2020 ජුලි 25 වන සෙනසුරාදා

මනාප ජරමරය!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

අම්මා අප්පා පවා නාඳුනන මට්ටමින් මනාප පොරයට වැටී ඒ හේතුවෙන්ම ඡන්ද නීතිද තඹේකට මායිම් නොකර පිස්සු නටන අපේක්ෂකයෝද වෙති. මේ අයට එරෙහිව මැතිවරණ කොමිසම මගින් අවසන් අවවාදයද යවා ඇතැයි අපේ “දේශය” පුවත්පත ප්‍රධාන පුවතින් අනාවරණය කරයි. උතුරු මැද පළාතේ දිස්ත්‍රික්කයක මේ වැරැද්දට හසු වූ අපේක්ෂකයකු සම්බන්ධයෙන් එම පක්ෂයේ නායකයාටද කොමිසම මගින් ලිඛිත දැනුම්දීමක් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ අපේක්ෂකයාට පක්ෂ නායකයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක් ලැබී ඇති බවත් දැනගන්නට තිබේ. පවතින නීති යටතේ මෙවැනි අවස්ථාවක ඡන්ද නීති කැඩීම දිස්ත්‍රික්කයේ ඡන්ද ව්‍යාපාරයටම බරපතළ අගතියක් ඇතිකර හැකි බැවින් නීතියට අනුව කටයුතු කිරීමට අදාළ අපේක්ෂකයා පියවර ගනු ඇතැයි අපි සිතමු. මනාප සටන තදින්ම පවතින තවත් දිස්ත්‍රික්ක ගණනාවකම අපේක්ෂකයන්ට ද මේ අවවාද සහ අනතුරු ඇඟවීම් අදාළ බවත් දැනගන්නට තිබේ.

ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් 77දී හඳුන්වා දෙන ලද මනාප ඡන්ද ක්‍රමය මේ රටේ ඡන්ද කෙරුවාව වෙනම මානයකට ඇදගෙන යාමේ අනිටු ප්‍රතිඵල මේවායි. ඊට පෙර කාලයේ පැවැති මහ මැතිවරණය සහ පළාත් පාලන ඡන්දය ආසන මට්ටමින් පැවැති අතර වැඩිම ඡන්ද ලබන්නා ජයග්‍රාහකයා බවට පත්විය. ඔහු හෝ ඇය ඡන්ද සටන දියත් කළේ තම ආසනයට අයිති හතර මායිම තුළ පමණි. මේ නිසා ඡන්ද ව්‍යාපාරයකදී දැරිය යුතු වියදම ද සීමා සහිත විය. එසේම ජයග්‍රහණයෙන් පසුව තමන්ගේ ආසනය ජයගත් මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය වැඩ කරන්නේදැයි සොයා බැලීමට ජනතාවටද අවස්ථාව උදාවිය. ඔවුන් මගහැරියොත් ඊළඟ ඡන්දයේදී මොන උප්පරවැට්ටියක් දැම්මත් දිනනවා නම් බොරු විය. ඒ නිසාම අදාළ ආසනයේ සහ නාගරික ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඡන්දදායක ජනතාව සමඟ නිරතුරුවම ගැවසුණේය. ආසනයටද වැඩක් විය. එහෙත් අලුත් මනාප ක්‍රමය හඳුන්වා දීමත් සමඟ මේ සහ සම්බන්ධතාව අහෝසි වී ගියේය. ඒ සමඟ එකම පක්ෂයේ අය තුළද ගහමරා ගන්නා තත්ත්වයක් බිහිවිය.

ජේ. ආර්. හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය රටේ වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා පක්ෂයට ජය හිමිකර දී ස්ථාවර ආණ්ඩුවක් බිහි කරන ක්‍රමයක් වීමෙන් එය ආසන මට්ටමේ ඡන්ද ක්‍රමයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වූ බව සැබෑය. එහෙත් එම ක්‍රමය යටතේ ආසන ක්‍රමය අහෝසි වී මනාප ක්‍රමය හඳුන්වා දීමෙන් තත්ත්වය උඩුයටිකුරු විය. ඒ සමඟ අපේක්ෂකයා මුළු දිස්ත්‍රික්කය පුරාම ඡන්ද ව්‍යාපාරය කළ යුතු විය. ඒ නිසා වියදම් කළ යුතු වූ මුදල ඉහළ ගියේ මිලියන ගණනිනි. එකම පක්ෂයේ එකම පවුලේ අය අතර පවා මනාප ගෝරි හටගැනීමට ද එය හේතු විය. මේ ක්‍රමයේ අතිරේක ප්‍රතිඵල වූයේ ඡන්දයට වියදම් කිරීම සඳහා සල්ලි විසි කරන පුද්ගලයන් අපේක්ෂකයන්ගේ “දෙවිවරුන්” බවට පත්වීමය. පළාතේ චණ්ඩින් නැතිවම බැරි පුද්ගලයන් බවට පත්වීමය.

