2020 ජුලි 11 වන සෙනසුරාදා

කෝවිඩ් - 2?

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

“රැකෙනු - නැත්නම් මියෙනු”, මෙය පනහ දශකයේ මුල් කාලයේ මෙරට නිෂ්පාදනය වූ වාර්තා චිත්‍රපටයක නම විය. රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් මෙය අධ්‍යක්ෂණය කර තිබුණේ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසිනි. මෙකී වාර්තා චිත්‍රපටය එවකට රට ගිලගනිමින් තිබූ මැලේරියා වසංගතය පිළිබඳ ජනතාවට අධ්‍යාපනික දැනුමක් ලබාදීම අරමුණ කරගනිමින් නිපදවූවකි. මැලේරියා වසංගතයෙන් බේරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගත් ඊට අනුගත නොවුනොත් මියයාමට සිදුවනු ඇති බවට පණිවුඩයකුත් එම චිත්‍රපටයේ තේමාව වී තිබිණි.

අපට හදිසියේ මේ චිත්‍රපටය මතකයට ආවේ හිටිගමන් ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කන්දකාඩුවෙන් කඩාපාත් වූ කොරෝනා පොකුර පිළිබඳ ප්‍රවෘත්ති දැකීමෙනි. ටිකින් ටික සිඳී යමින් පැවැති කොවිඩ් ගඟ හදිසියේ ඇදහැළුණු වැස්සකින් යළි ප්‍රාණය ලැබූ වැනි ගතියක් එම ප්‍රවෘත්තියෙන් ඇඟට දැනුණි. පසුගිය දින කිහිපය මුළුල්ලේම අප පුරුදුව සිටියේ කෙමෙන් කෙමෙන් අඩුවෙමින් යන කොවිඩ් - 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සතුටුදායක තොරතුරු දැනගැනීමටය. රටට ලොකු කම්පනයක් ඇති කළ මෙරට කොරෝනා ආසාදනයේ භයානක ඉලිප්පීමක් පෙන්නුම් කළ නාවික හමුදා පොකුර මේ වනවිට පවතින්නේ සම්පූර්ණයෙන් නිවී ගිය තත්ත්වයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස වැලිසර නාවික හමුදා කඳවුරද විවෘත කරනු ලැබීය. රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාවද 133 දක්වාම පහළ බැස්සේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රැඳවියන් 340 දෙනකුම කොරෝනා ආසාදිතයන් බව වාර්තා වූයේ ඒ අතරය. මේ සටහන තබනවිට රජය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ එම සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.

රැඳවියන් පිරිසකට පමණක් නොව එම මධ්‍යස්ථානයේ උපදේශීකාවක වශයෙන් කටයුතු කළ නිලධාරිනියකට ද රෝගය ආසාදිත වී ඇති බව වාර්තා වීම එහි භයානක පැත්තය. ඇය තම නිවෙස කරා පැමිණ සිටියානම් ඇය ඇසුරු කළ සියලු ඥාති හිතවතුන්ද දැන් සිටිනු ඇත්තේ අනාරක්ෂිත තත්ත්වයක බව වටහාගැනීම අසීරු නැත. ඔවුන් කිසිවකුටත් වෛරසය ආසාදනය වී නැතැයි අපි ප්‍රාර්ථනය කරමු. එහෙත් කොවිඩ් - 19 වෛරසයට මෙවැනි ප්‍රාර්ථනා පිළිබඳ කිසිම හැඟීමක් දැනීමක් නැති බවද ඒ සමඟ තේරුම්ගත යුතු සත්‍යයයි. ප්‍රවේශම් විය යුත්තේ අපම මිස වෛරසය නොවේ. ඒ බව හොඳින්ම වටහාගෙන සියලු කටයුතු කිරීම රටේ ජනතාවගේ වගකීම බව යළි යළිත් අවධාරණය කරමු.

