2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

කොළෙත් ඉරාගෙන හොදිත් හලාගෙන...

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 176

මේ රටේ රූපවාහිනී තිරයට මේ තරම් ඇලීගිය ප්‍රේක්ෂක පිරිසක් මීට පෙර සිටියා නම් ඒ ජයසූරියලා, අරවින්දලා ක්‍රිකට් ගහපු කාලයේ පමණි. මුළු රටම පාර්ලිමේන්තුවේ මේ දිනවල දිගහැරෙන සජීවී රැස්වීම් වාර දෙස ඇස් දල්වාගෙන බලා සිටිති. ඒවායේ පෙනෙන්නේ හූ තැබීම්, කෑකෝ ගැසීම් ඇතුළු එකම ගාල‍ෙගා්ට්ටියකි. ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රී කාලයේ සිට ඇරුඹුණු මේ දේශපාලන අර්බුදය දැන් දිනපතා පාර්ලිමේන්තුවේ (නිවාඩු දිනවල හැර) දිගහැරෙන මාලා ටෙලියක් තත්ත්වයට පත්ව තිබේ. එහි ඇතැම් දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ලේබලය යටතේ විකාශය විය යුතු ඒවා බවද පෙනී යයි.

අර්බුදයේ ගමන් මාර්ගය කෙළින්ම මහ මැතිවරණයකට යොමුවී ඊට දිනයක් පවා ප්‍රකාශයට පත්වී තිබුණත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මාර්ගයට තාවකාලික බාධකයක් දමා තිබේ. ඒ අනුව ලබන මාසයේ 4-5 සහ 6 වැනි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු විභාගය පවත්වා පාර්ලිමේන්තුව විසුරැවාහැරීම ව්‍යවස්ථාවට පටහැණිද නැද්ද යන්න තීන්දු කරන තුරැ මහ මැතිවරණය පැවැත්වීම ස්ථිර නැත.

මහ මැතිවරණයක් මේ අවස්ථාවේදී එකම විසඳුම වශයෙන් ඇතැම් දේශපාලන නායකයන් විසින් පෙන්වාදීමත් රටේ මහජනතාව අතරද එවැනි මතයක් පැවැතීමත් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගය දෙස රටේම අවධානය යොමුවනු ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම මහින්ද රාජපක්ෂ පත්කරන ලද අගමැතිවරයාත් රනිල් වික්‍රමසිංහ අස්කරන ලද අගමැතිවරයාත් අතර පවතින්නේ පරස්පර අදහසක් බව පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති වශයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ මෙසේය.

සාධාරණ සහ යුක්තිසහගත මහ මැතිවරණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැන් 225 දෙනාගේම සහාය ඉල්ලා සිටිනවා.

මහින්ද එහෙම කිව්වත් රනිල් මහ මැතිවරණය ගැන දරන්නේ වෙනත් අදහසකි. ඔහු එය ලිප්ටන් වටරවුමේදී පැවැත්වූ ජනරැලියේදී ප්‍රකාශ කළේ මෙසේය.

පාර්ලිමේන්තුවේ බහුතරය සහිත නීත්‍යානුකූල ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ මැතිවරණය පමණක් නොව ජනාධිපතිවරණයද පැවැත්වීමට සූදානම්. පළමුවෙන් පාර්ලිමේන්තුව නීත්‍යානුකූල කර දෙවැනිව මැතිවරණ ගැන කතා කරන්න.

මේ දෙදෙනාම කතා කරන්නේ මහ මැතිවරණයෙන් ප්‍රශ්නය විසඳාගැනීමට වුවත් එය සිදුකළ යුතු ආකාරය ගැන දරන්නේ ප්‍රතිවිරැද්ධ මත දෙකකි. මහින්ද තමන්ගේ රජය යටතේ ඡන්දය පැවැත්වීමට සූදානම් බව කියන විට රනිල් කියන්නේ තමන්ගේ රජයක් යටතේ ඡන්දය පැවැත්වීමට සූදානම් කියාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරැවා හැරීමෙන් පසුව ඡන්දය පවත්වන තුරු රටේ භාරකාර ආණ්ඩුව වශයෙන් ක්‍රියා කරන්නේ පවතින ඇමැති මණ්ඩලයයි. ඒ අනුව ආණ්ඩුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අතේ තබාගෙන දිව්රැම් දුන් ඇමැතිවරුන් ඇතුළුව මහින්දගේ කැබිනට් මණ්ඩලයට මහ මැතිවරණය පවත්වන තුරු බලය පාවිච්චි කළ හැකිය. වෙනත් රටවලට වඩා අපේ රටේ මැතිවරණ කෙරැවාවේදී බලය අතේ තබාගෙන ඡන්ද කිරීමේදී බොහෝ ගැටලු ඇතිවන බව ප්‍රකට රහසකි. ඒ අනුව ඡන්දයට යාමට පෙර මහින්දගේ කැබිනට් මණ්ඩලය ශක්තිමත් කිරීම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අරමුණක් විය හැකි යැයි යූ.එන්.පිය සිතන බව පෙනේ.

