2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

නිම නොවූ සටන!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 198

පාර්ලිමේන්තුව තුළ ඇතිවෙමින් පැවැති අර්බුදකාරී තත්ත්වය නිමාකිරීම සඳහා ඊයේ (19) දින සර්වපාක්ෂික හමුවේදී තමන් විසින් ලබාදෙන ලද මාර්ගෝපදේශනයන් නිවැරදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟත්වය පළකිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ප්‍රසාදය පළ කරයි.

මේ පසුගිය 20 වැනිදා මාධ්‍යවල පළවූ ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද නිවේදනයේ පළමු ඡේදයයි. එහි තවදුරටත් සඳහන්ව තිබුණේ පාර්ලිමේන්තුව තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර නොගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් සියලු පක්ෂ නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා ස්තූතිය පළකරන බවය.

මේ කියන විදියට අර්බුදය දැන් ඉවරද? සියලු පක්ෂ නායකයො ජනාධිපතිවරයා පිරිනමන මේ ස්තූතිය බාරගන්න සූදානම්ද? ඒ ගැන සොයන්න පසුගිය සති කිහිපය දෙසට හැරිය යුතුය.

පසුගිය සඳුදා (19) පාර්ලිමේන්තුව තුළ තිබුණේ සන්සුන් වාතාවරණයක් බව පෙනෙන්නට තිබුණි. හැබැයි එදා පාර්ලිමේන්තුව පැවැත්වුණේ විනාඩි කිහිපයක් පමණි. පහුගිය ඔක්තෝබර් 26 වැනි සිකුරාදා හටගත් දේශපාලන අර්බුදයෙන් පසුව සිකුරාදා දිනවලට ෆ්‍රයිඩේ ‍ෂොකර්ස් සිදුවනු ඇතැයි බලාගෙන සිටින ජනතාවට නම් දැනෙන තරම් සන්සුන්කමක් රට තුළ නැත. බැලූ බැල්මට කිසියම් සන්සුන්කමක් පෙනෙන්නට තිබුණද සමස්තයක් වශයෙන් ගත්තොත් එවැනි අර්බුදයක් නිමා වී සියල්ල හරිගිය බවක් නම් පෙනෙන්නට නැත. ජනතාවට දැනෙන්නේ අර්බුදය විවිධ දිශාවන්ට හැරෙමින් පෙරළෙමින් දිගටම ගමන් කරන බවකි. රටේ ආණ්ඩුව මොකක්ද, විපක්ෂය මොකක්ද කියා හරියට තේරැම් කර ගැනීමත් ඔවුන්ට අපහසු වී තිබේ.

23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව තුළින්ද පෙනුණේ සන්සුන් බවක් නොවේ. එදින වැඩ කටයුතු පුටු පෙරළා නොගෙන ආරම්භ වුවද රැස්වීම ආරම්භ වී දිනේෂ්ගේ කතාව ටිකෙන් ටික වේගවත් වනවිට එදාත් වැඩේ ඉවර වෙන්නේ ලොකු ෂෝක් එකකින් යැයි ජනතාව සිතන්න ඇත. එහෙත් ඒ තරමට නොගොස් වැළකුණේ දැන් ආණ්ඩු පක්ෂයේ ක්‍රියා කරන මහින්ද අගමැතිගේ මැති ඇමැතින් සභාගැබෙන් ඉවතට යාම හේතුවෙනි. එම පිටව යාම සැලසුම් සහගතව සිදුකළ බව පෙනෙන්නට තිබුණේය. ආණ්ඩු පක්ෂය නොසිටි එම රුස්වීමේදී තේරීම්කාරක සභා සාමාජිකයන්ගේ පත්වීම් සම්බන්ධයෙන් සිදුකළ ඡන්ද විමසීමේදී විපක්ෂයට ඡන්ද 121ක් ලැබුණි. එම ඡන්ද ගණන් ගැනීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදුකෙරැණු අතර කිහිප දෙනකුගේ ඡන්ද නමින් ගනු ලැබීය. එය විපක්ෂය විසින් උපක්‍රමශීලී ලෙස සියලු ක්‍රමවලට බහුතරය තමන් සතු බවට කියාපෑමට යොදවාගත් අවස්ථාවක් බවද පෙනෙන්නට තිබිණි. හඬ, ඉලෙක්ට්‍රොනික් සහ නමින් ඡන්ද ගැනීමේ ක්‍රම තුනටම විපක්ෂය පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරයකගේ සහාය ඇතිබව මේ වනවිට පෙන්වා දී තිබෙන බව පැහැදිලිය.