කොවිඩ් - 19 දෙවැනි රැල්ලක් පිළිබඳව මෙරට වෛද්‍යවරුන් අනතුරු ඇඟවූයේ වරක් දෙවරක් නොවේ. එහෙත් දිනෙන් දින පහළ බසින රෝගීන් සංඛ්‍යාව හමුවේ අපේ ජන සමාජය තුළ තිබූ කෝවිඩ් අනතුරෙන් බේරීමේ බ්‍රේක් තරමක් බුරුල් වී තිබෙන බව පැවසීම බොරුවක් නොවේ. රෝගීන් සංඛ්‍යාව පහළ බැසීම යනු කෝවිඩ් - 19න් මුළු රටම තුරන් වී යාමට ආසන්න යැයි අදහසක් ඇති කරගැනීමට කිසිසේත්ම හේතු නොවේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අලුත්ම කෝවිඩ් පොකුර ඒ බව අපට කියාදෙන පාඩමයි. ලෝකයේ කිසිම රටක් රෝගය සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි යන සහතිකයට තවමත් හිමිකම් නොකියන බව කටුක යථාර්ථයයි.

කන්දකාඩු මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින්නේ මත්ද්‍රව්‍ය ලෝලී පිරිසකි. ඔවුන් එම මධ්‍යස්ථානය කවදා කොහේ සිට යොමු කරන අය දැයි මේ වනවිට සොයාගෙන තිබෙනු විය හැකිය. ඔවුන්ගේ සුවදුක් බැලීමට පැමිණි නෑදෑ හිතවතුන් පිරිස් සමඟ මේ ආසාදිත රැඳවියන් කොතරම් දුරට සමීප ඇසුරක් පැවැත්වී දැයි වහාම සොයාබැලීම අවශ්‍යය. ඔවුන් “විසිට්” එකක් දමා ඇත්නම් ඒ අය සිටින ස්ථාන වහාම පරීක්ෂණවලට ලක්කිරීම පමා කළ යුතු නැත.

යළිත් රටේ කොතැනකින් හෝ රෝගය හිස ඔසවනු ඇති බවට සෞඛ්‍ය අංශ තුළ දිගටම සැකයක් තිබිණි. ඒ මත පදනම් වී කන්දකාඩු මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන කටයුතු සිදු වී නම් තත්ත්වය මෙතරම් භයානක නොවීමට ඉඩ තිබිණි. එම රැඳවියන් කොවිඩ් - 19 රෝගය පැතිරෙන කාලය තුළදී යොමු කරනු ලැබූ පිරිසක් නම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යටත් කර තිබිණිදැයි සොයාබැලීම අවශ්‍යය. එසේ යටත් කර තිබුණානම් රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගැනීම අපහසු නැත. දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට එම තොරතුරු අවශ්‍ය වෙයි. ජාඇළ සුදුවැල්ල ආශ්‍රිත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් ඇති වූ පොකුරු නාවික කඳවුරටද යාමෙන් ඇති වූ භයානක තත්ත්වය වැනි තත්ත්වයක් යළි ඇති වීමට ඉඩ දියයුතු නැත.

කොවිඩ් - 19 හැකි ඉක්මනින් මෙරටින් තුරන් වනු දැකීම අප සියලු දෙනාගේම බලාපොරොත්තුව බව සැබෑවකි. හැකිතරම් ඉක්මනින් මුළු ලෝකයේම රෝගයෙන් මිදෙනවා නම් තවත් හොඳය. එහෙත් එම බලාපොරොත්තු ඉටුකර ගත හැක්කේ අප සියලු දෙනාම ඒ අරමුණ වෙනුවෙන් කැප වී කටයුතු කිරීම තුළින් පමණි. එහි වගකීම ඇත්තේද අප අතේමය. “රැකෙනු - නැත්නම් මියෙනු” යන්න පනහ දශකයට පමණක් නොව අදටද වලංගුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00