අනෙක් අතට යූ.එන්.පිය කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට තිබෙන නිසා එය පෙන්වීමට මහින්දගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවය. එය සම්මත වීම නිසා මහින්දගේ රජය තවදුරටත් නොපවතින බව ඔවුන් දරණ මතයයි. දිගින් දිගටම ඇදෙන්නේ මේ ගැටලුවය. මහින්දගේ පාර්ශ්වය පවසන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව විශ්වාසභංග යෝජනා නොගෙනා නිසා එහි වලංගුභාවයක් නොමැති බවයි. ඔවුන් කියන්නේ මහින්ද අගමැති බවය. යූ.එන්.පිය කියන්නේ රනිල් අගමැති බවය. පාර්ලිමේන්තුවේ ගුටිකෙළි ඇතිවීමටද නිමිත්ත මේ බල පොරයයි.

කෙසේ වුවද මේ තත්ත්වයට රට ඇදවැටීම අහම්බයකින් සිදුවූවක් නොවේ. යහපාලනය ආරම්භ වී එම ආරම්භයේ උණුසුම ගෙවීයාමටත් පෙර සිටම මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් රනිල් අගමැතිවරයාත් අතර මතගැටුම් ඇතිවිය. එය මුල් කාලයේ සිදුවූයේ එළිපිට නොවූවද පාර්ශ්ව දෙකක නායකයන් දෙදෙනකු වීම නිසා එම මතගැටුම් පිළිබඳ විස්තර එළියට ඒමට වැඩි කාලයක් ගියේ නැත. බලයට පත්වී මාස 05කට පමණ පසුව එනම් අගෝස්තු 17 මහ මැතිවරණයට කලින් දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් 19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගත් අවස්ථාව මේ මතගැටුම් එළිපිට ප්‍රදර්ශනය වූයේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීමය. එහෙත් එම ගැටුම් මැද සංශෝධනය සම්මත කර ගැනීමට හැකි විය. එම අවස්ථාවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පැවසූ වචන කිහිපයක් බොහෝ කාලයක් යනතුරැ දේශපාලන කරළියේ රැව් පිළිරුව් දුන්නේය. අපි එකතුවෙලා යන්තම් හොදි හලාගන්නෙ නැතුව ගැටේ ලිහාගත්තා එම කතාවයි. කාලයකට පසුව ජනාධිපතිවරයා එයට තවත් ඌණ පූරණයක්ද එකතු කළේය. කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මට කියන්න එන්න එපා යනු එම කොටසය. මේ කතා දෙක එම දෙදෙනා අතර අර්බුදය ක්‍රමක්‍රමයෙන් දලුලමින් වැඩීගිය ආකාරයට හොඳම උදාහරණයකි.

කොළේ ඉරාගන්න කතාව කියන විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර සම්මුතිය හොඳටම පළුදු වී තිබුණි. මහ බැංකු මගඩිය, රටේ සම්පත් විකුණන බවට නැගුණු චෝදනා සහ එෆ්.සී.අයිඩිය හරහා ශ්‍රීලනිප මැති ඇමැතීන්ට සිදුවූ කෙණෙහිලිකම් ජනාධිපතිවරයාගේ පැත්තෙන් කියැවෙන විට ආර්ථිකය හැසිරවීමේදී කකුලෙන් ඇදීම්, කිසිදු වැඩපිළිවෙළකට සහාය නොදැක්වීම, තමන් ගන්නා තීරණවලට බාධා කිරීම වැනි චෝදනා රනිල්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරැණි. මහ බැංකු මගඩිය විමර්ශනයට ජනාධිපති කොමිසමක් දැමීම තමන්ට බලවත් රිදවීමක් කළ අවස්ථාවක් වශයෙන් යූ.එන්.පිය සැලකුවේය. එසේම එම චෝදනා හේතුවෙන් රවී කරුණානායකට මුදල් ඇමැති පදවිය අහෝසි වීමත් වෙනත් හේතුවක් නිසා තිලක් මාරපනට ඔහුගේ ඇමැති පදවිය අහෝසි වීමත් යූ.එන්.පිය කැළඹීමට හේතු වී තිබිණි.

