2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ඊළඟ පිම්ම

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන ඉදිරියේදී පොතක් ලියන කෙනකුට මේ අවුරුද්දේ ඒ කියන්නේ 2018 ඔක්තෝබර් මාසේ 26 වැනිදා පටන් දෙසැම්බර් 14 වැනිදා දක්වා කාලය මේ රටේ ඉතිහාසයේ වෙනම සඳහන් වන පරිච්ඡේදයක් නොවුණොත් පුදුමය. ඒ තරම් ගැටගැහුණු, ලියාගන්න අමාරු වූ අර්බුදයක් මීට පෙර නොතිබුණ බව එම පරිච්ඡේදයේ අවසානයේ සටහන් වී තිබීමද බලාපොරොත්තු විය යුතුය. මේ සටහන තබන විටද ක්වෝ වොරොන්ටෝ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තිබිණි. බ්‍රහස්පතින්දා (13) ලබාදුන් නඩු තීන්දුව හේතුවෙන් ක්වෝ වොරොන්ටෝ නඩුවේ ආකර්ෂණය තරමක් අඩු වී තිබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් ඒ තීන්දුව පිළිබඳවත් තදින්ම සැලකිලිමත් විය. ඉදිරි පියවර ගැන තීන්දුවක් ගැනීම ඒ නඩුව විභාග කර අවසන් වනතුරැ කල්ගැනීම ජනපතිගේ අරමුණ වී තිබුණි.

පසුව දැනගන්නට ලැබුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලය තනතුරු දැරීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන් බවය. එහෙත් කැබිනට් මණ්ඩලයට පනවා ඇති අතුරැ තහනම් නියෝගය නඩු විභාගය හමාර වනතුරු ක්‍රියාත්මක කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවත් ප්‍රකාශ විය. මේ ගැන ජනපතිගේ ප්‍රතිචාරය දැනගන්නට නැත.

කොහොම බැලුවත් මේ රටේ මුලින්ම බිහිවූ ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකේ ජාතික ආණ්ඩුව අවසාන වූයේ ලොකු අසාර්ථක බවකිනි. ආපහු නම් කවදාවත් මේ දෙපිරිස එකතු වී ජාතික ආණ්ඩුවක් ගැන නම් කතා නොකරනු ඇති බව නම් ස්ථීරය. වෙන වෙනම ගොස් පක්ෂවලට එකතු වුණත් ජාතික ආණ්ඩුවක් ගැන කතාබහ නම් පක්ෂ දෙකටම දැන් තිත්ත කසායක් වී තිබෙන බව පැහැදිලිය. යහපාලන ආණ්ඩුව ආරම්භයේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ ආර්ථික වශයෙන් රටම ලෙඩ වී තිබෙන බවත් එම ලෙඩ සනීප කිරීමට නම් තිත්ත බෙහෙත් බීමට සිදුවන බවත්ය. ඒ වුණත් සිදුවූයේ යහපාලන ආණ්ඩුවටම තිත්ත බෙහෙත් බොන්නට සිදුවීමය.

