2020 මැයි 30 වන සෙනසුරාදා

මැදපෙරදිග පොකුරට බෙහෙත් දෙමු

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

ඩුබායි, කටාර්, කුවේට් මෙතෙක් කාලයක් අප රටට විදේශ විනිමය උපයා දුන් ධන උල්පතක් වී තිබිණි. එහෙත් පසුගිය සතිය තුළදී එම රටවල් අපේ රටට කොරෝනා වයිරසය පොකුරු පිටින් ආනයනය කරන ලද රටවල් බවට පත්වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. රටට විදේශ විනිමය උපයා දුන්නේත් කොරෝනා වයිරසය ආනයනයට දායක වූයේත් අප රටින් ඒ රටවලට ගොස් රැකියා කරන ශ්‍රමිකයන් විම අවාසනාවන්තම තත්ත්වයයි.

මැදපෙරදිගින් ගෙන්වා ගනු ලබන කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රි ලංකාව තුළ සතුටුදායක මට්ටමින් පාලනය වී තිබූ ආසාදිත සංඛ්‍යාලේඛන සියල්ල උඩුයටිකුරු කරනු ලැබ තිබේ. දින කිහිපයකට පෙර යාන්තමින් ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවා තිබුණද ඉන්පසුව ගතවූ තෙදින තුළදී එම සංඛ්‍යාව 1500 ඉක්මවා යාමට ආසන්න මට්ටමට සමීප වීම අප කා තුළත් ඇතිකර තිබෙන්නේ කනගාටුවකි. තිගැස්මකි. සෞඛ්‍ය බලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා පාලනය කර තිබූ වයිරසය ව්‍යාප්තිය ඉදිරියේදී ද පවත්වාගෙන යාමට දැන් අතිරේක පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. එය යහපත් ප්‍රවණතාවක් නොවේ.

දැනගන්නට තිබෙන අන්දමට මෙලෙස දරුණු මට්ටමින් වයිරසයට ගොදුරුව සිටින්නේ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් අරාබිකරයට ගොස් රැකියාව කරන පිරිසකි. මේ අයගේ හාම්පුතුන් ඔවුන් අතහැර දැමීම හේතුවෙන් ඔවුන්ට යන එනමං නොමැතිව එරට අසරණවීමට සිදුව තිබේ. ඔවුන් බොහෝ දෙනකු එකට කාමර දෙක තුනක රැඳී සිටීම වයිරසය ඒ සියලුදෙනාටම ආසාදනය වීමට හේතුව වී ඇතැයි අනුමාන කළ හැක.

මේ පිරිස නීත්‍යානුකූල නොවන මාර්ගවලින් එරටට ගොස් තිබුණද ඔවුහු අප රටේම අසරණ පුරවැසියෝ වෙති. ඔවුන්ගේ දහඩිය, මහන්සිය, දුක් කඳුළු අප රටේ විදේශ විනිමයට සම්පතක් වී තිබිණි. මේ පිරිස පිළිබඳව එරට සිටින තානාපතිවරුන්ගේ අවධානය මීට කලින් යොමුවී තිබුණා නම් ඔවුන් මේ ඇබැද්දියෙන් ගලවාගත හැකිව තිබූ බව අපගේ විශ්වාසයයි. තමන්ගේ රාජකාරි පිළිබඳව නිසි අවබෝධයකින් තොරව නින්දෙන් පසුවී හදිසියේම ඇහැරී කටයුතු කරන ආකාරයක් ඔවුන් තුළින් පෙනෙන්නට තිබේ. එරට පදිංචි ශ්‍රී ලාංකිකයන් මුහුණ පා සිටින සැබෑ තත්ත්වය මෙරට සෞඛ්‍ය බළධාරීන්ට සහ ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නා රජයේ කාර්යසාධන බළකාවලට පූර්ව දැනුම්දීමක් කර තිබුණේ නම් මේ තත්ත්වය පැහැදිලිව වළක්වා ගත හැකිව තිබිණි. දැන් සිදුව ඇත්තේ කොරෝනා වයිරස පොකුරු පිටින් මෙරටට ගෙන්වා ගැනීමට සිදුවීමය. මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් කටාර් රාජ්‍යෙය් රැඳී සිටින ශ්‍රි ලාංකිකයන්ගේ ගුවන් ගමන කැන්සල් වීම හේතුවෙන් ඔවුන්ට වහාම නවාතැන් සපයන්නැයි ශ්‍රි ලංකා රජය උපදෙස් දෙනතුරු කටාරයේ සිටින වැඩබලන තානාපතිවරයා ඒ පිළිබඳව කිසිවක් කර නොතිබූ බවද දැනගන්නට තිබේ. රජයෙන් උපදෙස් දෙනතුරු කළයුතු දේ නොකරන මෙවැනි තානාපතිවරුන්ගෙන් ඇති පලය කුමක්දැයි සොයාබැලීමද මේ අවස්ථාවේ කළයුතුම දෙයකි.

