2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අවුල කොතැනද?

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ගෙවී ගිය සති කිහිපය තුළදී මේ රටේ දිග හැරෙමින් තිබූ බල පොරය රටේ ජනතාවට කොතරම් අපුලක් දැනවුවද ඒ දෙස බලා සිටිනු හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොතිබුණි. ඔක්තෝබර් 26 වැනිදාට පසුව මේ සටහන තබන විටද රටේ තත්ත්වය පැවැතුණේ අවුල්සහගතවය. ඇත්තවශයෙන්ම මේ දිනවල රටේ ආණ්ඩුවක් නැත. අගමැතිවරයකුද නැත. ඇමැති මණ්ඩලයක් ද නැත. මෙහෙව් රටක් වෙන කොහේවත් තිබේදැයි අපි නොදනිමු.

අරගලයක් සාමාන්‍යයෙන් නිමාව සිදුවිය යුත්තේ එක් පාර්ශවයක් ජයග්‍රහණය කොට අනෙක් පාර්ශවය පරාජය වීමෙනි. එහෙත් අර්බුදයක් ඒ ආකාරයටම අවසන් නොවේ. එය අර්බුදයේ ස්වභාවය අනුව වෙනස් වෙයි. ඒ අනුව බැලුවොත් දැන් මේ රට පවතින්නේ ලෙහෙසි පහසුවෙන් විසඳාගත හැකි මට්ටමක නොවන බව පෙනෙන්නට තිබේ. එක පාර්ශවයකට ජය ද අනෙක් පාර්ශවයට පරාජය ද වශයෙන් අවසන් නොවී පාර්ශව සියල්ලම එකම පඹ ගාලක පැටලී සිටින බවක් දැනෙයි. එයට එක් ප්‍රබල හේතුවක් වන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුම  අධිකරණය දක්වා ව්‍යාප්ත වීමෙනි. එය එතෙක් දුර ඇදගෙන නොගොස් නිමා කර ගැනීමේ අවස්ථාව අර්බුදයේ සියලු පාර්ශව විසින් අත් හැර තිබෙන බව යථාර්ථයයි. මේ රටේ මාධ්‍යවලට මේ අර්බුදය හැර වෙනත් වැදගත් දෙයක් ගැන කතා කිරීමට පවා අවස්ථාවක් නැති තරමට තත්ත්වය බරපතළය.

මෙවැනි සංකීර්ණ ව්‍යවස්ථාමය ගැටලුවකදී ඒ ගැන රටේ ජනතාව දැඩි උනන්දුවක් දැක්වීම ස්වභාවිකය. නමුත් අපේ රටේ ගැටලුවේ ප්‍රධාන වින්දිතයන් වන්නේ රටේ ජනතාව බව සිතෙන විට අපට දැනෙන්නේ බලවත් කනගාටුවකි. රටකට ව්‍යවස්ථාවක් හදා පාර්ලිමේන්තුවට තමන්ගේ නියෝජිතයෙක් යවා රටේ පාලනයට තමන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයකු ද පත්කොට නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණයක් ද ස්ථාපිත කර තිබුණත් අද රටේ ජනතාවට සැනසිල්ලේ නිදාගන්නවත් ඉඩක් නැත. තමන් වෙනුවෙන් ඒ ඒ  තැන්වලට  යැවූ තමන්ගේ නියෝජිතයන් වැඩ  කිරීම පැත්තකට දමා දේශපාලන ගුස්ති ඇල්ලීමට පටන්ගැනීම කිසිසේත් ජනතාවගේ යහපතට හේතු වන්නේ නැත. ඡන්දයක් දිනුවා හෝ පැරදුණා හෝ බලයට පත්වන කණ්ඩායමේ වගකීම වන්නේ පිස්සු කෙළින්නේ නැතුව පාලනය ගෙන යාමය. විපක්ෂයට තිබෙන්නේ ආණ්ඩුව පීල්ල පැන ජනතාවගේ අපේක්ෂාවලට පිටින් යන්නේ නම් ඒ බව පෙන්වා දී ඒත් හරියන්නේ නැත්නම් ඊට එරෙහිව සටන් කිරීමය. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ ඒ සියල්ල අමතක කොට බලයට පොර ඇල්ලීමය.

