2020 ජුලි 04 වන සෙනසුරාදා

නාකොටික් බල්ටි

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

අපේ පොලීසිය හිටු කියා කුඩු ජාවාරම්කරුවන් ඇතුළු පාතාලය පස්සෙන් පැන්නුවේය. දැන් ඒ පැන්නිල්ල නැවතී ඇත්තේ පොලීසිය ඇතුළේමය. නැවතී ඇතැයි පැවසීමට වඩා කේන්ද්‍රගත වී ඇතැයි පැවසීම වඩාත් නිවැරදි වනු ඇත. කේන්ද්‍රගත වීමට පසුව සිදුවී ඇත්තේ පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නැතහොත් නාකොටික් බියුරෝවේ නිලධාරීන් 16 දෙනකු ඇතුළට යාමයි. ඉදිරියේ දී සිදුවන විමර්ශන වලින් පසුව තව කී දෙනකු ඇතුළට ගනු ඇතිදැයි සඳහන් කිරීමත් අපහසුය. එහෙත් මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු නොහොත් මහ මොළය බව පවසන පොලිස් පරීක්ෂකවරයා අතුරුදන්ය. ඔහු මාංචු පිටින් ගඟක පීනන්නට ගියේ නැත්නම් මෙරට හෝ පිටරටක හෝ සිටිය යුතු බව අපගේ විශ්වාසයයි.

කවුරුන් කෙසේ කීවත් නොකීවත් මේ සිද්ධිය පොලීසියට නම් වස ලැජ්ජාවකි. එහි කීර්තිනාමයට විශාල කළු පැල්ලමකි. මෙරට ක්‍රියාත්මක මත්කුඩු ජාලයේ පිටකොන්ද කැඩීමට අතීතයේ දී මහත් මෙහෙයක් සිදුකර රටේ සුපතළ නමක් ඇතිකරගත් පොලිස් නාකොටික් බියුරෝව කිහිප දෙනකු විසින් සිදුකළ හරක් වැඩක් හේතුවෙන් අද මුහුණු පුරා දැලි ගාගෙන සිටී. අපට කනගාටු සිතෙන්නේ පොලීසියේ නාකොටික් ඇතුළු සියලු අංශවල සිටින අවංකව රාජකාරිය ඉටුකරන හොඳ පොලිස් නිලධාරීන්ට මේ හේතුවෙන් සිදුවන අපහසුතාව සම්බන්ධයෙනි. නාකොටික් බියුරෝවේ සිටිමින් එමගින් වැටලීම් කොට අල්ලාගන්නා ලද කුඩු තොග යළිත් පාර්සල් කොට කුඩු ජාවාරම්කරුවන් අතට පත් කිරීම තුළින් මේ නිලධාරීන් විසින් සිදුකර ඇත්තේ බරපතළ වැරැද්දකි. ඒක හරියට යකාගේ පිඟානෙන් ගිනිදැල් රැගෙන අනුභව කිරීමට ගිය පෙරේතයාට සිදුවූ දේ වැනිය.

මේ රටේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් විවිධ කතා බොහෝය. මේ ජාවාරමේ සැබෑ “මුදලාලිලා” කවදාවත් කොටු නොවන බව එවැනි එක කතාවකි. එහෙත් මේ දවස්වල බන්ධනාගාරගතව සිටිමින් දවසට එක බැගින් මොබයිල් ෆෝන් පාවිච්චි කරන බව කියන කංජිපානි ඉම්රාන් සහ ඒ සමඟ ඩුබායි සිට පැමිණ කොටු වූ මාකඳුරේ මධූෂ් අප දන්නා තරමින් මේ රටේ කුඩු රජවරුය. ඔවුන් බන්ධනාගාරගතව සිටින්නේ කුඩු ජාවාරම මෙහෙයවීමට එය වඩාත් පහසු සහ ආරක්ෂාකාරී තැනක් වශයෙන් ඔවුන් විසින්ම හඳුනාගෙන සිටින නිසාදැයි අපි නොදනිමු. ඒ හේතුවෙන් නාකොටික් බියුරෝවේ කුඩු පාර්සල් කළ නිලධාරීන් කිහිප දෙනා විකුණා ඇත්තේ මධූෂ්ලාගේ කංජිපානිලාගේ කුඩු වීමට හොඳටම ඉඩ තිබේ. 