එපමණක් නොවේ. ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය සේවය කළ යුතු වූයේ ආසනයට නොවේ. තමන් වෙනුවෙන් සල්ලි විසි කළ ජාවාරම්කාරයන්ටය. සොයා බැලිය යුතු වූයේ තමන්ට වැඩ කළ චණ්ඩින් පැටලෙන ජරා නඩුහබ ගැනය. මේ ක්‍රමය යටතේ මහජනතාව මුලින්ම සහ පහසුවෙන්ම අමතක කළ හැකි සාධකය බවට පත්විය. ඒ වෙනුවට දූෂණය සහ වංචාව රජ කරන ආණ්ඩු බිහිවිය. ස්ථාවර ආණ්ඩු බිහිකර ගැනීමේ අරමුණු ඇතිව බිහිකළ සමානුපාතික ඡන්ද ක්‍රමයේ ආදීනව එසේය.

මේ ක්‍රමය වෙනස් කරන බව කියමින් බලයට පත් වූ කිසිම රජයක් එය වෙනස් කිරීමට ක්‍රියා කළේ නැත. ඒ හේතුවෙන් වර්තමානයේ ඡන්ද ක්‍රියාවලිය ද දරුණු මනාප සටන් භූමියක් බවට හැරීම වැළැක්විය නොහැකි වී තිබේ. මැතිවරණ කොමිසම විසින් රටේ ඡන්ද නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට ගන්නා පියවර හේතුවෙන් පෝස්ටර, කටවුට්, විශාල දැන්වීම් පුවරු සහ පෙළපාළි බොහෝ සෙයින් අඩු වූ මැතිවරණයක් අපට දැකගත හැකි වුවද මනාප සටන් වරින් ඇවිලෙන්නේ අළු යට පවතින ගින්දර මෙනි. එය නිදහස් සාමකාමී සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීමට ද බාධාවකි. මේ බව සියලුම අපේක්ෂකයන් විසින් තේරුම් ගැනීම අවශ්‍යය. මහ මැතිවරණයේ ප්‍රධානම අයිතිකරු වන ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් රැකෙන්නේ එසේ වුවොත් පමණි.

ඡන්දදායකයාගේ සහයෝගය ලබාගැනීමට නම් කළ යුත්තේ එළිපිට මනාප සටන්වල යෙදීම නොව ඡන්දදායකයාට තම තීන්දුව නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දීමය. එසේ නොවන විට මනාප වැඩිකර ගැනීම වෙනුවට අඩු කර ගැනීමට එය හේතුවක් වනු ඇත.

මෙවර ඡන්දය පැවැත්වෙන්නේ කොවිඩ් ව්‍යසනය මැද වීම හේතුවෙන් රටේ ජනතාව ජීවත් වන්නේ මහත් විමසිල්ලෙන් බවත් ඔවුන් ඡන්දපොළට ගෙන්වා ගැනීම මූලික අරමුණ විය යුතු බවත් තමන්ගේම අපේක්ෂකයන් සමඟ මනාප ගෝරිවලට පැටලී සිටින සියලුම අපේක්ෂකයන් දැන සිටිය යුතුය. කොවිඩ් පැතිරීම පිළිබඳව ලැබෙන සෑම තොරතුරක්ම ඡන්ද දායකයාගේ මනසට සිදුකරන බලපෑම සුළුපටු නොවේ. මැතිවරණ නිලධාරීන් එළවීම, ඔවුන්ට තර්ජනය කිරීම, බැනර් දැමීම්, කටවුට් ගැසීම් සිදුකිරීම, රජයේ නිලධාරීන් ගෙන්වාගෙන රැස්වීම් පැවැත්වීම සහ රජයේ වාහන ඇතුළු දේපළ පරිහරණය කිරීම. පිළිබඳ පැමිණිලි ගණනාවක් පසුගිය දිනවල හෙළි වී තිබිණි. එයින් රටට හෝ තමාට හෝ සිදුවන යහපතක් නැත. මන්ත්‍රීවරුන් පත්වන්නේ නීත්‍යානුකූලව වැඩ කිරීමට මිස නීතිවිරෝධී වැඩ කිරීමට නොවන බවද නීති කඩාගෙන මන්ත්‍රීවරැන් වීමෙන් එම අරමුණු ඉටුකර ගත නොහැකි බවද පෙන්වා දිය යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00