මෙහිදී රජය තම ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට නම් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී බහුතරයක් හදාගැනීම වැදගත් වේ. වෙනත් අණපනත්වලට වෙට්ටු දමා, ඩෑෂ් ගසා ගැලවිය හැකි වුවද මුදල් කටයුතු සම්බන්ධයෙන් ගෙන එන අණපනත්වලින් එසේ ගැලවී යා නොහැක. එවැනි පනතක් ගොඩදා ගැනීමට නොහැකි වුණොත් රටේ සියලු මුදල් කටයුතු එතැනින් එහාට නැවතීමට හොඳටම ඉඩ තිබේ. මේ පසුබිමේ යූ.එන්.පියත් එයට සහාය දක්වන වෙනත් පක්ෂත් මේ දිනවල කතා කරන්නේ අඩුවෙන් බවද හඳුනාගත හැකිය. මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රකාශ කරන දෙයට වඩා පාර්ලිමේන්තුව තුළ හැකි හැමවිටම බහුතරය පෙන්වීම තමන්ගේ පණිවුඩය රට තුළට හොඳින්ම ගෙන යා හැකි ක්‍රමය වශයෙන් ඔවුන් සලකන බව පෙනේ. ලබන අඟහරුවාදා (27) සහ බ්‍රහස්පතින්දා (29) දින දෙක තුළදීද ඔවුන් මේ ක්‍රමය අත්හදා බැලීමට හොඳටම ඉඩ තිබේ.

ආණ්ඩුවේ මැති ඇමැතින් පිරිස පසුගිය සිකුරාදා (23) පාර්ලිමේන්තුව තුළදී තම විරෝධය ප්‍රකාශ කිරීමෙන් පසුව සභාගැබින් පිටත්ව ගොස් කළේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමය. පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය ඡන්ද ගනිමින් තම බහුතරය පෙන්වද්දී ආණ්ඩුව කළේ එළියට පැමිණ මාධ්‍ය සාකච්ඡා හරහා තමන්ගේ මතය රටට ඉදිරිපත් කිරීමය. මෙය කොයිතරම් දුරට ප්‍රායෝගික වනු ඇතිදැයි බලාගත හැකිවනු ඇත්තේ ඉදිරි දිනවලදීය.

කෙසේ වුවද ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තම බහුතරය පෙන්වාගැනීමට නොහැකි වීම නිසා ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව පෙනේ. අමෙරිකාව මීට ඉහතදීද නිවේදන නිකුත් කර තිබූ අතර පසුගියදා අමෙරිකානු සෙනෙට් මණ්ඩලයෙන්ද ජනපතිට ලිපියක් යොමුකර තිබිණි. එහි සඳහන් වූයේ පාර්ලිමේන්තුව තුළදී සම්මත වූ විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස කරන ලද ඉල්ලීමකි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට එය රුකුලක් වනු ඇතිබවද එයින් කියා තිබිණි.

විදෙස් රටවලින් මොන තරම් බලපෑමක් ආවත් අපට මොකදැයි ඇතැම් දේශපාලනඥයන් සිතන බවක් පෙනේ. සමහරැ එසේ සිතනවා පමණක් නොව දෙන්නම් බැටේ ආකාරයට අතට හසුවන වචනවලින් එවැනි රටවලට දමාගසමින් ඊළඟ ඡන්දයට සටන් පාඨ නිර්මාණය කරගන්නා බවක්ද පෙනී යයි. එහෙත් දැන් රට තුළ උද්ගත වී ඇති තත්ත්වයට මෙය විසඳුමක් නොවේ. ඒ බව රටේ ජනතාවගේ ප්‍රතිචාරවලින්ද පෙනෙන්නට තිබේ. ඔවුන් බොහෝ දෙනකුට අවශ්‍ය වී තිබෙන්නේ මේ වෙලාවේ ජාත්‍යන්තරය සමඟ ගැටුමකට යාමට නොව රටේ පාලන බලය තිබෙන්නේ කාගේ අතේදැයි විසඳාගැනීමටය. පාර්ලිමේන්තුව තුළ වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බලය තමන් සතු යැයි ආණ්ඩුව පෙන්වන තාක් මේ ගැටලුව විසඳෙන්නේ නැත. බහුතරය ඇතිබව පෙන්විය යුත්තේ ආණ්ඩුව මිස විපක්ෂය නොවන බව තේරැම් ගැනීමට බැරිකමක් නැත. නමුත් ආණ්ඩුව තවමත් නොකරන්නේද තමන්ට බහුතරයක් ඇතිබව පෙන්වීමය.

