2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුවේ අභියෝග

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

අලුත් ආණ්ඩුවේ 28 දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලය දැන් දිවුරුම් දී අවසන්ය. ජනාධිපති සහ අගමැති තනතුරැ දෙක සමඟ රට පාලනයට 30 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයක් දැන් රටේ සිටියි. ඊළඟට ඇත්තේ වැඩට බැසීමය.
ආණ්ඩුව අලුත් කිව්වත් එහි සිටින්නේ පරණ මුහුණුමය. එයට හේතුවක් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඇමැති මණ්ඩලය අලුතින් දිවුරැම් දුන්නත් එය සිදුවූයේ මහ මැතිවරණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. යහපාලන, ජාතික, සම්මුතිවාදී මේ වැනි බොහෝ වචන වලින් හඳුන්වන ලද  පැවැති රජය පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට දේශපාලන කුණාටුවකට හසුවීමේ ප්‍රතිඵලයක් හැටියට මේ දිවුරුම් දීම සිදුවිය. ඒ අතරවාරයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරය ප්‍රමුඛව තවත් ඇමැති මණ්ඩලයක්ද දිවුරුම් දුන්නමුත් එහි ක්‍රියාකාරීත්වය උසාවිය මගින් අත්හිටුවන ලදී. ඒ සති කිහිපය තුළදී ඔවුන්ට කළ හැකි වූයේ තෙල් මිල අවස්ථා දෙකකදී අඩුකිරීම පමණි. එයද අවස්ථාවේ හැටියට පොදු ජනතාවගේ සිත දිනා ගැනීමේ පියවරක් පමණක් මිස සැලසුම් සහගතව සිදුකළ ආර්ථික පෙරළියක් නොවීය. අලුත පත්ව සිටින රජයට එසේ කටයුතු කිරීමට හැකියාවක් නැත
.

එයට හේතුව අලුත් රජය ඉදිරියේ බරපතළ අභියෝග කිහිපයක්ම පැවතීමය. විශේෂයෙන්ම රට වැටී සිටින ආර්ථික අගාධය විශාලම අභියෝගයයි. අතගැසූ සියල්ල රත්රන් බවට හැරවෙන මන්තර ගුරැකමක් හෝ ඇලඩින්ගේ පුදුම පහන වැනි ප්‍රාතිහාර්යයක් මවා පෑමකින් තොරව හෝ හැර මේ පවතින ආර්ථික ගැටලු එකවරම විසඳා ගැනීමට වෙනත් කිසිම ක්‍රමයක් නැත. ඒ බව සියලුදෙනා අවබෝධ කරගත යුතු යථාර්ථයයි. තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීම ආණ්ඩුවේ මුල්ම වගකීම වෙයි. විසඳුම් සෙවිය හැකි මාර්ගයක් හෝ මාර්ග කිහිපයක් හෝ පාදා ගත්තොත් තව ටික දුරක් රටට ඉදිරියට යාගත හැකිවනු ඇත. 2.9%ක ආර්ථික වර්ධනයක් ඇති රටක තත්ත්වයට වැටී සිටින වර්තමාන ශ්‍රී ලංකාව එතැනින් ගොඩට ගැනීම සෙල්ලමක් නොවන බව පමණක් පැවැසිය හැකිය.

ආර්ථිකය ගොඩගැනීමට නම් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමට ප්‍රමුඛත්වය දීම අවශ්‍යය. එය අලුත් ඇමැති මණ්ඩලය මුලින්ම තේරැම් ගත යුතුය. මෙහිදී රජය මුහුණ දෙන අසීරුම ඉලක්කය වනු ඇත්තේ ඔවුන්ට ඉදිරියට ඇත්තේ සුළු කාලසීමාවක් පමණක් වීමය. නුදුරැ අනාගතයේදී මහ මැතිවරණයකට නොගියද රජයට තවත් ඉතිරිව ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක් පමණි. එකී කාලසීමාව තුළදී ආර්ථිකය ශක්තිමත් කිරීමට දැඩි තීන්දු ගැනීමට මෙන්ම පොදුජනතාවට සහන ලබාදීම සඳහා ලිහිල් තීන්දු ගැනීමටද රජයට සිදුවනු ඇත. මෙය බැලන්ස් කර ගැනීම කිසිසේත්ම පහසු නැත. මහ ඡන්දයක් අරමුණු කර ගනිමින් විශාල සහන ලබාදීමට ක්‍රියා කළොත් එයම ආර්ථිකය තවත් දුර්වල කිරීමට හේතුවනු ඇත. අනෙක් අතට ආර්ථිකය ශක්තිමත් කිරීම පමණක් අරමුණු කර ගනිමින් දැඩි තීන්දු ක්‍රියා කිරීමට ගියහොත් ඉතාම ඉක්මණින් අලුත් රජය කෙරෙහි ජනතාව කලකිරෙනු ඇත. ආණ්ඩුවට තම ජනප්‍රියභාවය රඳවා තබා ගැනීම අසීරු වනු ඇත.