කුමන තත්ත්වයක් යටතේ වුවද මැද පෙරදිග රටවල අතරමංව සිටින අපගේ ශ්‍රී ලාංකිකයන් පිරිස ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් යෙදීම නොපමාව කළ යුතු බව අපගේ වැටහීමය. ඔවුන් ගෙන්වා ගැනීමට නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම එයට පිළියම නොවේ. ඒ රටවල හාම්පුතුන් විසින් අත්හැර දමන ලද මේ ශ්‍රමිකයන් එම රටවලම නිරෝධායනයට ලක්කොට ගෙන්වා ගැනීමේ කටයුත්ත කළ හැකි නම් එය වඩාත් ප්‍රායෝගික වනු ඇත. මෙතරම් අවදානමක් තිබෙන මගීන් පිරිසක් ගුවන් යානාවලට ගොඩකර ගැනීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය අකමැත්ත පළ කිරීමද බලාපොරොත්තු විය යුතුය. කොතරම් ආරක්ෂිත ඇඳුම් පැළඳුම් ඇඳ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළත් පැය ගණනාවක් ගතවන ගුවන් ගමනකදී ආසාදිත පුද්ගලයන් විශාල පිරිසක් කැටුව පැමිණීම විශාල අවදානමකි. එවැනි පිරිස් පැමිණීම මෙරට ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයට පවා හානිදායක විය හැකිය. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර ඒ රටවලදීම නිරෝධායන කිරීම සඳහා රජයත් එරට තානාපතිවරුත් එක්ව වැඩපිළිවෙළක් සකසාගත හැකි නම් එය වඩාත් ඵලදායක වනු ඇත.

මෙහිදී අප සියලුදෙනා අවධානය යොමුකළ යුතු වන්නේ රට සාමාන්‍යකරණයට පත්කිරීමේ රජයේ ක්‍රියාවලියට පවා මැදපෙරදිග පොකුර මගින් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙනි. සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම අවවාද කළේ රට විවෘත කිරීම කොරෝනා වයිරසයේ අවදානම රටින් තුරන් වී ඇතැයි යනුවෙන් වරදවා වටහා නොගන්නා ලෙසටය. අවදානම එසේම තිබියදී රට විවෘත කිරිම රජයටත් සෞඛ්‍ය බලධාරීන්ටත් ඒ සඳහා සියලු දායකත්වය සපයන ත්‍රිවිධ හමුදාව සහ පොලීසියටත් විශාල අභියෝගයකි. ඒ සඳහා මහජනතාවගේ සහයෝගයද අවශ්‍යමය. එසේ තිබියදී නාවික හමුදා “පොකුර” සහ මැද පෙරදිගින් මතුවන “අලුත් පොකුරු” හිසරදයක් වීම අවාසනාවකි. එම තත්ත්වය පාලනය කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව පවතී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00