2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

නව වසරේ අපේක්ෂා

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

2018 වසර තව පැය 48කින් අවසන් වෙයි. සහතික වශයෙන්ම කිවහැකි වන්නේ මේ වසර නිමාව දකින්නේ ආරම්භ වූ ආකාරයට නොවන බවය. වසර ඇරුඹෙන්නේ ආණ්ඩුවට පිටතින් පෙනෙන ගැටලුවක් නොමැතිවය. තිබුණු ගැටලුව වූයේ දිගින් දිගටම කල්දමමින් තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා බැරි තැනකට ආණ්ඩුව තල්ලු වී සිටීමය. අනෙක් අතට එකදිගට වැඩිවෙමින් තිබූ බදු හේතුවෙන් ජනතාවට දැඩි පීඩනයක් එල්ලවෙමින් තිබීමය. නමුත් වසර අවසන් වූයේ මෙතෙක් අප රට අත්දැකනොතිබූ ප්‍රබල දේශපාලන කුණාටුවකට හසුවීමෙන් අනතුරුවය.

අලුත් වසරක ආරම්භය තව දින දෙකකදී සනිටුහන් වනවිට ගෙවෙන වසරේ අමිහිරි අත්දැකීම් අමතකකොට අලුත් ප්‍රවේශයකට මඟපාදා ගැනීම කළයුතු වෙයි. එය ආණ්ඩුවට ද විපක්ෂයට ද රටේ පොදු මහජනතාවට ද අදාළය. මේ ගෙවෙන වසරේ අවසන් මාස දෙක අමතක කිරීමට කැමැති වන දේශපාලනඥයන් බොහෝ දෙනකු සිටින බවට සැකයක් නැත. එහිදී ආණ්ඩුව විපක්ෂයට ගොස් විපක්ෂය ආණ්ඩුව බවට පත්විය. එතෙක් පැවැති ජාතික ආණ්ඩුවට නායකත්වය ලබාදෙමින් සිටි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දේශපාලන වශයෙන් විරසක වූහ. එහි ප්‍රතිඵල රටට ඉතාම අමිහිරි විය. වාසනාවකට මෙන් රටේ ජනතාව දෙකට බෙදී ගහගන්නට ගියේ නැත. තම තමන් සහාය දක්වන දේශපාලන නායකයන්ට තම සහාය පළකරමින් ඔවුන් සිදුකළේ සිදුවන දේ ගැන විමසිල්ලෙන් සිටීමය.

ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව විපක්ෂයට ගොස් තිබූ ආණ්ඩුවට යළිත් බලය ලැබිණි. දින 51ක් ආණ්ඩුවේ සිටි පිරිස විපක්ෂයට ගියහ. කැබිනට් මණ්ඩලය 45කින් 30ට බැස යළිත් දිව්රුම් දීම සිදුවිය. මේ වසර අවසන් වනවිට පවතින දේශපාලන තත්ත්වය එසේය. ආණ්ඩුව මෙයින් කුමන පාඩමක් ඉගෙන ගත්තාදැයි අපි නොදනිමු. එහෙත් උදාවන අලුත් වසරේදී මේ ගෙවෙමින් පවතින වසරේ සිදුකළ වැරුදි සහ සිදුවූ අතපසුවීම් මඟහරවාගෙන කටයුතු නොකළහොත් යළි සකස් කරගත නොහැකි ප්‍රතිඵලවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇත. එහි අහිතකර බලපෑම් ඇතිවන්නේ සමස්ත රටටමය. විශේෂයෙන්ම ලබන වසර මැතිවරණ වසරක් වශයෙන් නම් කරනු ලැබ තිබීම මෙහිදී සැලකිලිමත් වියයුතු කාරණාවකි. 

ලබන වසරේදී ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වනු ඇත්තේ මැතිවරණවලදී ජයගන්නේ කෙසේද යන වග නොව රට හරි පීල්ලට දමා ගතහැකිවන්නේ කෙසේද යන්නය. ඒ වැඩේ හරියට කෙරුණොත් මැතිවරණ ගැන බියවීමට හේතුවක් නැත. තෙල් මිල අඩුකිරීම දැන් පවතින ආණ්ඩුවල ජනප්‍රියම සාධකයක් බවට පත්කරගෙන තිබෙන බවක් ද පෙනෙයි. එවැනි තාවකාලික සහන ලබාදීම ජනතාවගේ පැත්තෙන් යහපත් දෙයක් වුවද ඒවා දීර්ඝකාලීනව රටට ඇතිකරන ප්‍රතිඵල කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. අලුත් වසරේදී වඩාත් ප්‍රායෝගික තීන්දු තීරණ ගැනීම ඊට වඩා ඵලදායක වනු ඇති බව අපගේ වැටහීමය. ආණ්ඩුවට බොහෝ දේවල් ඉටුකිරීමට ඇත්තේ මාස කිහිපයක කාලයක් පමණක් වීම මෙහිදී තීරණාත්මක සාධකයක් වනු ඇත. එම කාලසීමාව තුළදී මැතිවරණවලට මුහුණදීමට සිදුවන බවද ආණ්ඩුව හොඳින්ම දැන සිටිය යුතුය.

අලුත් අවුරුද්ද කෙරෙහි ජනතාව මහත් බලාපොරොත්තු දල්වාගෙන සිටින බවද මෙහිදී පෙන්වා දියයුතුය. ඉදිරියට එන්නේ අපහසු, දුෂ්කර කාලයක් බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් තමන් දුක්විඳිද්දී ආණ්ඩුවේ ලොකු ලොක්කන් සැප විඳිනවා නම් රට සවාරි යනවා නම් තමන්ගේ බදු මුදලින් කෝටි ගණන් වාහන ගෙන්වා ගන්නවා නම් එතැන ලොකු වැරැද්දක් ඔවුහු දකිති. එවැනි තත්ත්වයක් තවදුරටත් ඔවුන් නොඉවසනු ඇත. එසේම බැඳුම්කර වංචා වැනි මගඩි ඇතුළු මහාපරිමාණ වංචා සහ දූෂණ සිදුවීමට ඉඩලබාදෙයි නම් තමන්ගේ ගජමිතුරන්ට වාසි සැලසෙන ආකාරයට කටයුතු සිදුවන්නේ නම් අපට කිවහැක්කේ අලුත් අවුරැද්ද එකම අල හොද්දක් වියහැකි බව පමණි.

පරණ අදහස්වලින් ඈත් වී අලුත් ලෝකයේ අලුත් ප්‍රවණතා හඳුනාගනිමින් ඉදිරියට යන ගමනක් අද අපේ රටට අත්‍යාවශ්‍ය වී තිබේ. ඒ බව ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැනසිටීම අවශ්‍යය. පරණ මතවාදවල එල්ලී සිටිමින් ජනතාව ද ඒ තුළට ඇදදමා ගැනීමට උත්සාහ දරණු වෙනුවට අලුත් ලෝකයට ගැලපෙන අයුරින් ඉදිරිගමන් මඟ සකස් කරගැනීම මේ මොහොතේ අවශ්‍යතාව වී තිබේ. රටේ ජනතාවද බලාපොරොත්තු වන්නේ අදට වඩා හොඳ හෙට දවසකි. ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් දමාගැනීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කළොත් රටත් ජනතාවත් ගොඩයනු ඇත. එසේ නොවුණොත් ආණ්ඩුව පමණක් නොව රටත් නවතිනු ඇත්තේ වළපල්ලේය.

ලබන්නා වූ 2019 නව වසර පාඨක ඔබ ඇතුළු සියලු රට වැසියන්ට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.