2020 ජුලි 18 වන සෙනසුරාදා

ඉක්මන් කොට වීමේ විපාක

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

කොවිඩ් - 19 වසංගතය දුරින් දුරට යනු ඇති බවට සිහින මවමින් සිටි අපි යළිත් බිය වී අවදි වී සිටිමු. කන්දකාඩුවේ ආසාදිතයන් සමූහයේ ආශ්‍රිතයන් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබීම හේතුවෙන් ගැටලුව තරමක් සංකීර්ණ වී තිබෙන බව යථාර්ථයයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අනුව කන්දකාඩු පොකුර වැලිසර නාවික කඳවුර තරම් බරපතළ නැත. එහෙත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන්නේ ආශ්‍රිතයන් විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබීම හේතුවෙන් කෝවිඩ් - 19 සමාජගත වීමේ අවදානමක් තිබෙන බවය. මේ අදහස්වලින් ඇඟවෙන්නේ ඉදිරි දින කිහිපය බෙහෙවින් තීරණාත්මක බවය.

වැලිසර නාවික කඳවුර ඇසුරින් හටගත් මහා කොවිඩ් පොකුරේ රශ්මිය නිවී යත්ම විශ්වාස කිරීමට බල කෙරුණේ සමාජගත පොකුරු බිහිවීමේ අවදානම තුරන් වී ඇති බවටය. දින 78ක් පමණ සමාජය ආශ්‍රයෙන් කිසිදු රෝගියකු හමු නොවීම එම අදහස තවදුරටත් තහවුරු කළේය. වැලිකඩ හිරගෙදරින් ආසාදිතයකු හමුවනතුරුම අපේ රටේ සියලු දෙනා රැඳී සිටියේ මේ “සුවපහසු කලාපය” තුළය. එහෙත් වැලිකඩ ආසාදිතයාගේ මූලාශ්‍රය කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුර දක්වා විහිදීමත් සමඟ වැඩේ දිග්ගැසේසෙන ලකුණු පහළ විය. එම කඳවුරේ රැඳවියන් පමණක් නොව ඔවුන් භාරව කටයුතු කළ කාර්යමණ්ඩලයේ පිරිස අතර ද ආසාදිතයෝ සිටියහ. වඩාත්ම කනස්සල්ලට හේතුවන්නේ වැඩේ පත්තු වනවිට එම කාර්යමණ්ඩලයේ පිරිස රට පුරා එහෙමෙහේ ගොස් සිටීමය.

පවතින තත්ත්වය පිළිබඳ අනවශ්‍ය ලෙස බියවීමට අවශ්‍ය නැත. එහෙත් යථා තත්ත්වය පිළිබඳව අවබෝධයකින් වැඩ කළ යුතු බවටත් අවවාද අමතක නොකළ යුතු බවටත් ප්‍රබල පණිවුඩයක් කන්දකාඩු පොකුර විසින් රටටම කියා දී තිබේ. එයින් ප්‍රධානම කාරණයක් වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වන කඳවුරුවලින් යළිත් කොවිඩ් - 19 පොකුරක් වාර්තා වීමට තිබූ අවදානම පිළිබඳව කිසිවකුටත් පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි වීමය. ජාඇළ සුදුවැල්ලෙන් හමු වූ කුඩුකාරයන් මහත් ව්‍යසනකාරී කෝවිඩ් පොකුරක් බවත් එය නාවික කඳවුරේ දහසකට ආසන්න පිරිසකගෙන් යුත් මහා පොකුරක් බිහිවීමට හේතු වූ බවත් සියලු දෙනාටම අමතක වී ගිය බවක් පෙනෙන්නට තිබේ. සමාජය තුළින් ආසාදිතයන් මතු නොවන තත්ත්වයක් තුළ බන්ධනාගාර, පුනරුත්ථාපන කඳවුරු සහ වෙනත් සෙනඟ රැස්වෙන කඳවුරු තුළද අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණි නම් කන්දකාඩු පොකුර කල් තබා හඳුනාගැනීමට කිසියම් ඉඩක් තිබිණි. මින් මතු වුවද එවැනි අවදානම් කලාප තුළ හැකි තරමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණක් සේ අපි දකිමු.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර තිබුණේ නවතම කොවිඩ් පොකුරේ මූලාරම්භය සුදුවැල්ලෙන් හමු වූ මත්ලෝලීන්ගේ ආශ්‍රයේ සිදුවන්නට ඇති බවය. මේ පිරිස පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමට මත්තෙන් ඔවුන් අනිවාර්යය නිරෝධායනයට යොමු කර තිබුණත් ඔවුන්ගෙන් එක් අයකු හෝ කිහිපදෙනකු පරීක්ෂණවලින් බේරී ගොස් සිටීම පොකුරට හේතුව විය හැකි බව ඔහුගේ අදහසය. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද අනතුරු අඟවා තිබුණේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සමාජය තුළට වෛරසය ගෙන යාමේ ඉහළ අවදානම් සාධකයක් බවය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ හැසිරීම ඉතාම අවනිශ්චිත තත්ත්වයක පවතින බැවින් ඔවුන් හරහා වෛරසය සමාජගත වීම මුළුමනින්ම වැළැක්වීමට හැම පියවරක්ම ගත යුතු බව කන්දකාඩු පොකුර උගන්වන පාඩමයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් රටට සිදුකරන්නේ මහත් විනාශයකි. ඔවුන්ගේ සියලු කුඩු සබඳතාවලින් දැන් සිදුවන්නේ කුඩු බෙදා හැරීම පමණක් නොවේ. ඔවුන් කුඩුත් සමඟ කෝවිඩ් වෛරසයත් බෙදා හැරීමට ද ඉඩ තිබේ. කුඩු ගැසීමට ඇබ්බැහි වූවන්ට කෝවිඩ් වෛරසයෙන් ගැලවීමක් නොමැති බව කන්දකාඩු මධ්‍යස්ථානයේ සියලු රැඳවියන්ට පාහේ වෛරසය ආසාදනය වීමෙන් පෙනී යයි. යළිත් එවැනි තත්ත්වයකට ඉඩක් දිය යුතු නැත. මේ සියලු පැති දෙස විමසිලිමත් වීම මේ අවස්ථාවේ හැටියට ප්‍රමුඛත්වය දිය යුතු කාරණා වශයෙන් අපි දකිමු.

ඒ කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන් විසින් රට ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමේදී ජනතාවට ලබාදුන් මාර්ගෝපදේශ සහ උපදෙස් ඉක්මනින් බොහෝ දෙනකුට අමතක වී යාමද මේ තත්ත්වයට වගකිව යුතුය. උපදෙස් ලබාදීම පමණක් නොව සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට දැඩිව අවවාද කළ බවද අපට මතකය. එම අවවාද සහ උපදෙස් පිළිපැද්දා නම් පසුගිය කාලය තුළ කන්දකාඩු කඳවුරට ගොස් පැමිණි කිසිවකුත් දින 14ක කාලයක් යනතුරු සමාජය තුළට නොයා යුතුව තිබිණි. මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය යනු වෛරසය ගැවසීමට විශාල ඉඩකඩක් තිබෙන පරිසරයක් බව ඔවුන් වටහා ගත යුතුව තිබිණි. ඉදිරි දින කිහිපය ගත කළ යුතු වන්නේ විශාල අවදානමක්ද සමඟනි. එම කාලය තුළ සමාජය තුළින් එකදු රෝගියකු හෝ හමු නොවේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.