මේ ඓතිහාසික නඩු තීන්දුවෙන් පස්සේ වෙන්න පුළුවන් මොනවාද? ඒ ගැන අදහසක් ලබාගත හැක්කේ තීන්දුව ලබාදීමෙන් පසුව දේශපාලන නායකයන් දැක්වූ අදහස් පිළිබඳව සොයා බැලීමෙනි. ජනාධිපතිවරයා තම අදහස් දැක්වීමට යොදාගත්තේ එජනිස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමයි. තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව එදින (13) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමේ ඔහු කියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බවය. මේ රැස්වීමට මහින්ද ඇතුළු සන්ධානයේ සියලු මන්ත්‍රීන් පැමිණ තිබේ. තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ එජාපය රටට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළ වැළැක්වීමට බවත් එජාපය නැවත බලය ලබාගෙන රටට කිරීමට යන විනාශය නැවැත්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයා කියා තිබුණි. රටට එජාපෙ රජය කරන්න ගිය විනාශය කුමක්දැයි ජනාධිපතිවරයා මේ කතාවේදී ප්‍රකාශ කර තිබුණාදැයි හරිහැටි දැනගන්නට නැත. නමුත් යහපාලන ආණ්ඩුව ගෙනගියේ ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් යන දෙදෙනාගේම නායකත්වයෙන් බව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා කියා නොතිබිණි. මීට දෙසතියකට පමණ ඉහතදී ජනාධිපතිවරයා කළ කතාවකදී රනිල් අගමැති වශයෙන් සිදුකළ වැරදි පෙන්වා දෙමින් කියා තිබුණේ තමන් ඒ අවස්ථාවලදී ඉවත බලාගෙන සිටි බවත් එය දරාගත නොහැකි මට්ටමකට පැමිණි පසුව මේ පියවර ගත් බවය. ඒ කතාව පසුව යූ.එන්.පී. මන්ත්‍රීවරැන් කිහිපදෙනකුම ප්‍රතික්ෂේප කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුව ලැබීමෙන් පසුව අරලියගහ මන්දිරයේදී කියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇති බවය. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍යය යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කර ඇති බවද පාර්ලිමේන්තු බලය අද නීත්‍යානුකූලව තහවුරු වූ බවද රනිල්ගේ කතාවේ සඳහන් විය. තමන් ගෙනගිය සටන සම්පූර්ණ වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව නිසා ඒ වෙනුවෙන් ජනතාව පෙළගැසී සිටිය යුතු බවද ඔහු එතැන රැස්ව සිටි ජනතාවට කියා තිබුණි.

යහපාලන ආණ්ඩුවේ හිටපු නායකයන් දෙදෙනාගේම ප්‍රකාශවලින් පෙනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුවත් අර්බුදයේ ගැටය තවම ලිහීගොස් නැති බවය. ජනාධිපතිවරයා රනිල්ට අගමැතිකම බාරදීමට ඇරියුම් නොකර සිටිය හැකි වුවද ඔහුට අගමැතිකම ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන අවස්ථාවක එය ලබා නොදීමට ව්‍යවස්ථාවට අනුව ඉඩක් නැත. කෙසේවත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලබා නොදෙන බව පැවැසීමද ව්‍යවස්ථාවට අනුකූලද යන්නත් ප්‍රශ්නයකි. රටේ මෙතෙක් පැවැති දේශපාලන අර්බුදය අධිකරණ තීන්දුවෙන් පසුවද විසඳාගත නොහැකි මට්ටමකට ඇද වැටුණොත් එහි ප්‍රතිඵල ගැන වගකියන්නේ කවුද යන ගැටලුවද මෙහිදී මතුවෙයි. මහින්ද එවැනි සටනක කොටස්කරුවකු වෙයිද? පසුගිය දින කිහිපය තුළදී ඔහුගේ හැසිරීමෙන් පෙනුණේ එවැනි අරගලයක කොටස්කරුවකු වීමට ඔහුගේ සූදානමක් නැති බවය. මහින්ද පසුගිය දින කිහිපයේම වැඩිපුර කතා කිරීමට ඉදිරිපත් වූයේ නැත. සිකුරාදා (14) උදෑසන වනවිට දැනගන්නට ලැබුණේ ඔහු අගමැති පදවියෙන් ඉවත්වීමටද තීරණය කර ඇති බවය. එසේ නොකරන්නැයි ඔහුට තවදුරටත් බලපෑම් එල්ල වන්නේදැයි පැහැදිලි නැති නමුත් ඊළඟට එළඹෙන මහ මැතිවරණයේදී තරග කිරීමත් කැම්පේන් එකට නායකත්වය දීමත් සම්බන්ධයෙන් මහින්ද දැන් සිටම සිතනවා විය යුතුය. එවැනි පෙළගැස්මකදී රටේ නීතිය ගණන් නොගෙන කටයුතු කරන නායකයකු වශයෙන් පෙනී සිටීමට මහින්ද කැමැති නොවනු ඇත.

