2019 ජනවාරි 05 වන සෙනසුරාදා

කුඩුවලින් ස්වයංපෝෂිතයි

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

අපේ රටේ මේ දිනවල පවතින ලොකුම ප්‍රශ්නය කුමක්දැයි විමසුවොත් බොහෝ දෙනකුගේ උත්තරය වනු ඇත්තේ ආර්ථිකය කියාය. රුපියල යනුවෙන්ද සමහරැන්ට කියවීමටත් ඉඩ තිබේ. තව පිරිසකට ඊළඟට ඇති ගැටලුව මහ දවල් පවා සිදුවන පාතාලයේ මිනී මරාගැනීම්ය. එහෙත් මේ සියලු ප්‍රශ්න යටකරගෙන මතුවෙන තවත් දරුණු ගැටලුවක්ද වෙයි. ඒ වෙන කිසිවක් නොව මහා පරිමාණයෙන් කුඩු තොග හසුවීමය. කුඩු ජාවාරමුන් ගැන තොරතුරු හෙළිවීමය. කුඩු ජාවාරම සහ පාතාල මැරකම් වෙනම විෂයයන් දෙකක් වුවද ඒ දෙකම ගහට පොත්ත සේ එකට බැඳී තිබෙන බව කිවයුතු නැත.

කුඩු හසුවෙන්නේ මේ කාලයේ පමණක් නොවන බවත් ඒවා කලක් තිස්සේ පවතින ජාවාරම් බවත් කෙනකුට පහසුවෙන් කිව හැකිය. එහෙත් ළඟ ළඟම මෙතරම් කුඩු ප්‍රමාණයක් මතක ඇති කාලයේ නම් හසුවී නැත. ගෙවී ගිය වසර ඒ අතින් වැටෙන්නේ රතු කලාපයකට ය. ඒ තරමට කුඩු තොග එම වසර තුළදී කොටු වී තිබිණි.

කුඩු ජාවාරම සහ එහි වර්තමානයේ පවතින භයානක තත්ත්වය පිළිබඳව විස්තර අපගේ දේශය මෙවර කලාපයේ හරබර අතිරේකයේ ලිපියක් මගින් හෙළිදරව් කෙරේ. එම කරුණු අනුව රටට ගලාගෙන එන කුඩු ප්‍රමාණය මහා පරිමාවකින් වැඩිවෙමින් තිබේ. මේ කුඩු සියල්ල අපේ රටේ කුඩ්ඩන්ට පමණක් භාවිතය සඳහා ගෙන එනු ලබන බවට සහතිකයක් නැත. මාස කිහිපයක් ඇතුළත කුඩු ටොන් එකකටත් වඩා ප්‍රමාණයක් පොලීසියේ වැටලීම්වලදී අල්ලාගැනීමට හැකි වී තිබේ. එහෙත් ඒ තරමට හෝ ඊට අඩු වැඩි වශයෙන් හෝ තවත් කුඩු පොලීසියට හසුනොවී මෙරටට පැමිණෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මේ ආකාරයට අධික ප්‍රමාණවලින් ගෙන එන කුඩු එක්කෝ මේ රටේ භාවිතයට ගෙන එනවා විය යුතුය. නැතහොත් ප්‍රතිනැව්ගත කිරීමේ ජාවාරමක කොටසක් විය හැකිය. එසේ නම් එය තවත් භයානක මට්ටමකි. ලංකාව ලෝකයේ ජාත්‍යන්තර කුඩු ජාලයේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බවට එය සාක්ෂියකි. එය තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට වහාම දැඩි පියවර ගැනීම අවශ්‍යය. එසේ නොවුණොත් අපේ රටද මෙක්සිකෝව වැනි මහ දවල් කුඩු ජාවාරමුන් බුරැතු පිටින් මරාගන්නා රටක් බවට පත්වීමටද ඉඩ තිබේ. එවිට තත්ත්වය පාලනය කර ගැනීම වඩාත් අසීරු වනු ඇත.

