2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

හරි මග සෙවීම

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

දේශපාලන පොරපිටියේ එකදිගට පෙරළී ගිය බාල්දිවලට දැන් මඳ විරාමයක් ලැබී තිබෙන බවක් පෙනීයයි. එය තවත් බාල්දියක පෙර නිමිත්තක් දැයි වටහා ගැනීම අසීරුය. අවුරුද්දේ අන්තිම සති දෙක මෙරට දේශපාලන නායකයන්ගේ නිවාඩු කාලය වීම ඊට හේතුවයි. එහෙම වුණත් මේ නිවාඩුව නම් බොහොමයක් නායකයන්ට විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට නම් හැබෑ නිවාඩුවක් නම් නොවන බව ස්ථිරය. මේ තුන්දෙනාටම කරන්න තිබෙන ගෙදර වැඩ අධිකය.

අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් පත්කරනු ලැබූ අවස්ථාවේ පුදනකොටම කාපි යකා සේ ජනාධිපතිවරයා කරන ලද කතාව ආණ්ඩුවට ඊළඟ වසර කොතරම් දුෂ්කර එකක් වනු ඇතිදැයි පෙන්වූ පෙරමඟ සලකුණක් විය. එය නව රජයක් හැටියට නරකම ආරම්භයක් බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා රටේ නායකයා ද ආණ්ඩුවේ නායකයා ද වෙයි. ඔහු සමඟ එක්ව කටයුතු කරනු හැර ආණ්ඩුවට වෙනත් මඟක් නැතුවාසේම ජනාධිපතිවරයාට ද අගමැති රනිල්ගේ ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් බැහැර විය නොහැක. එසේ නොවුණොත් යළිත් මේ අර්බුදයේ ආරම්භයටම ආපසු රට ගමන් කිරීමට හොඳටම ඉඩ තිබේ. මේ දෙපාර්ශවය අතර මතගැටුමක් සිදුවන්නේ මොන අවස්ථාවේදී ද යන්න දෙස වඩාත් විමසිලිමත්ව බලාසිටිනු ඇත්තේ වෙන කවුරැවත් නොව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය.

මහින්ද තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට නොවන බව පසුගිය ඔක්තෝබර් 26 වැනිදාම පෙන්වීය. එවැනි අවස්ථාවක් යළිත් ආවොත් ඒකත් ලබා ගැනීමට මහින්ද නම් මොහොතක්වත් නොපැකිලෙනු ඇත. එසේ නම් ආණ්ඩුවට අභියෝග එකක් නොව දෙකක්ම තිබෙන බව පැහැදිලිය. එකක් වත්මන් ජනාධිපතිගෙනි. අනෙක හිටපු ජනාධිපතිගෙනි.

ජනාධිපතිවරයා රනිල්ගේ ආණ්ඩුවට දෙහි කැපීමෙන් නතර නොවී තමන්ගේ මන්ත්‍රීවරුන්ට ඇමැති ධූර ලබාදීම වැළැක්වීමෙන්ද ගැහැව්වේ දේශපාලන ගේමකි. එයින් ඔහුට ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රී කණ්ඩායම ඉතුරු වූ අතරම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ටී.එන්.ඒ. එකෙන් තොරව බහුතරයක් හදාගත නොහැකි තත්ත්වයක් ද ඇති කළේය. අගමැති රනිල් පසුගියදා යූ.එන්.පී. ප්‍රමුඛත්වයෙන් පුළුල් සංවිධානයක් ගොඩනැගීමට තීරණය කළේ ඒකට පිළිතුරක් වශයෙන් දැයි දැන්ම කීම අමාරුය. හැබැයි පවතින තත්ත්වය වෙනස් වී ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට එක්වීමට තීන්දු කළොත් මේ සියල්ල උඩුයටිකුරැ වීමටත් ඉඩක් තිබේ. ජනාධිපතිවරයා ළඟ තවත් තුරුම්පු ඉතුරුව තිබෙන බවට මෙයත් සාධකයකි. එහෙත් දේශපාලන කරළිය තුළ තිබෙන කතාව වන්නේ මෙතෙක් ගැසූ තුරැම්පුවල වාසිය ගියේ යූ.එන්.පී ප්‍රමුඛ ආණ්ඩුවට බවය.