මේ අතර ඔක්තෝබර් 26 වැනිදා සිටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල හඬක් නැගූ ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරැම එම සටනේ අඛණ්ඩව නියැලී සිටියේය. ඔවුන් පැහැදිලිවම කිව්වේ තමන් සටන් කරන්නේ රනිල් හෝ වෙන කවුරුන් හෝ අගමැති පුටුවේ වාඩිකරවීමට නොවන බවය. ව්‍යවස්ථා විරෝධී ආකාරයට ආණ්ඩුවක් පිහිටුවමින් සිදුකළ කුමන්ත්‍රණය පරාජය කිරීමට තමන් සටන් කරන බව ඔවුන් දිගටම දැරූ ස්ථාවරය විය. මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා දෙකටම සහාය දුන්නත් රනිල්ට විශ්වාසය පළකිරීමේ යෝජනාවට ඔවුන් සහාය දක්වන්නට ගියේ නැත. හැබැයි ඔවුන් ඒ අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා මිස රනිල් එපා කියා ඡන්දය පාවිච්චි කළේත් නැත. ජවිපෙ ඒ අවස්ථාවේදී රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමේ අරමුණක සිටියාදැයි කියාත් පැහැදිලි නැත. එහෙත් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී තීන්දුවලට එරෙහිව තමන් දිගටම සටන් කරන බව ජවිපෙ පාර්ලිමේන්තුවේදීත් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේය. තේරීම් කාරක සභාව පත් කිරීමේ දිනයේදී ජවිපෙ නායකයා කළ කතාව ඒ අතුරින් කැපී පෙනුණි.

ඒ අනුවම යමින් නඩු තීන්දුවෙන් පසුව ජවිපෙ නායකයා අධිකරණ භූමියෙන් පිටතදී ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් මනාව පැහැදිලි කර ඇති බවය. නඩු තීන්දුව හරහා ඉතාම තීරණාත්මක ලෙස මේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පරාජය කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින ලෙසට තමන් ජනාධිපතිවරයාට බලකරන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

එ.ජා.පෙ. සහ ජ.වි.පෙ. දක්වන අදහස් ගැන ජනාධිපතිවරයා කොතරම් දුරකට සැලකිලිමත් වනු ඇතිදැයි පැහැදිලි නැත. එහෙත් පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් පෙන්වා ඇති එ.ජා.පෙ. සහ ටී.එන්.ඒ. එකතුවෙන් පසුවද එජාපෙ නම්කරන රනිල්ට අගමැතිකම ලබා නොදීමට ජනාධිපතිවරයා දිගින් දිගටම ක්‍රියා කළොත් ජවිපෙ ගන්නා තීන්දුව කුමක්දැයි එක එල්ලේ කීම අපහසුය. මහින්ද අගමැති කමින් ගියොත් ජනාධිපතිට අවශ්‍ය නම් තවත් අගමැති කෙනකු ශ්‍රීලනිපයෙන් නම් කිරීමට හැකියාව තිබේ. තීන්දුවෙන් පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වේද ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කිරීමේ ක්‍රියාවලියකට යනු ඇති බවය. එය එජාපෙ හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක්දැයි කීමෙන් වැළකී සිටි දයාසිරි බහුතරය තිබෙන පක්ෂයට ආණ්ඩුවක් හැදීමට ආරාධනා කරනු ඇතිදැයි කීමෙන්ද වැළකී සිටියේය. දයාසිරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට වඩාත් සමීප මන්ත්‍රීවරයකු වශයෙන්ද පිළිගැනෙයි.