ආර්ථිකය හැසිරවීමේදී පමණක් නොව අලුත් ඇමැති මණ්ඩලයේ සෙසු රාජකාරි ඉටුකිරීමේදීද වෙනදාට වඩා සැලකිලිමත් ලෙසත් ජනතාවාදී ලෙසත් කටයුතු කිරීමට සිදුවෙයි. වසර තුනහමාරක් තිස්සේ මේ රජයේම පරණ මුහුණුවර තිබියදී ඔවුන් කටයුතු කළ ආකාරය ජනතාවගේ මතකයේ හොඳින් රැඳී තිබේ. ඒ කාලසීමාව තුළ සිදුකරන ලද වැරදි, උද්ධච්ඡ හැසිරීම්, නාස්තිකාර වියදම් ඇතුළු මේ සියල්ලම ජනතාවට රහසක් නොවේ. එම වැරදි පිළිවෙත්ම යළි යළිත් ක්‍රියාත්මක වෙනවා දකින්නට ජනතාව කැමැති නැත. ඉන්නේ පැරැණි අයම වුණත් අලුත් රජයක් වශයෙන් අලුත් සිතුම් පැතුම් සමඟ වැඩ කිරීම මෙහිදී වැදගත් වෙයි. තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කාලය නාස්ති කරනවාට වඩා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳාදීමට ප්‍රමුඛත්වය දීම අවශ්‍ය බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

රට ඉදිරියට ගෙනයාමට අවශ්‍යම සාධකයක් වන ව්‍යාපාරික ලෝකය තුළ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමද මෙහිදී වැදගත් වෙයි. ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් මාර්ගයක් වනුයේ රටට හැකි තරම් විදේශ ආයෝජන ලබා ගැනීමය. ඒ සඳහා දොරටු විවෘත කර ඇතැයි ප්‍රකාශ වූයේ වරක් දෙවරක් නොවේ. එහෙත් පසුගිය කාලය තුළ අසන්නට ලැබුණේ ආයෝජකයන් දිරිමත් කරනවාට වඩා ඔවුන් අධෛර්යමත් කරන කතාය. කොමිස් ඉල්ලීම් වැනි අවර ගණයේ වැඩ හේතුවෙන් මෙරටට ලැබීමට නියමිත වූ ව්‍යාපාර ආයෝජන ගණනාවක්ම ආපසු හැරී ගිය බවද වාර්තා විය. කෙසේ වුවත් මේ තත්ත්වය තුළ සංචාරක ව්‍යාපාරය තුළ නම් ආකර්ෂණීය වර්ධනයක් දැකිය හැකි විය. එවැනි අපට  ගොඩවිය හැකි අවස්ථා හඳුනා ගනිමින් රටට ආයෝජන කැඳවා ගැනීම මූලික අවශ්‍යතාවකි. අලුත් රජය අලුත් ප්‍රවේශයකින් ආයෝජන දෙස බලනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

රට මුහුණ දී ඇති දරුණුම ආර්ථික ගැටලුව වන්නේ රට මතට පැටවී තිබෙන අධික ණය බරයි. ලබන වසර මුල් කාලය තුළදී එයින් විශාල කොටසක් ගෙවීමටද නියමිතව තිබේ. රුපියල් අවප්‍රමාණය වීම තවත් ගැටලුවකි. මේ සියලු ප්‍රශ්න එකවර කළමනාකරණය කරගැනීම අපහසු බව සැබෑය. එහෙත් මේ ආණ්ඩුවේම මුල් අවුරැදු තුන හමාර තුළ ඊට හොඳ පදනමක් දමාගෙන නොතිබීමේ පාපය අද ගෙවන්නට සිදුවී ඇත්තේ රටටමය. එම වැරැද්ද යළිත් සිදු වුවොත් නම් ජනතාවගෙන් සමාවක් නොලැබෙනු ඇත.