2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

මහබැංකු විමර්ශන වාර්තාව

දිගට ඇදෙන දේශපාලන අර්බුදයේ තවත් නැම්මක් වී තිබෙන්නේ බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිකුත් කරන බවට සිදුකෙරෙන ප්‍රකාශයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් පත්කළ ඇමැති මණ්ඩල සාමාජිකයන් හමුවේදී ප්‍රකාශ කර තිබුණේ බැඳුම්කර විමර්ශන කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බවය. ඉන්පසුව එම ඇමැති මණ්ඩලයේ සාමාජිකයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම කතාව තහවුරු කරමින් ප්‍රකාශ කළේ බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව ලබන සතියේ නිකුත් කරනු ඇති බවය.

ඒ පිළිබඳව සිය මතය පළකරන හිටපු මහ බැංකු අධිපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූල්‍ය උපදේශකයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ මේක සිදුවුණොත් දැන් මාධ්‍ය ඉදිරියේ රඟදක්වන මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට තමන්ගේ මුහුණු හංගා ගැනීමට සිදුවනු ඇති බවය. කෙසේ වුවද නිවාඩ් කබ්රාල් මහතාද ඔහු මහබැංකු අධිපති පදවිය දැරෑ කාලය තුළ සිදුවූ ග්‍රීක බැඳුම්කරය ඇතුළු මතභේදාත්මක ආයෝජන ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකි.

ආරංචි මාර්ග අනුව පැවැසෙන්නේ බැඳුම්කර වාර්තාවේ සඳහන් කරැණු අස්කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යූ.එන්.පී. නායකත්වයෙන් ඉවත්වීමට දැඩි බලපෑමක් සිදුකරනු ඇතැයි ජනාධිපති සිරිසේන මහතා තරයේම විශ්වාස කරගෙන සිටින බවය. හිටපු මුදල් ඇමැති රවි කරැණානායක ඇතුළු යූ.එන්.පී. මන්ත්‍රීවරුන් ගණනාවකගේ ක්‍රියා කලාපයද මේ වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා මේ සම්පූර්ණ වාර්තාව එළියට දැමීමට සූදානම් වන්නේ එහි සඳහන් ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමකින් තොරවය. එම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. 

මේ වාර්තාවේ සඳහන් මේ හා සමාන සිදුවීම් 2008 වසරේදී පවා සිදුව තිබේ. ශ්‍රී ලංකා මහබැංකුව එම සිද්ධීන්ට අදාළ වංචා සම්බන්ධයෙන් ප්‍රථමයෙන් වෝහාරික විගණනයක් සිදුකළ යුතු බවටද 2008න් ඉදිරියට සිදුව තිබෙන එකී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් හෙළිවන කරුණු මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටද කොමිසම නිර්දේශ කරයි.

එසේ සඳහන් වුවද ජනාධිපති සිරිසේන මහතා 2008 සහ 2015 අතර රාජපක්ෂ පාලනය යටතේ සිදුව ඇති ඒ හා සමාන ප්‍රශ්නකාරී ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත.

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ හිටපු ඇමැතිවරයකු වන යූ.එන්.පී. මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේ මේ වාර්තාව එළියට දැමීම් සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නොමැති බවය. එහෙත් මේ අවස්ථාවේදී වාර්තාව එළියට දැමීමෙන් ජනාධිපතිවරයා පහත් දේශපාලන වාසියක් ලබාගැනීමට තැත් කරන බවද ඔහු කීය.

- කලම්බෝ ටෙලිග්‍රාෆ්

මම හිරකාරයෙක් වගේ

මම හිරගෙදර ඉන්න එක්කෙනකුටත් වඩා අන්ත තත්ත්වයකැයි ඉන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රුස්වීමකදී ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවන ලද පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී තම අදහස් දක්වන්නැයි ජනාධිපතිවරයා රාජපක්ෂ මහතාට පැවසූ අවස්ථාවේදී ඔහු එසේ කියා තිබිණි. මේ රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේ සිරකරුවකු වුවද සිරගෙදර යවන්නේ චෝදනා බාරදීමෙන් පසුව උසාවියේ නඩු විභාගය පැවැත්වීමෙන් අනතුරැව බවය. මෙහිදී සිදුවී තිබුණේ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවකට ඡන්ද විමසීමක් සිදුවුවද තමාට එරෙහි වැරදි මොනවාදැයි කියා හෝ ඔහු නොදැන සිටීමය.

කථානායකවරයා විසින් අගමැති සහ ඇමැති මණ්ඩලය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මේ විශ්වාසභංගය ඉදිරිපත් කෙරිණි.

- සන්ඩේ ටයිම්ස්

චීනෙත් එක්ක ගිවිසුම් 2ක්

දේශපාලන අර්බුදයක් මැද ශ්‍රී ලංකාව ඩොලර් මිලියන ගණන් වටිනා වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති දෙකක් සඳහා චීන සමාගම් සමඟ බ්‍රහස්පතින්දා (29) ගිවිසුම් අත්සන් කළේය.

ශ්‍රී ලංකා රජයේ නීත්‍යානුකූලභාවය සහ ව්‍යාපෘති ගිවිසුම්වල නීතිමය වලංගුභාවය පිළිබඳව සැකපහළ වී තිබෙන අවස්ථාවක මේ අත්සන් තැබීම සිදුව තිබේ.

ණය බරින් මිරිකෙන ශ්‍රි ලංකාව දීර්ඝ කාලයක පටන් චීනයේ Belt and Road යටිතල යෝජනා ක්‍රමයේ ඉලක්ක ගත රටකි. එම ව්‍යාපෘතිය ඔස්සේ චීනය ආසියානු කලාපයේ සහ ඉන් එහාත් පිහිටි රටවල් සමඟ සම්බන්ධ වීම අරමුණු කරගෙන සිටී. කලාපීය බලවතා වන ඉන්දියාවද චීනයේ මෙම බලපෑම්වලට එරෙහිව ගනුදෙනු ඇරඹීමට කැසකවමින් සිටී.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ අස්කොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කිරීමත් ඉන්පසුව පාර්ලිමේන්තුව විසුරැවා හැරීමක් නිසා රට තුළ නීත්‍යානුකූලව තීන්දු ගන්නේ කවුදැයි යන්න සැකයට තුඩු දී ඇති කාරණයකි.

- රොයිටර්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00