2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

තීන්දුවට පසු...

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

රටම බලාගෙන සිටි තීන්දුව වශයෙන් බොහොමයක් දෙනා විසින් හඳුන්වනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා (13) ප්‍රකාශයට පත් කෙරැණි. එම තීන්දුවෙන් කියා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය. ආණ්ඩුවට වසර හතරහමාරක් ගත වීමෙන් පසුව හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක සම්මතයකින් කරනු ලබන යෝජනාවකදී හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතියට පටහැණි බව ප්‍රකාශ විය. ඊළඟට තිබෙන්නේ තීන්දුවට අනුව කටයුතු කළ යුතු වන්නේ කෙසේදැයි අරගලයේ පාර්ශවකරුවන් විසින් තීරණය කිරීමය.

අරගලයේ පාර්ශවකරැවන් වන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකයයි. විධායකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නියෝජනය කරනු ලබන අතර ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ශවකරැවන් අතර සියලුම මන්ත්‍රීවරු සිටිති. මේ සියලු දෙනාම දැන් කළ යුතු වන්නේ රටේ අනාගතය යහපත් කර ගැනීම සඳහා සිහි නුවණින් තීන්දු තීරණ ගැනීමය. පැන නැගුණු ගැටලුව විසඳාගැනීම සඳහා රටේ අධිකරණය මගින් ලබාදෙන ලද තීරණය ගරු කරමින් පටු දේශපාලන අවශ්‍යතා පසෙකට දමා කටයුතු කිරීමට සියලු නායකයන් පෙළගැසීම මෙහිදී ප්‍රමුඛ අවශ්‍ය අවශ්‍යතාව වී තිබේ.

රටක පාර්ලිමේන්තුවේ කාර්යභාරය වනුයේ නීති සම්පාදනය කිරීම පමණක් නොව පාලනය ද යහපත් අන්දමින් ගෙනයාමය. රටේ එදිනෙදා කටයුතු අවුල් වීමට ඉඩ නොතැබීමය. නීතිය සහ සාමය යහපත් ලෙස පවත්වාගෙන යාමය. ආර්ථිකය ශක්තිමත් කිරීමය. පාර්ලිමේන්තුව දුර්වල වන විට එසේ නැතහොත් අවුල් වනවිට එය රටේ පැවැත්මට ද කෙළින්ම බලපායි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට මේ රටේ පැවැතියේ එවැනි තත්ත්වයකි. දැන්වත් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සියලු නායකයන් අධිෂ්ඨාන කරගැනීම අවශ්‍යය. දේශපාලනයේදී සියලු දෙනා තීන්දු තීරණ ගන්නේ තම තමන්ට වාසිදායක වන අයුරින් බව ප්‍රකට රහසකි. නමුත් පසුගිය සති කිහිපය තුළදී මේ රටත් ජනතාවත් මුහුණ දුන් අප්‍රමාණ ගැටලු පිළිබඳව සිතා බලා තමන්ට වඩා රටට වාසිදායක වන ජනතාවගේ ගැටලු නිරාකරණය වන පාලනයක් සඳහා එකඟත්වයකට පැමිණීම අවශ්‍යය. තවදුරටත් දේශපාලන කඹ ඇදීම්වලට මේ රටේ ඉඩක් තැබිය යුතු නැත.

සති කිහිපයක්ම පැවති දේශපාලන අර්බුදයත් ඒ හේතුවෙන් ඇති වූ රටේ අස්ථාවරභාවයත් රටට ආර්ථිකමය වශයෙන් විශාල හානියක් මේ වනවිට සිදු කර තිබේ. එය තවදුරටත් ඇදගෙන යාමෙන් පළක් නැත. එක් අර්බුදයක සිට තවත් අර්බුදයකට පියවර තැබීමට කටයුතු කිරීමෙන් වැළකී ජනතාවගේ සුබසිද්ධිය සඳහා වැඩ කිරීම දැන් අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් මධ්‍යම කාරක සභාව කැඳවා ඉදිරි පියවර තීරණය කරන බව පසුගියදා ඔවුන් සමඟ පැවැති සාකච්ඡාවකදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා තිබිණි. සාකච්ඡා කොට තීරණ ගැනීම ඉතාම සුදුසුම ක්‍රමය බවට විවාදයක් නැත. එහෙත් රටේ පවතින සැබෑ තත්ත්වය සහ අවශ්‍යතාව පිළිබඳව හොඳ අවබෝධයකින් තීරණ ගැනීම ද අවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු. පසුගිය සති කිහිපය තුළ විවිධ කණ්ඩායම් මඟින් ගන්නා ලද ඇතැම් තීරණ පවතින තත්ත්වය සමනය කිරීමට වඩා එය තවත් බැරෑරුම් කිරීමට හේතු වූ බවද සඳහන් කළ යුතුය.

දැන් එළැඹ තිබෙන්නේ ජනතාව උත්සව සමය වශයෙන් හඳුන්වන වසර අවසන් සති දෙක තුනටය. මේ කාල සීමාව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉහළට නැංවෙන කාලයයි. එහෙත් මෙවර එම සතුට, විනෝදය ජනතාව කෙරෙන් තුරන් වී රටේ අවුල ලිහෙන තුරැ බලා සිටීමට ඔවුන් පෙළැඹී සිටින බවට පසුගිය දිනවල දැකගන්නට තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දෙන ලද තීන්දුවට අනුව පැවැති දේශපාලන අර්බුදය විසඳෙනු ඇතැයි ඔවුන් සිතීම සාධාරණය. ඒ ගැන රටේ සියලු දේශපාලන නායකයන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍යය. ජනතාවගේ බලාපොරොත්තු සුන් නොකළ යුතුය.

රටක ප්‍රජාතන්ත්‍රවාදය රුකෙන්නේ මැතිවරණ පැවැත්වීමෙන් පමණක් නොවේ. එය එකී ක්‍රියාදාමයේ කේන්ද්‍රය වුවද පවත්වන මැතිවරණ ජනතාවගේ අපේක්ෂා ඉහළ නංවන, ඔවුන්ට අවශ්‍ය පිළිතුරු ලබාදෙන එකක් විමත් අවශ්‍යය. නිසි කාලයට මැතිවරණ නොපැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අගය පිරිහෙනවා සේම ජනතාව නොඉල්ලන ඔවුන්ගේ කර මත බලෙන් පටවන මැතිවරණයකින් ද සිදුවිය හැක්කේ පවතින අර්බුදය ලිහී යාම නොව එය තවදුරටත් ගැට ගැසීම පමණි. ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න මදිවාට ඔවුන්ට තවත් ප්‍රශ්න පැටවීම යුක්ති සහගත නැත.

හැම දේශපාලන නායකයකුම කියන්නේ තමන්ගේ ලොකුම කැමැත්ත, ඕනෑකම ජනතාවට සේවය කිරීම බවය. එහෙත් ඇතැම් කාලවලදී අප දකින්නේ ඇතැම් දේශපාලන නායකයන් තමන්ගේ කැමැත්තට ඕනෑකමට ඉඩ දී කටයුතු කරන බවය. එය ද තිබෙන අවුල ලොකු අවුලක් බවට පත්කිරීමක් පමණි. හරි වෙලාවෙදී හරි තීන්දුව ගැනීම ද අවශ්‍යය. හරි තීන්දුවක් වුවත් වැරදි වෙලාවෙදි ගැනීමෙන් පළක් නැත. රටටම බලපාන තීන්දුවක් ගැනීමේදී වරක් නොව කිහිප වරක්ම සිතා බැලීම අවශ්‍ය වන්නේ එබැවිනි.