මේ පසුබිමේ යූ.එන්.පී.ය සූදානම් වන්නේ සඳුදා (17) කොළඹට විශාල ජනකායක් රැස්කොට ජනබලය ඇත්තේ තමන්ට බව පෙන්වීමටය. රනිල් කොහොම කිව්වත් ජනතාවගේ බලය ඇත්තේ මහින්දගේ පාර්ශ්වයට බව ජනාධිපතිවරයාට සහය දක්වන මන්ත්‍රී කණ්ඩායමේ අදහසය. පසුගිය දිනවල දිගින් දිගටම එස්.බී., ඩිලාන්, රෝහිත, විමල්, ගම්මන්පිල වැනි මන්ත්‍රීන් පිරිසක් වරින්වර ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතර බලය කොතරම් පෙන්වුවත් ජනතාවගේ බලය ඇත්තේ තමන්ට බවය. එම අභියෝගය යූ.එන්.පී.ය විසින් බාරගෙන තිබෙන බව හෙට ජනබල මෙහෙයුමෙන් පැහැදිලි වෙයි. මෙය පැවැත්වෙනු ඇතැයි කලින් පැවැසුණේ පසුගිය බදාදා (12)ය. එහෙත් තීන්දුව ලැබීමෙන් පසුව එම රැලිය පැවැත්වීමට රනිල් පසුව තීරණය කළේය. එය එක්තරා උපාය මාර්ගයක් විය හැකි බවද පෙනී යයි. තීන්දුව ලබාදීමෙන් පසුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් නොකරනු ඇති බවට සැකයක් රනිල් තුළ තිබීමට හොඳටම ඉඩ තිබේ. තීන්දුව ලබාදීමෙන් පසුව අරලිය ගහ මැඳුරේදී ජනතාව අමතමින් සටන තවම ඉවර නැති බවත් දිගටම පෙළ ගැසී සිටිය යුතු බවටත් රනිල් ප්‍රකාශ කරන්න ඇත්තේ ඒ නිසාය. හෙට (17) පැවැත්වෙන ජනබල මෙහෙයුම ජනාධිපතිගේත් මහින්දගේත් දෙදෙනාගේම ප්‍රබල අවධානයට ලක්වෙනු ඇත. ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට එය හොඳ මිනුම් දණ්ඩක් වනු ඇත.

කෙසේ වුවද රටේ පසුගිය සති කිහිපය තුළ ඇතිවූ දේශපාලන අර්බුදයේ වගකීමෙන් කොටසක් යූ.එන්.පී.ය මත පැටවිම වළක්වනු බැරිය. 2015 දී ජනතාවට පොරොන්දු මල්ලක් පෙන්වා බලයට පත්වුවත් ඔවුන් ඒ පොරොන්දු ඉටුකිරීම කෙරෙහි දැක්වූයේ අඩු සැලකිල්ලකි. වසර තුනක් ගතවුවද පොරොන්දු ඉටුනොවන විට දවසින් දවස රටේ ජනතාව රනිල්ගේ ආණ්ඩුව කෙරෙන් ඈත් වූ බව පැහැදිලි විය. එහෙත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට එය දැනුණේම නැත. ජනතාවට පමණක් නොව යූ.එන්.පී.යේම ජ්‍යෙෂ්ඨයන් වන කිහිපදෙනකුට හැර අනෙක් සියලුදෙනාටම නායකයන් හමුවීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබුණි. මේ නිසා රට තුළ යූ.එන්.පී. පාක්ෂිකයන් පවා පක්ෂය කෙරෙහි කලකිරී සිටින බවට වන පණිවුඩය පක්ෂයේ ඉහළට ගියේ නැත. රට තුළ අලුතින් මහා පරිමාණ සංවර්ධන කටයුතු ඇරුඹුණේ නැත. කරපු වැඩ ගැනත් රටට ලබාදුන් ප්‍රචාරය ඉතාම දුර්වල විය. ජනතාව අතර ආණ්ඩුව පිරිහීම ආරම්භ වනවිට කළහැකි වූයේ ඡන්ද කල්දැමීම පමණි. නමුත් එයටද සීමාවක් තිබුණි. අවසානයේ පසුගිය පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දය නොපවත්වාම බැරි තැනට ආවේය. ජනතාව රජය කෙරෙහි බරපතළ ලෙසට කලකිරී සිටින බව ප්‍රතිඵල වලින් පැහැදිලි විය.