මෙහිදී ආණ්ඩුව කථානායකවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරන තැනකට තල්ලු වී සිටී. එය පාර්ලිමේන්තුව ඇතුළේත් එළියේත් පැවැත්වෙන මාධ්‍ය හමුවලදීත් වෙනත් සාකච්ඡා, සම්මන්ත්‍රණවලදීත් සිදුවෙමින් තිබේ. කථානායකවරයා යූ.එන්.පී. ලේබලය අලවාගෙන පක්ෂග්‍රාහීව කටයුතු කරන බවටත් ආණ්ඩු පක්ෂයට කන් නොදී යූ.එන්.පී. නායකයන්ගේ අණට කීකරු වී කටයුතු කරන බවටත් ඔවුහු චෝදනා කරති. මීට පෙර සුළුතර ආණ්ඩු පවත්වාගෙන ගිය අවස්ථාවලදී හිටපු කථානායකවරැන් ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවට උදාහරණද ගෙනහැර පාති. මේ කරැණුවල හරි වැරුද්ද කෙසේ වෙතත් එයින් ගැටලුව විසඳාගැනීම තවත් ඈත යාමට නම් ඉඩ තිබේ. ඉදිරි දිනවලදී බහුතරය හදාගැනීමට නොහැකි වුවහොත් හෝ පාර්ලිමේන්තුව තුළ බලය ගෙන යාමට ක්‍රමවේදයක් හදාගැනීමට අපොහොසත් වූවොත් හෝ කථානායකවරයාට එරෙහි සටන් පාඨවලද සැර බිඳීයාමට හොඳටම ඉඩ තිබේ.

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ නව අගමැති පත්කිරීමේ තීන්දුවෙන් පසුව ඇතිවූ අර්බුදය මේ දක්වා විසඳී නොමැති බව යථාර්ථයයි. මේ බව වඩාත් හොඳින්ම තේරුම් ගත යුත්තේද මෛත්‍රීපාල සිරිසේන මහතාමය. එම අර්බුදයට මාසයක් ගෙවී යද්දීත් රට තවමත් පවතින්නේ ඔක්තෝබර් 26 වැනිදා පැවැති තත්ත්වයෙනි. රටක් එසේ පැවැතිය යුතු නැත.

ඉන්න අගමැතිවරයා ඉවත් කොට අලුත් අගමැතිවරයකු පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබෙන බව සැබෑය. මහ මැතිවරණයකින් අලුත් රජයක් පිහිටුවන අවස්ථාවකදී මෙන්ම වෙනත් අවස්ථාවකදී වුවද පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය හිමි යැයි තමන් සිතන මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල තිබේ. එහෙත් එසේ සිදුවිය යුත්තේ රටේ සියලුදෙනාටම පිළිගත හැකි ආකාරයකට මිස රෑ හොර රහසේ නොවේ. මෙහිදී වඩාත් අපහසු තත්ත්වයට පත්වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වසර 4කට පෙර ජනාධිපති පදවියට පත් කිරීමට ඡන්දය දුන් රටේ ජනතාවයි. මම මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් යැයි සිරිසේන මහතාට මීට පසුව ප්‍රකාශ කළ හැකිද? එසේ නොහැකි බව පසුගිය මාසය පුරාම ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ. ඒ කාලයේ තිබූ මහින්ද රාජපක්ෂ රජයේ පාලනයට එරෙහිව දැඩි අවදානමක් ගනිමින් වෙහෙස නොබලා ඡන්ද ව්‍යාපාරයේ නියුතු වූ අති බහුතරයක් යූ.එන්.පී. පාක්ෂිකයන් බව සිරිසේන මහතාට අමතක වී යා නොහැක. එම පාක්ෂිකයන් පවසන්නේ තමන්ගේ ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා දැන් තමන්ටම පස්ස හරවා ඇති බවය. අඩුම තරමින් අගමැති තනතුරේ වෙනස සිදුකළ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ බහුතරයද හදාගෙන තිබුණා නම් මේ බොහොමයක් ප්‍රශ්න පැන නගින්නේ නැත. එම බහුතරය හැදීමේ සැලැස්ම වැරදුණොත් වෙනත් සැලැස්මක් එනම් ප්ලෑන් බී එකක් ජනාධිපතිගේ අතේ ඔක්තෝබර් 26 වැනිදා වනවිට තිබුණේද නැද්ද යන්නට හරි පිළිතුරක් තවම නැත.