මෙවැනි බලපොරයකදී අවම හානියක් සිදුවිය හැකි කාල සීමාව දැන් පැන තිබේ. රටේ ආර්ථිකයට ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම සිදු කෙරෙන්නේ කෙණෙහිලිකම් පමණි. එහෙත් එවැනි කෙණෙහිලිකම් ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් වශයෙන් අර්ථ ගැන්වීමෙන් පළක් නැත. මෙතරම් දේශපාලන අස්ථාවරභාවයකින් යුත් රටක් සමඟ ගනුදෙනු කිරීමට ලෝකයේ ආර්ථික වශයෙන් බලවත් කිසිම රටක් කැමැති නොවීම පුදුමයක් නොවේ. ඇත්ත වශයෙන්ම අප පුදුම විය යුත්තේ එවැනි රටක් තිබේ නම් පමණි. මේ නිසා මහබැංකු අධිපතිවරයා තමන්ගේ රටේ ආර්ථිකයේ වරදක් නැතැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තරය විසින් රටේ ආර්ථිකය පහළ ශ්‍රේණියකට ඇද දැමීම හෙළා දුටුව ද සැබෑ තත්ත්වය රටේ අස්ථාවරභාවය බව පිළිගැනීමට සිදු වෙයි.

රුපියල සීඝ්‍ර ලෙස කඩා වැටෙද්දී පාර්ලිමේන්තුව තුළ සිදුවීම් රටේ පැවැත්ම ලජ්ජාවට පත් කරද්දී ඊළඟ දවසේ කුමක් සිදුවේදැයි නොදන්නා තත්ත්වයක් රටේ පවතිද්දී එයින් තදින්ම බැට කෑමට සිදුවන්නේ තමන්ට බව පොදු මහජනතාව හොඳින් දැන සිටිති. ඔවුන් වඩාත් වේදනාවට පත්වන්නේ තමන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ කොතරම් ගහ බැණගත්තත් ඔවුන් සියලු වරප්‍රසාද විඳින බව දැනෙද්දීය. මේ තත්ත්වය වහා වෙනස් විය යුතු බව අපි දැඩි ලෙස කියා සිටිමු. රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට සියලු උත්සාහයන් දැරිය යුතු බව පවසමු. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දීමට නියමිත තීන්දුව හොඳම මගපෙන්වීම සිදු කරනු ඇති බවත් ඒ අනුව කටයුතු කොට රටේ ජනතාව වැටී සිටින මේ ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කරනු ඇති බවත් අපි බලාපොරොත්තු වෙමු.

මේ රටේ ජනාධිපතිවරයාගේ පටන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාම පත්කරනු ලබන්නේ පොදු මහජනතාවගේ ඡන්දයෙනි. ඔවුන් සේවය කළ යුත්තේ රටේ ජනතාවට මිස තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුකූලව නොවේ. එසේම රාජ්‍ය පාලනය සෑම සියලු කටයුත්තක්ම සිදුවිය යුත්තේ රටේ නීතියට අනුකූලව පමණි. ඔක්තෝබර් 26 වැනිදාත් ඉන්පසුවත් ගන්න ලද ඇතැම් තීරණ රටේ අනාගත සුබසිද්ධියට කොතරම් දුරකට බලපෑම් සිදු කරනු ඇතැදැයි යන්න දැනට නම් ප්‍රශ්නාර්ථයකි. මේ තීරණ ගන්නා ලද්දේ රටේත් ජනතාවගේත් යහපතට නම් ඒ බව ඔප්පු කර පෙන්විය යුත්තේ කතාවෙන් නොව ක්‍රියාවෙන් බවත් අපගේ වැටහීමය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00