2020 ජුනි 27 වන සෙනසුරාදා

ගහ මරා ගැනීම් නැති ඡන්දයක්!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

කරුණු කිහිපයක් හේතුවෙන් මෙවර මහමැතිවරණය ඉතිහාස පොතේ පිටු කිහිපයක්ම වෙන්කර ගෙන තිබේ. මුළු ලෝකයම වයිරස වසංගතයකට ගොදුරු වෙමින් සිටීම, ඒ හේතුවෙන් පැනවූ සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුව කටයුතු කිරීමට සිදුවීම, වසංගතය නිසා මැතිවරණය කල්යාම, ඒ නිසා උසාවියට පෙත්සම් ඉදිරිපත්වීම, ඡන්දය දින 3කට විහිදී යාම පමණක් නොව රුපියල් කෝටි දහසකට වඩා වියදමක් දැරීමට සිදුවීම වැනි බොහෝ කාරණා මේ ඉතිහාස පොතේ පිටුවල ලියැවෙනු ඇත. ඉදිරියට තව මොන මොන කාරණා එකතු වනු ඇතිදැයි කිව නොහැක.

මේ සියලු කාරණා ඇතුළත සතුටු විය හැකි වෙනත් කාරණයක් කෙරෙහි අපගේ අවධානය යොමුවෙයි. එනම් පූර්ව මැතිවරණ සමයේ මෙතෙක් වාර්තා වී ඇති ඡන්ද ගෝරි ප්‍රමාණය ඉතා සුළු සංඛ්‍යාවක් බවට පත්වී තිබීමය. අප පුවත්පතේ මෙවර කලාපයේ පළවන ලිපියකින් සඳහන් වී ඇත්තේ අනෙකුත් මැතිවරණවලට සාපේක්ෂව 2015 වසරේ සිට පූර්ව මැතිවරණ අවධියේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවී ඇති බවය. ඒ බව සඳහන් කරන්නේ මෙරට ක්‍රියාත්මක මැතිවරණ නිරීක්ෂකයන් කිහිප දෙනකු විසිනි. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යා හැකි නම් එය රටට විශාල යහපතක් සලසනු ඇති බව මුලින්ම පෙන්වා දිය යුතුය.

ඇතැම් නිරීක්ෂකයන් සඳහන් කර තිබුණේ 1977 වසරේ සිට 2015 දක්වා කාලය තුළ පැවති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සාපේක්ෂව පසුගිය කාලය තුළ සිදුවීම් බෙහෙවින් අඩුවී තිබුණු බවය. එය යහපත් ප්‍රවණතාවකි. මෙහිදී 1977 විශේෂ වැදගත්කමකින් යුත් වසරක් වෙයි. ඒ එම මැතිවරණයේ විශාල ජයග්‍රහණයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන රජය මගින් හඳුන්වාදෙන ලද සමානුපාතික ඡන්ද ක්‍රමය මේ රටේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දොර හැරදීමක් බවට පත්වීම හේතුවෙනි. ආසන ක්‍රමයෙන් බැහැරව මුළු දිස්ත්‍රික්කය පුරා මනාප හිඟමනේ යාමට සිදුවීම හේතුවෙන් ඡන්ද කෙරුවාව මුදල් යහමින් ඇති සල්ලිකාරයන්ගේ සටනක් බවට පත්විය. දිස්ත්‍රික්කයකින් සළු වී පාර්ලිමේන්තුවට යාමට නම් සල්ලි විසි කිරීමට හැකියාවක් තිබීම ලොකුම කොන්දේසිය බවට පත්වූයේ නිතැතිනි. හොරුන්ට ජාවාරම්කාරයන්ට මැතිවරණ සමයේදී ලොකු ඉල්ලුමක් ඇතිවීම එහි අනිවාර්ය ප්‍රතිඵලයකි.