තුරැම්පුවලින් වාසිය ලබාගත්තත් ආණ්ඩුව තවමත් වෙනස් වීමට සූදානමක් නැත්නම් ඒ තුරුම්පු ආපසු කැරකීමට ද හැකියාව තිබේ. අලුතින් දිව්රැම් දී වැඩ ඇරුඹූ දවසේ පටන් මේ දක්වා නම් වෙනසකට සූදානම් බවට ආණ්ඩුව කිසිම ඉඟියක් ලබාදී නැත. ගම්පෙරළියට කෝටි 30 බැගින් ආසනයක් සඳහා වෙන්කර දීමට තීන්දු කිරීමත් තෙල්මිල බැස්සීමක් කැපී පෙනුණත් ඒ මගින් පමණක් ජනතාව ඉල්ලා සිටින වෙනස සිදුවනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක. වෙනසක් වෙනුවෙන් කැපවීමක් කරන බවක් නම් තවමත් පෙනෙන්නට නැත.

වත්මන් ආණ්ඩුවේ මුල් කාලයේදී එනම් ඔක්තෝබර් 26ට පෙර පැවැති කාලයේදී පවා කැපී පෙනුණු දුර්වලකමක් වී තිබුණේ ගන්නා තීන්දු ජනතාවට වසන් කිරීමත් එම තීන්දු ක්‍රියාත්මක කිරීමට ලොකු කාලයක් ගැනීමත්ය. සාමාන්‍ය ජනවහරේ කියන විදියට එතකොට පෙරහර ගොස් අවසානය. ලබන අවුරුද්දෙදිත් තත්ත්වය එහෙම නම් ඡන්දයක් එනකොට ඒකෙ වාසිය ආපසු රාජපක්ෂලාගේ පැත්තට හැරී තිබීමට ද ඉඩක් තිබේ. මේ ගැන අනාවැකි පළකිරීම පහසු නැති වුවද ඊළඟට එන්නේ මැතිවරණ වසරක් බව සිහියේ තබාගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ ඇඟට ගුණය.

හරියට බැලුවොත් මේ ආණ්ඩුවේ ආයු කාලය ඇත්තේ 2020 අගෝස්තු දක්වා පමණි. එය වසර එකහමාරක පමණ කාලයකි. එහෙත් ඊට කලින් ජනාධිපතිවරණයට දින නියම වෙනු ඇත. ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 08 වැනිදායින් අවසන් වෙයි. ඊට මාසයකට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුය. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ යෝජනාවකින් මහමැතිවරණයක් ඉල්ලා සිටියොත් හැර කලින් එන්න නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයයි. පළාත් සභා ඡන්ද ඊටත් කලින් පැවැත්විය යුතු වුණත් මහ ඡන්ද දෙකට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වෙනු ඇතැයි කියා හිතන්න අමාරැය. ඒ ගැන නායකයන්ගේ ද ඇත්තේ අඩු උනන්දුවක් බවත් පෙනෙන්නට තිබේ. එහෙත් ඡන්ද කොමිසමේ සභාපතිවරයා නම් කියන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකිතරම් උත්සාහ කරන බවය.

මේ විදියට ගණන් බැලුවොත් වැරදි හරි ගස්සාගැනීමට ආණ්ඩුවට සැලකිය යුතු මාස ගණනක් ඉදිරියට තිබේ. එහෙම වුණත් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ සටන්බිමේ තමන් පසුපස සිටි සුවිසල් ජනගංගාව දිගින් දිගටම තමන් සමඟ රැඳී සිටිනු ඇතැයි ආණ්ඩුව විශ්වාස කරන්නේ නම් එය විශාල වැරදීමක් බවද සඳහන් කළ යුතුය. මේ බව සිතේ තබාගනිමින් ආණ්ඩුව ඉදිරි කටයුතු සැලසුම් නොකළොත් එය කොළ ඉරාගැනීමක් වනු ඇත. ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 වැනිදා ගනු ලැබූ තීන්දුව වැරදි බවට මේ රටේ බොහොමයක් ජනතාව විසින් තීන්දු කිරීම 2015 පටන් ක්‍රියාත්මක කළ යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කිරීමක් නොවේ. එහි කතා දෙකක් නැත. එහෙම වැරදි අදහසක් ආණ්ඩුවේ කිසියම් හෝ නායකයකු තුළ තිබෙයි නම් කළයුත්තේ පසුගිය පෙබරවාරි 10 වැනි පැවැත්වූ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ලේඛනය විශ්ලේෂණය කිරීම පමණි.

