැවති දුර්වල ආර්ථිකය අතරමගදී කඩාවැටුණු කොවිඩ් - 19 මරාලය හේතුවෙන් ඉතා බරපතළ අනතුරකට මුහුණ දෙමින් සිටී. එහි යථා තත්ත්වය පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීමට ආණ්ඩුව වගබලාගත යුතු වෙයි.

ඒ සඳහා රටේ ආර්ථිකයේ ප්‍රධානම කුලුනු හතර වන කෘෂිකර්මය, කර්මාන්ත සේවා සහ නිපැයුම් සඳහා බදු සහන ලබාදීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට ආණ්ඩුව සතුව අලුත් සැලසුම් තිබිය යුතුය. මෙවර පාර්ලිමේන්තුව අලුතින්ම තේරී පත් වූ මන්ත්‍රීන් පිරිසකගෙන්ද සමන්විත වෙයි. රටේ ප්‍රගමනය සඳහා එවැනි සැලසුම් හදද්දී පාර්ලිමේන්තුව තුළින් ඉටු කෙරෙන කාර්යභාරයේ ඔවුන්ද සජීවී කොටස්කරුවන් බවට පත්විය යුතුය. පාර්ලිමේන්තුවට එන්නේ උඩබලාගෙන සිටීමට හෝ නිදාගැනීමට නොවන බවත් වැටුප්, දීමනා සහ වරප්‍රසාද ලබාගැනීමට පමණක් නොවන බවත් ඔවුන් විසින් අවබෝධ කරගත යුතුව ඇත.. මේ අලුත් මන්ත්‍රීවරැන් අතර රටේ අනාගත නායකයන් ද සිටිය හැකි බවද මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වීම වරප්‍රසාදයක් බව සැබෑය. එහෙත් එම වරප්‍රසාදය භාවිත කළ යුත්තේ තමන්ට ඡන්දය ලබාදුන් මහජනතාවගේත් තමන් ජීවත් වන රටේත් යහපත වෙනුවෙන් බව කිසිවිටෙක අමතක නොකළ යුතුය. අප මෙසේ කියන්නේ පාර්ලිමේන්තුවට පැමිණීමට පමණක් මහජනතාවගේ ඡන්දය උපයෝගී කරගන්නා මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් අප ඕනෑතරම් දැක තිබීම හේතුවෙනි. බලවත් ආණ්ඩුවක ඇමැතිකම පමණක් නොව මන්ත්‍රීකම වුවද අවශ්‍යනම් තමන්ගේ බඩගෝස්තරය සඳහාම පමණක් භාවිත කළ හැකිය. එහෙත් අලුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ එවැනි බඩගෝස්තර වාදයක් නොවේ. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ඔවුන්ගේ සැබෑ මිත්‍රයන් බවට පත්වන මැති ඇමැති පිරිසකි. ඉදිරි වසර පහක කාලය තුළ ඔවුන් ඒ මහ ගියොත් අපේ රට පෙළන ප්‍රශ්න යම් තරමකට හෝ විසඳාගත හැකි වනු ඇත.

බලය දූෂිත බවත් අධික බලය අධික ලෙස දූෂිත බවත් යන්න ප්‍රකට කියමනකි. බලවත් ආණ්ඩුවක කොටස්කරුවන් වී සිටින වත්මන් සියලු මැති ඇමැතිවරුන් කටයුතු කළ යුත්තේ එම කියමන වැරදි බව පෙන්වීමට මිස එම කියමන හරි බව පෙන්වීමට නොවන බව තරයේ කිව යුතුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00