එහෙත් එයින්ද පාඩමක් ඉගෙන ගැනීමට යූ.එන්.පී.ය උනන්දු වූයේ නැත. රටේ ජනතාව එම ප්‍රතිඵලය හරහා ලබාදුන් සංඥාව තේරුම් ගැනීමට යූ.එන්.පී.ය මැලි විය. නැතහොත් එය පිළිගැනීමට උවමනාවක් නොතිබිණි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙසට ගනු ලැබූ තීන්දු කෙරෙහි රට තුළ බලවත් විරෝධයක් සහ විවේචනයක් තිබුණත් ඔහුට එම දැඩි තීරණ ගැනීමට පාර කැපුණේ යූ.එන්.පී.යේ අදූරදර්ශී, ජනතාවගෙන් ඈත් වූ ප්‍රතිපත්ති සහ වැඩකටයුතු හේතුවෙනි. ජනාධිපතිවරයා තීන්දුව ගත් අවස්ථාවේ රට තුළ ලොකු විරෝධයක් පැන නැගුණු බවක් පෙනෙන්නට තිබුණේ නැත. එහෙත් බහුතරයක් හදාගැනීමට නොහැකි වීමෙන් සියල්ල කනපිට හැරුණේය. පාර්ලිමේන්තුව කල්තබා ඊටත් සතියකට පසුව පාර්ලිමේන්තුව විසුරැවා හරින විට ජනතාව කලබල විය. ඒ වනවිට යූ.එන්.පී.යටද තමන්ට පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇතැයි පෙන්වාදීමටද හැකි වී තිබිණි. එහිදී අගමැති ධුරයට පත්වීම බාරගත්තත් එය නොගත්තා නම් හොඳ යැයි මහින්දට පසුව නොසිතුණා නම් පුදුමය.

මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණ කරන ලද්දේ සති හතක් තිස්සේ රටේ පැවැති දේශපාලන අර්බුදය විසඳාදීමේ නීතිමය ක්‍රියාවලියයි. ඒ අනුව කටයුතු කිරීම අරගලයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යුතුකමය. ඔවුන් අවසානය ජනතාවට වගකිවයුතු බැවිනි. ඉතිහාසගත වන නඩු තීන්දුවකින් පසුවද දේශපාලන ගනුදෙනු බේරාගත නොහැකි නම් මේ රටේ දේශපාලන නායකයන්ගේ කෙරුවාව ජනතාව විසින් ප්‍රබල ප්‍රශ්න කිරීමකට ලක්වීම වැළැක්විය නොහැක.

ජනතාවට පොරොන්දු වූ පරිදි කටයුතු නොකිරීමත් දූෂණ සහ වංචා පිළිබඳ වැරුදිකරුවන්ට දඬුවම් ලබාදීමට අසමත් වීමත් රටේ දියුණුවට හේතුවන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නොහැකිවීමත් ගජ මිතුරන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් පාක්ෂිකයන්ගෙන් ඈත්වීමත් නිසා එජාපෙ ආණ්ඩුව අමාරුවේ වැටුණේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා එජාපෙට දැන් යළිත් අවස්ථාවක් ලැබී තිබේ. එකම ආණ්ඩුවකට අවස්ථා දෙකක් ලැබෙන්නේ කලාතුරකිනි. එයින්වත් වැඩක් නොගත්තොත් ඊළඟ ඡන්දෙන් පස්සේ ඇඩ්‍රස් නැතිවීමටත් ඉඩ තිබේ.

  ශශීන්ද්‍ර

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30