මනාප පොරය සඳහා අවශ්‍ය වූයේ මිල මුදල් පමණක් නොවේ. චණ්ඩිකම්ද තවත් සුදුසුකමක් බවට පත්විය. එකම පක්ෂයේ පිරිස් අතර පවා මනාප ගෝරි හටගැනීම එහි ප්‍රතිඵලයක් විය. (77න් පසු පැවැති හැම මැතිවරණයක් සමඟම දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා අත්වැල් බැඳගත්තේ ඒ හේතුවෙනි. බරපතළ ඡන්ද දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගහණ වූ මහා ඡන්ද කිහිපයක්ම ඒ කාලයේ පැවැත්විණි. 1982 පැවැත්විය යුතුව තිබූ මහමැතිවරණය වෙනුවට පැවැත්වූ ජනමත විචාරණය හොර ඡන්ද දැමීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට තෝතැන්නක් විය. එයින් ආණ්ඩුව පරාජය වූ ආසන සඳහා පැවැති අතුරු මැතිවරණ දැඩි ලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරී ගියේය. ගහ ගැනීම් පමණක් නොව මරා ගැනීම්ද සිදුවිය. ඉන්පසුව පැවැති බොහොමයක් මැතිවරණ අවසන් වනවිට ඇතැම් ආධාරකරුවන් සිටියේ රෝහල් ඇඳන් මතය. තවත් පිරිසක් පොලිස් කූඩුවලය.

මෙහිදී සඳහන් කළයුතු තවත් කාරණාවක් වන්නේ ජේ.ආර්.ගේ එම “බහුබූත ව්‍යවස්ථාව” වෙනස් කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි චන්ද්‍රිකාද තම පාලන කාලය යටතේ ජේ.ආර්.ගේම ක්‍රමය අනුගමනය කිරීමය. විධායක ජනාධිපති ක්‍රමය හෝ සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට වූ පොරොන්දුව කඩදාසිවලට පමණක් සීමා වූ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් සිදුවූයේද නැත. ජේ.ආර්.ලාට, ප්‍රේමදාසලාට ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා සිටින විට චන්ද්‍රිකාට බැද්දගානේ සංජීවලාද මහින්දට ජුලම්පිටියේ අමරෙලාද සිටියහ. මහජන ඡන්දයෙන් තේරී පත්වීමට මෙවැනි චණ්ඩින් යොදාගන්නේ කුමන හේතුවකටදැයි තේරුම් ගැනීම පහසු නැත.

චන්ද්‍රිකාගේ කාලේ පැවැති වයඹ පළාත් සභා ඡන්දයද මේ ආකාරයේම ප්‍රසිද්ධියේම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකෙරුණු ඡන්දයක් විය. මැතිවරණ නිරීක්ෂකයන්ට පවා එවැනි මැතිවරණ මහත් භයානක අත්දැකීමක් වී තිබිණි. ප්‍රේමදාස මහතාගේ ඡන්දයකදී මැතිවරණ නිලධාරීහුද මරාදමනු ලැබූහ. එසේම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දැරූ දිවයිනේ පැවැති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී භාරත ලක්ෂ්මන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය වීමද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දරුණු ප්‍රතිඵලයක් විය. එවැනි මැතිවරණවලට සාපේක්ෂව දැන් පවතින්නේ ඉතාම යහපත් තත්ත්වයක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

මෙවර මහ මැතිවරණයේදී මේ වනවිට ඇතැම් පළාත්වලින් සුළු ගැටුම් කිහිපයක් වාර්තා වී තිබුණත් සමස්තයක් වශයෙන් පවතින්නේ සාමකාමී වාතාවරණයකි. මනාප ගැටුම් මේ සිදුවීම්වල එක් හේතුවකි. පෞද්ගලික ආරවුල් කිහිපයක් නිසාද ගැටුම් කිහිපයක් ඇතිවී තිබිණි. මේ තත්ත්වය නවත්වා ගත හැක්කේ ඡන්ද අපේක්ෂකයන්ට සහ ඔවුන්ගේ පක්ෂ නායකයන්ට ඒ ගැන සැබෑ උවමනාවක් ඇත්නම් පමණි. ඡන්ද අපේක්ෂකයන්ගේ පෙළඹීමක් නැත්නම් ගෝලබාලයන් ගැටුම් ඇතිකර ගන්නේ කලාතුරකිනි. ගැටුම්වලින් තුවාල ලබා රෝහල් ගතවී රූපවාහිනී නාලිකාවලට වොයිස්කට් ලබාදෙන සංස්කෘතියෙන් ගැලවීමට ආධාරකරුවන් කටයුතු කරන්නේ නම් බොහොමයක් ඡන්ද ගෝරි වළක්වා ගැනීම අමාරු නැත.

රටට අවශ්‍ය වන්නේ ගෝරිවලින් පිරුණු මැතිවරණයක් නොවේ. කොවිඩ් - 19න් හොඳටම බැට කා සිටින ඡන්දදායකයන්ට මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන්ද වහකදුරු සේ තිත්ත වනු ඇත. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව මහමැතිවරණය පැවැත්වීමට වගබලා ගැනීම සියලු නායකයන්ගේ වගකීමය.