පොලීසියේ විමර්ශන නිලධාරීන් විසින් වහාම කළ යුත්තේ මේ කුඩු බඩජාරී නිලධාරීන් කිහිප දෙනා සහ කුඩු ජාවාරමුන් අතර ඇති සම්බන්ධය වහාම සොයා බැලීමය. රට ඇතුළේ ක්‍රියාත්මකව පවතින කුඩු ජාලය පිළිබඳ මනා වැටහීමකින් තොරව මෙතරම් විශාල කුඩු තොගයක් “බිස්නස්” කිරීම මරුවා සමඟ වාසයකි. නාකොටික් කට්ටිය ඒ ගැන දැන සිටිය යුතුය. එබැවින් ඔවුන් ගැවසුණු ස්ථාන, හමු වූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද වහාම සොයා බැලීම අවශ්‍යය.

පොලීසිය සඳහන් කරන්නේ මුලින් අසුවූ කුඩු විකිණූ බවට සැකකරන නාකොටික් නිලධාරීන් සිව්දෙනා විසින් එම මුදල් යොදවා රටේ විවිධ ප්‍රදේශවලින් මිලදීගෙන ඇති ඉඩම් අක්කර 10කට අධික ප්‍රමාණයක් ද රුපියල් කෝටි ගණන් මුදල් තිබෙන බැංකු ගිණුම් තුනක් ද සොයාගෙන ඇති බවය. ඉදිරියේ දී සිදුකෙරෙන විමර්ශන වලින් පසුව තවත් බොහෝ දේ සොයා ගැනීමට පොලීසියට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ නිලධාරීන්ගේ සිරුරුවල ගෑවී තිබෙන ජරාව සෝදා හැරීමට පොලීසියේ හෝ දේශපාලන තලයේ හෝ කිසිවකු උත්සාහ දරන්නේ නම් ඒ තැනැත්තන් ද මේ ජාවාරමේ කොටස්කරුවන් හැටියට සලකා කටයුතු කළ යුතු බවට අපි දැඩිව අවධාරණය කරමු. මේ කිසිවකුටත් නීතිය හමුවේ කිසිදු සමාවක් ලැබිය යුතු නැත. 

අප මෙසේ කියන්නේ මෙරට බන්ධනාගාරය තුළ සිට මෙහෙයවනු ලබන කුඩු ජාවාරම් ඇතුළු බරපතළ සංවිධානාත්මක අපරාධ මැඩලීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ගෙන ඇති දැඩි ග්‍රහණය කිසි ලෙසකින්වත් ලිහිල් කරනු දැකීමට අප කවුරුත් අකැමැති බැවිනි. හිරේ සිටින අපරාධකරුවන්ට අවි සහ මොබයිල් ෆෝන් ද කුඩු ද ලබාදීමට ඉදිරිපත් වන නිලධාරීන් ද නාකොටික් බියුරෝවේ සිටිමින් කුඩු විකුණන නිලධාරීන් ද එකම බෝට්ටුවක සිටින දෙපිරිසකි. ඔවුන් සියලු දෙනා කරන්නේ දරුණු අපරාධයකට හවුල් වීමය. ඒ කිසිවකුටත් සමාව දිය යුතු නැත.

නාකොටික් සිව්දෙනාගෙන් පසුව ලැබුණු තවත් ප්‍රවෘත්තියකින් හෙළි වී තිබුණේ එම අංශයේම තවත් 12 දෙනකු මුහුදේදී ඇල්ලූ හෙරොයින් විකිණීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවය. මේ සමඟ නාකොටික් බියුරෝවේ සියලුම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන ඇමැතුම් වාර්තා පිළිබඳ වහාම සොයා බැලීමට සී.අයි.ඩිය පියවර ගෙන තිබේ. කුඩු ජාවාරමට ගෑවුණු තවත් නිලධාරීන් සිටී නම් ඒ සඳහා දැල එලීමට මේ විමර්ශන වැදගත් වනු ඇත.

අප කියන්නේ කළ හැකි සියලු පරීක්ෂණ සිදුකොට වැරදි කළ පිරිස නීතිය හමුවට පමුණුවා නාකොටික් බියුරෝවේ ගෞරවය රැකගැනීමට හැකි ඉක්මනින් කටයුතු කළ යුතු බවය. එසේ නොවුණොත් කුඩු සික් කාරයන් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් කුඩු පැකට් ඉල්ලා සිටින දිනයද වැඩි ඈතක නොවනු ඇත.