ඔක්තෝබර් 26 වැරදි තීන්දුව අනුමත කරමින් කටයුතු කිරීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වටා නැගෙමින් තිබූ ජනරුල්ල බාදියට හසුවී ගියාක් මෙන් පෙනෙන්නට තිබේ. ඒ වෙලාවේ අගමැතිධූරය නොගෙන සිටියා නම් හොඳයැයි දැන් මහින්දට නොසිතෙනවා නම් පුදුමය. ඔහුට එම තීරණය ගැනීමේදී සහාය දැක්වූ සියලුදෙනාද දැන් සිටින්නේ සද්දෙ වහගෙනය. පාර්ලිමේන්තුවේ දැන් රනිල්ගේ ආණ්ඩුවට බහුතරයක් නැතැයි වැනි කතා දැන් රටේ ජනතාවට අදාළ නැත. ඔවුන් ආණ්ඩුවෙන් වෙනසක් බලාපොරොත්තු වෙනවා වගේම විපක්ෂයෙන් ද බලාපොරොත්තු වන්නේ වෙනසකි. දවස් 51 ආණ්ඩුවේදී ප්‍රධානීන් පත්කළ විදිහත් මහින්දට සහාය පළකරන ජනතාවගේ වුවද ප්‍රසාදයට ලක්වුණේ නැත. ඒ බව හොඳින්ම අවබෝධ කරගැනීම අනාගතයට හොඳය. ඒ වගේම තිබුණාටත් වඩා ජවයකින් ඊළඟ ඡන්දයට පිවිසීමට මහින්දට තිබෙන හැකියාව සහ ශක්තිය දවස් 51 වැඩේ හේතුවෙන් අවතක්සේරුවට ලක්කිරීමට ආණ්ඩුව ක්‍රියාකළොත් එයද බරපතළ වැරුද්දක් වීමට හොඳටම ඉඩකඩ තිබේ. විශේෂයෙන් දකුණේ මහින්දලාට තිබෙන පිළිගැනීමේ අඩුවක් ඇතැයි සැකයක් හෝ තබා ගතයුතු නැත.

ජනතාවගේ බලාපොරොත්තු කඩකළේ මහින්දලා පමණක් නොවේ. අලුත් ආණ්ඩුව දිව්රුම් දීමෙන් පසුව ඇමැති මණ්ඩලය පත්කිරීමේදී ද ජනතාව බලාපොරොත්තු වූ සුවිශේෂී වෙනස්කම් පෙනෙන්නට නැත. ජනතාවගේ විශේෂයෙන්ම යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයට ලක්වූ සමහරැ ද අලුත් කැබිනට්ටුවේ සිටිති. ඒ පත්වීම් කොතරම් සාධාරණීකරණය කිරීමට උත්සාහ කළත් එයින් පළත් නැත. විවිධ චෝදනාවලට ලක්වූ සහ අකාර්යක්ෂම යැයි දිගින් දිගටම යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ විරෝධයට ලක්වූ ඇමැතිවරැන් සිටින ආණ්ඩුවට තම අනාගත උපායමාර්ග සකස් කිරීමේදී විශාල අභියෝගවලට මුහුණදීමට සිදුවන බව පැහැදිලිය. ඇමැතිවරැන්ට අයත් විෂයයන් ගැසට් කිරීමේ ප්‍රමාදය නොවී නම් මේ වනවිට රජයේ කටයුතු ආරම්භ වීමට හොඳටම ඉඩ තිබුණි. එසේ නම් නව රජයේ ආයතනවලට පත්කෙරෙන්නේ කවුද යන්නත් මේ වනවිට පැහැදිලි වනු ඇත. 