මීට කිට්ටුවෙන් යන තීරණාත්මක දේශපාලන සිදුවීමක් වූයේ ප්‍රේමදාස හිටපු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවයි. එහිදීද එම යෝජනාවේ මහ මොළකරැවන් වූ ලලිත් ඇතුලත්මුදලිට සහ ගාමිණී දිසානායකට ප්ලෑන් බී එකක් තිබුණේ නැත. ඔවුන් එම දෝෂාභියෝගයට අත්සන් තැබූ මන්ත්‍රීවරැ නොවෙනස්ව තමන් සමඟ සිටිනු ඇතැයි සිතාගෙන සිටියත් එය වැරදි ගියේය. එයට අත්සන් තැබූ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රේමදාස මහතා හමුවී තමන්ගේ දුක් ගැනවිලි පවසා වැඩේ ෂේප් කරගත්හ. අන්තිමට ලලිත්ට සහ ගාමිණීට සිදුවූයේ තවත් හයදෙනකු සමඟ තනි වී නඩුත් වැටී පක්ෂයෙනුත් විසි වී යාමටය. ඊට හේතුව වූයේ කලින් සඳහන් කළ ප්ලෑන් බී එකක් නොතිබීම නිසාය. දෝෂාභියෝගය ගැස්සුණු විට ඔවුන්ට යා හැකි වෙනත් මගක් නොතිබිණි. ඔක්තෝබර් 26 වැනිදා සිදුවුණෙත් ඒකද?

රනිල් අග්‍රාමාත්‍ය ධුරයෙන් පහකොට මහින්ද එම ධුරයෙහි පිහිටු වූ විට යූ.එන්.පී.යෙන් මන්ත්‍රීවරුන් සෙට් එකක් කඩාගෙන ඇවිත් මහින්දගේ රජයේ ඇමැති පදවි අරගෙන ආණ්ඩුවට බහුතරය ලබාදෙනු ඇතැයි යන්න සැලැස්ම වුණා නම් එය වරදින ලකුණු මුල් දින දෙක තුන තුළදීම පෙනුණේය. ඇමැති පදවි ටික වෙන්දේසි වට්ටියේ තබාගෙන හිටියත් ඉල්ලුම්කාරයන් ආවේම නැත. මේ නිසා හරියටම දවස් හතක් ගිය තැන සිකුරාදා ඊළඟ ෆ්‍රයිඩේ ෂොක් එක ක්‍රියාත්මක විය. පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ඒ අනුවය. එය අවසානයේ නැවතුණේ උසාවියේය. 

උසාවිය හමුවේ ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීමට තීන්දුව ගැනීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැලසුම් පීලි පනින ආකාරයක් දිස් විය. රටේ අර්බුදය නොවිසඳී තිබියදීත් එය විසඳීමට කටයුතු කළාට සියලු දේශපාලන නායකයන්ට තුතු පුදමින් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදන නිකුත් වූයේ එම පසුබිම යටතේය. මේ පසුබිමේ පෙනෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ ඔහුට සහාය දැක්වූ බැසිල්ගේ මහින්දගේ ළඟ ප්ලෑන් බී එකක් නොතිබුණු බවය. තමන් ළඟ තවත් තුරුම්පු තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එය සීමා වූයේ පාර්ලිමේන්තුව කල් තැබීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පමණි. නමුත් වඩාත්ම වැදගත් වූ බහුතරය හදා ගැනීම සඳහා නම් ප්ලෑන් බී එකක් නොතිබූ බව පැහැදිලිය.

රනිල් තමන්ගේ අතේ තිබූ අගමැති ධුරය අරගෙන මහින්දගේ අතේ තබන තුරැ ඒ ගැන හාංකවිසියක් හෝ නොදැන සිටියත් අරලියගහ මැඳුර අල්ලාගෙන තමන්ගේ ප්ලෑන් බී එක ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. අගමැතිකම ගිලිහුණත් බහුතරය හිමිකර ගැනීමේ සටනින් නම් ඔහු තවමත් ඉදිරියෙන් ඉන්නේ එබැවිනි. අර්බුදයේ අවසන් ප්‍රතිඵලයේදී වඩාත් තීරණාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්ලෑන් &බී*ද හිටපු අගමැති රනිල්ගේ ප්ලෑන් බීද කියා ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00