අප මෙසේ කියන්නේ අලුතෙන්ම හෙළිවී තිබෙන කරුණු අනුව බංග්ලාදේශයෙන්ද මෙරටට කුඩු ජාවාරමුන් පැනගෙන ඇති බවට තොරතුරු හෙළිවීම හේතුවෙනි. මීට සති දෙක තුනකට පෙර දෙහිවල ප්‍රදේශයේදී සැකකාර බංග්ලාදේශ තරුණියක් කොටුවී තිබුණේ හෙරොයින් කිලෝ ගණනක කුඩු තොගයක් සමගිනි. ඉන් පසුව දිගින් දිගටම පොලීසිය මගින් සිදුකරන ලද වැටලීම්වලදී දෙහිවල - ගල්කිස්ස, වැල්ලවත්ත වැනි ප්‍රදේශවලින් මහා පරිමාණ කුඩු තොග අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබිණි. මේ ජාවාරමට සම්බන්ධ බව කියන නායකයා ජාවාරම්කාරියකි. ඇය ද බංග්ලාදේශ තරුණියක් බවද සඳහන්ය. බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවත් අතර කුඩු ජාවාරම් ජාලයක් මෙහෙයවීමට සමත් මේ කාන්තාව තවම සොයාගැනීමට නොහැකි වී ඇතැයිද සඳහන්ය.
කෙසේ වුවත් මේ තරම් දැවැන්ත කුඩු ජාවාරම් පවතින්නේ ඇතැම් බලවත් පුද්ගලයන්ගේ සහාය ලැබීම නිසා බවද සඳහන් කිරීම අවශ්‍යය. එම බලවතුන් අතර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් පමණක් නොව ව්‍යාපාරික මුහුණු ඉදිරියට දමාගෙන පාතාල මැරකම් කරන පුද්ගලයන්ද සිටින බව අපගේ විශ්වාසයයි. පොලිස් වැටලීම් සිදුකළ යුත්තේ මේ සියලු &බලවතුන්ගේ* බාධාකිරීම් මධ්‍යයේ බවද සැලකිල්ලට ගත යුතු වෙමු.

ලංකාවට වැඩියෙන්ම මහා පරිමාණයෙන් කුඩු ගෙනෙන්නේ මුහුදු මාර්ගයෙන් බව බොහෝ දුරට තහවුරැ වී තිබේ. පසුගිය කෙටි කාලය තුළදී විශාල වශයෙන් කුඩු තොග හසුවූ බේරැවල, දෙහිවල, වැල්ලවත්ත සහ මෝදර යන නගර සියල්ලම වෙරළාසන්න නගර වීම එයට ප්‍රබල සාක්ෂියකි. කොළඹින් ඈත ප්‍රදේශ වන පුත්තලම, කල්පිටියද මේ ආකාරයටම කුඩු ජාවාරම් සිදුවන ප්‍රදේශ බවට හඳුනාගත හැකි අතර එම නගරද පිහිටා ඇත්තේ මුහුදට මායිම්වය. මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවද මේ ජාවාරම් හේතුවෙන් පීඩාවට ලක්වෙන බවත් නොරහසකි. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කුඩු ජාවාරමුන්ට එරෙහිව වැටලීම් සිදුකරන පොලීසියේ කණ්ඩායම්වලට සහාය දැක්වීම අවශ්‍යය. 

අනෙක් අතට පිටරටින් එන ඕනෑම කෙනකුට කිසිවක් සොයා, නොබලා තමන්ගේ කාමර සහ ගෙවල් පිටින් බදු දෙන පුද්ගලයෝද මේ තත්ත්වයට තරමක් දුරට වගකිව යුතු වෙති. ඇතිවිය හැකි අවදානම ගැන නොසිතා අතට ලැබෙන ලොකු මුදල පිළිබඳ පමණක් සිතන මෙවැනි පුද්ගලයන්ගෙන්ද සිදුවන්නේ කුඩු ජාවාරමුන්ට අත්වැල සැපයීමකි.

කුඩු ජාවාරමට එරෙහිව මහා පරිමාණයෙන් යුද්ධයක් දියත් කළ යුතු තැනකට රට තල්ලුවෙමින් සිටී. මේ ගැන හොඳ අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීම පොදු මහජනතාවගේද යුතුකමකි. වගකීමකි. ඊටත් වඩා වගකීමක් පැවැරෙන්නේ ආණ්ඩුවටය. අඩුම තරමින් හසුවන කුඩු ජාවාරම්කරැවන්ට එරෙහිව හැකි ඉක්මනින් නඩු විභාග කර ඔවුන්ට උපරිම දඬුවම් ලබාදීමට ක්‍රමයක් සකස් කළ යුතුය. කුඩු ජාවාරමුන්ට එරෙහිව එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන බවට කළ ප්‍රකාශයට පණ දීමටද දැන් කාලය පැමිණ ඇති බව අපගේ වැටහීමයි.