මේ දේශපාලන ගැටුම්, මතභේද හේතුවෙන් රටේ ප්‍රධානම පක්ෂ වන යූ.එන්.පී., ශ්‍රී.ල.නි.ප., ශ්‍රී.ල.පො.පෙ. (පොහොට්ටුව) පමණක් නොව ටී.එන්.ඒ. එක තුළ පවා අර්බුද ඇති වී තිබීම ද කැපී පෙනෙන ප්‍රවණතාවකි. රටේ දේශපාලන අර්බුදයක් පවතිද්දී පක්ෂ ඇතුළේ ගැටුම් ඇතිවීම, මතබේද ඇවිස්සීම සාමාන්‍ය කරුණකි. පොහොට්ටු පක්ෂය බිහිවීමට පෙර මහින්දට සහාය දැක්වූ මන්ත්‍රී පිරිස හැඳින්වූයේ ඒකාබද්ධ විපක්ෂය කියාය. මේ ඒකාබද්ධ විපක්ෂය මහින්ද රට ඇතුළේ යළි ඉස්සීමට විශාල වැඩකොටසක් කළේය. පොහොට්ටු පක්ෂයට මරැ වුණේ එම ඇමැතිවරැන් ඇතුළු මහින්ද බලවේගයයි. හැබැයි ඒකාබද්ධ කාලේ පටන්ම මතගැටුම් පැවතුණත් එය එළියට පැන්නේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මුලින්ම රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හේතුවෙනි. එය දිගින් දිගටම ඇදී ගියේය. එය අදටත් ඉවරයක් නැත. 

ඉන්පසුව දවස් 51 ආණ්ඩුව අවස්ථාවේදී ද වෙල්ගම මන්ත්‍රීවරයා දැඩිව ඊට එරෙහි විය. මහින්ද මහත්තයට 113 දෙන්න මම එන්නම් හැබැයි ඔය ආණ්ඩුවෙට නම් නැහැ. යන්න ඔහුගේ ප්‍රකාශය විය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට කලින් සිටම ඔහු කියා තිබුණේ මහින්ද මහත්තයා අගමැතිකම අත්හැරිය යුතු බවය. බහුතරයක් නැතුව ආණ්ඩු කරන්නෙ කොහොමද යන්න ඔහුගේ තර්කය වී තිබුණි.

කෙසේ වුවද ලොකුම අර්බුදය හටගත්තේ මහින්දලා පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සම්බන්ධයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුවත් සමඟ ඒකාබද්ධය නියෝජනය කරමින් සිටි ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු මහින්ද ද ඇතුළුව පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව ප්‍රකාශ කර තිබුණි. නමුත් අාණ්ඩුව අහිමිවීමෙන් පසුව ඔවුන් කියා තිබුණේ තමන් පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලුම් කළා හැර එය ලබා නොගත් බවය. ඒ දිනවල පැවැති රැස්වීමකදී බැසිල් කියා තිබුණේ ද තවම කිසිදු මන්ත්‍රීවරයකුට තමන්ගේ පක්ෂ සාමාජිකත්වය පිරිනමා නැති බවය. පොහොට්ටු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද කිව්වේ ඒ කතාවමය. එහෙම බැලුවොත් දැන් පොහොට්ටු පක්ෂයේ ඉන්නේ බැසිල් සහ ජී.එල්. පමණය. ඔක්තෝබර් 26 තීන්දුවෙන් පොහොට්ටුවේ දේශපාලනයට ද බඩේ පාරක් වැදී තිබෙන බව මෙයින් පැහැදිලි වෙයි.

මීළඟට ශ්‍රී.ල.නි.ප.ය සහ පොහොට්ටුව එකතුවන බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළවෙයි. පොහොට්ටුව කියන්නේ එවැනි එකතුවක් ගැන තමන්ගේ පක්ෂයේ තීන්දුවක් නැති බවය. එහෙත් ශ්‍රීලනිප සාමාජික මන්ත්‍රීවරැන් පිරිසක් කියන්නේ තමන් පොහොට්ටුව සමඟ සන්ධානයකට යන බවය. එයට ඉඳුරාම විරුද්ධ මන්ත්‍රී පිරිසක් ද ශ්‍රීලනිපයේ වෙති. පෙනෙන හැටියට එම මන්ත්‍රී කණ්ඩායමේ සිටින ප්‍රබලයන් දෙදෙනකු වන්නේ දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීරයි. ඔවුන්ට එකතුවන තවත් කිහිපදෙනකු සිටින බවද කියයි. ඔවුන් දැඩිලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි කියන්නේ පොහොට්ටුව සමඟ ගියොත් තමන් දේශපාලන වශයෙන් අනාථ වනු ඇතැයි කියාය. පොහොට්ටුව විසින් ශ්‍රීලනිපය යටකරගනු ඇති බවත් එයින් ශ්‍රීලනිපයේ විනාශය ළඟවනු ඇති බවටත් ඔවුන් තුළ දැඩි සැකයක් පවතින බව පැහැදිලිය. එයට සාධාරණ හේතු තිබෙන බව පසුගිය දිනවල පොහොට්ටුවේ වගකිවයුත්තන් කර තිබූ ප්‍රකාශවලින්ද තහවුරු වෙයි. මේ මත ගැටුම් කවදා ඉවරවේදැයි කියන්න නම් අමාරුය. ඇතැම් විට එහි අවසානය ශ්‍රීලනිප පිරිසක් ආණ්ඩුවට එකතු වීමද විය හැකිය. ශ්‍රීලනිපය අයට ඇමැතිකම් නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නොවන්නට එය මේ වනවිටත් සිදුවීමට ඉඩ තිබිණි.

යූ.එන්.පී.ය ඇතුළේද බරපතළ මතගැටුම් පවතී. එහි අලුත්ම ගැටුම එළියට ආවේ රංගේ බණ්ඩාරගෙනි. ඔහු පක්ෂ නායකත්වයට රතු එළියක් පත්තු කරමින් කිව්වේ තව මාසයක් ඇතුළත ඇමැතිකමක් නොලැබුණොත් තමන් දැඩි තීන්දුවක් ගන්නා බවය. පක්ෂයේ හැරවුම් ලක්ෂයේ අයිතිකරුවකු වන තමා නිකම්ම මන්ත්‍රී වී සිටියදී නිකම්ම සිටි පිරිසකට පවා ඇමැති තනතුරැ ලබාදී ඇතැයි ඔහු චෝදනා කරයි. ඔහුගේ නම ලැයිස්තුවේ තිබී පසුව එය කපා දමා ඇතැයිද ප්‍රකාශ වෙයි. කොහොම වුණත් මේ අනතුරැ ඇඟවීම ආණ්ඩුවේ නායකයන්ට නොසලකා සිටිනු නොහැකි වෙයි. තවත් අතෙකට මේ අවස්ථාව යූ.එන්.පී. ආණ්ඩුව ඇතුළේ ගැටුමක් ඇති කිරීමටද කෙනෙකුට යොදාගත හැකිය. එය එසේ වේදැයි ඉදිරි දිනවලදී බලාගත හැකි වනු ඇත. මීට අමතරව රවි කරුණානායක මහතා මුදල් ඇමැති ධුරය බලාපොරොත්තුවෙන් සිට එය නොලැබී යාම නිසාද විවිධ මතවාද පළකරමින් සිටී. තම අමාත්‍යංශය විදුලිබල වුවද තමන්ට රාජ්‍ය බැංකුද අයත් විය යුතු බවට ඉල්ලීම් කරන බවද දැනගන්නට තිබේ. මේ මතබේද ඉක්මණින් ඉවර කර නොගතහොත් එය ආණ්ඩුවේ පැවැත්මට තවත් මාර්ග බාධයක් වීම වළක්වනු බැරිය.

මුලින් තැබිය යුත්තේ මොන ඡන්දයද යන්න ගැනත් ආණ්ඩුවේ විවිධ මත පළවෙයි. අප්‍රේල් මාසයේ මහ මැතිවරණයක් එන බවට නවීන් දිසානායක ඇමැතිවරයා පළකළ අදහස තවත් ඇමැතිවරැන් කිහිප දෙනෙකු විසින්ම ප්‍රතික්ෂේප කර තිබිණි. පැහැදිලිව පෙනෙන්නේ මුලින් යා යුත්තේ කුමන ඡන්දයකටද යන්න ගැන එජාපෙ ඇතුළේ ද හරි අදහසක් නැති බවය. මොන ඡන්දය තිබ්බත් පරණ වැරදි හරිගස්සා නොගෙන ඡන්දෙට ගියොත් නම් සුළු පක්ෂවලට පවා ආණ්ඩුව බේරාගැනීමට අමාරු වන බව නම් පැහැදිලිය.

  ශශීන්ද්‍ර