මීළඟට අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඇතිකර තිබූ ආර්ථික ප්‍රතිසංස්කරණ කමිටුව අහෝසි කොට එහි කටයුතු ජනපති තමන්ගේ යටතේ පිහිටවූ ජාතික ආර්ථික සභාවට පවරා ගැනීම තීරණාත්මක පියවරක් විය. එය අගමැති රනිල්ගේ වැඩවලට ඍජුවම අත පෙවීමක් වශයෙන් ඔවුන් නොසැලකුවා නම් පුදුමය. මේ කාලය වනවිට යූ.එන්.පී.ය පසුපෙළ මන්ත්‍රීන් විසින් වරින්වර ජනාධිපතිවරයාට එරෙහිව සිදුකෙරෙන ප්‍රකාශද කරළියට ආවේය. එවැනි කතා නොකියන ලෙස රනිල් තම මැති ඇමැතින්ට උපදෙස් දුන්නත් ඒවා පිළිපදින බවත් නොපෙනුණි. ඒ අතර වාරයේ ජනාධිපතිවරයාට සහාය දක්වමින් ආණ්ඩුවේ රැඳී සිටි ශ්‍රීලනිපය මැති ඇමැතින් පිරිසද බැඳුම්කර මගඩියේ පටන් යූ.එන්.පී.යේ ක්‍රියාපටිපාටිය දැඩි විවේචනයකට හසුකරනු දැකිය හැකි විය. සිදු නොවූයේ එළිපිට ගහගැනීමක් පමණි.

මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තුළ පවතින කැමැත්ත පිළිබඳව වරින්වර ඉඟිකරමින් සිටි බව පැහැදිලි විය. වරක් ඔහු තම ධුර කාලය වසර 05ද 06ද කියා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පවා ඉදිරිපත් විය. එහිදී තීන්දු කෙරැණේ ධුර කාලය වසර 05ක් බවය. එම වසර පහේ ධුර කාලය ලබන නොවැම්බරයෙන් අවසන් වීමට නියමිතය. කොටින්ම ඊළඟ ජනාධිපතිවරණයට ඉතිරිව ඇත්තේ තව හරියටම වසරක කාලයක් පමණි. මේ නිසා රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවා මහින්දගේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල ක්‍රියාකළේ ජනාධිපතිවරණයට වසරක් තිබියදි වීම සමරුන් තුළ බලවත් සැකයක් ඉපිදවීම ගැන පුදුම විය යුතු නැත.

හැබැයි ආණ්ඩුව වෙනස් කිරීම ගැන මතවාද ගණනාවක් තිබුණද ඒ සඳහා හිටපු අගමැති රනිල්ගේ ක්‍රියාකලාපයද ප්‍රබල බලපෑමක් කළ බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසය. ඔහු රටේ පාලනය ගෙන ගියේ තමන්ටම ආවේණික වූ ක්‍රමයකටය. එම ක්‍රමය හේතුවෙන් 2001 දී පිහිට වූ රජයද වසර 02කදී කඩාවැටුණු බව රනිල්ට අමතක වී තිබූ බවද පෙනෙන්නට තිබුණි. ඔහු මෙවරද වඩාත්ම කිට්ටු කරගත්තේ තමන්ගේ සමීප මිතුරන් සහ ඇමැතිවරැන් කිහිප දෙනෙකි. ආණ්ඩුවෙන් ගනු ලැබූ බොහෝ තීන්දු තීරණ මන්ත්‍රී කණ්ඩායමට තබා කැබිනට් සගයන්ට පවා දැනගන්නට නොලැබුණු බවට චෝදනා බොහෝය.

එසේම රටට කුමන ආකාරයක ආයෝජනයක් හෝ අලුත් ව්‍යාපාරයන් හෝ පැමිණියේ නම් එය ආර්ථික කමිටුව හරහා තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම ආණ්ඩුවේ බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබිණි. රජය එතෙර රටවල් සමඟ ගැසූ ගිවිසුම් ගැන අඩුම තරමින් කැබිනට් මණ්ඩලය හෝ දැනුවත් නොකළ බවද දැනගන්නට ලැබිණි. කොටින්ම රනිල්ගේ ආණ්ඩුවේ තීන්දු ගත්තේ ඔහුට සමීප කිහිප දෙනකු විසින් බවද මේ සමහරු 2001 දී ලබාගත් රජය වසර දෙකකදී කඩා වැට්ටවීමට පුරෝගාමී වූ චරිත බවද තවත් සමහරැ ඉතාම වයස්ගත අලුත් ක්‍රමෝපායන් පිළිබඳ කිසිම දැනීමක් නැති පුටු රත්කරන උපදේශකයන් බවද චෝදනා නැගුණේ ජනාධිපතිවරයාගෙන් පමණක් නොවේ. යූ.එන්.පී.යේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ දෝෂාරෝපණද බොහෝ එල්ල විය. එහෙත් රනිල් ඒවා ගාණකට ගත්තේ නැත.

යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ට විශේෂ වැදගත් කාරණාවලදී තමන්ගේ අගමැති හමුවීමට අවස්ථාවක් ලැබුණේම නැති බවටද තිබුණේ බරපතළ චෝදනාවකි. මේ සමහර මැති ඇමැතින් තම සමීප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට කියා තිබුණේ තමන්ට කලාතුරකින් හෝ තමන්ගේ අගමැතිවරයා තත්ත්පර කිහිපයකටවත් හමු වී කතාකිරීමට නොහැකි වූ බවය.

මේ හේතූන් නිසා සිදුවූයේ රනිල් ඔහුගේම පාලන ක්‍රමයකට අනුගත වී කටයුතු කරන විට සෙසු ලෝකය ඔහුගෙන් ඈත් වී යාමය. එසේ ඈත් වූයේ තමන්ගේම මැති ඇමැතිවරැන් පමණක් නොවේ. යූ.එන්.පී.ය බලයට පැමිණවීමට ඡන්දය ලබාදුන් අතිබහුතරයක්ද රනිල් ඇතුළු යූ.එන්.පී.යෙන් ඈත්වෙමින් තිබිණි. ඒ බව ඔහුට දැනගන්නට ඉඩක් ලැබුණාදැයි සැකසහිතය. එසේ දැනගන්නට තිබුණා නම් කවදාවත් රනිල්ට හොරෙන් මහින්දට අගමැති පදවියේ දිවුරුම් දීමට හැකිවන්නේ නැත. ජනාධිපතිවරයා ප්‍රයෝජන ගත්තේ රනිල් සහ ජනතාව අතර දුරස් වෙමින් පැවැති මේ ඉඩකඩෙනි.

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා එළියට එන්නේ මේ පසුබිම යටතේය. එහිදීද පොලිස්පතිවරයා මැදි කර ගනිමින් සිදුවුණු මත ගැටුමේදී ජනාධිපතිවරයා සතු බලතල පිළිබඳ අවබෝධයකින් තොරව අගමැතිවරයා තීරණ ගත් බව සමහරුන්ගේ මතය වී තිබේ. අවසානයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ගැටුම අගමැතිවරයා ධුරයෙන් අස් කරනු ලැබීම දක්වා ව්‍යාප්ත විය. දැන් පාර්ලිමේන්තුවේ රඟ දැක්වෙන්නේ එම ක්‍රියාවලියේ ඍජු ප්‍රතිඵලයයි.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයද විවිධ පාර්ශ්ව වලින් දැඩි ලෙස ප්‍රශ්න කෙරෙමින් තිබේ. අග්‍රාමාත්‍යවරයා අස් කිරීමත් ඒ වෙනුවට වෙනත් අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමත් සම්බන්ධව ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබේ. එහෙම වුණත් රනිල් වික්‍රමසිංහ තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව එයට එරෙහිව අධිකරණයට ගියේ නැත. ඔහු ඒ වෙනුවට අරලියගහ මැදුරේ රැඳී සිටිමින් තමන් තවමත් අගමැති බව ප්‍රකාශ කොට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ තමාට බව ප්‍රකාශ කරමින් හැකිනම් එය එසේ නොවන බව ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කළේය. එම අභියෝගය භාරගැනීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අත්හිටුවා ප්‍රබල උත්සාහයක් ගත් නමුත් එය හරිගියේ නැත. පාර්ලිමේන්තුව විසුරැවන තීරණයක් ගත්තේද ඒ නිසා වුවද දැන් එය උසාවියේ තීන්දුව ගැනෙන තුරැ අත්හිටුවනු ලැබ තිබේ. ඉන්පස්සේ සිදුවූයේ මේ ගැටලුව රටේ මහජනතාව අතරේ ප්‍රබල කතාබහකට ලක්වීමයි.

මේ සිදුවීම් පෙළගැසෙන විට ජනාධිපතිවරයා තමන් පිළිබඳව ජාත්‍යන්තරය තුළ තිබූ ඉහළ ප්‍රතිරෑපයට සෑහෙන තරමකින් හානියක් සිදුකරගෙන තිබෙන බවක් පෙනේ. ඒ බව ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන බලවත් රටවල් සහ සංවිධාන නිකුත් කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ගරැකරන ලෙසටය. එවැනි රටවල සහ සංවිධානවල මතවාදවල අව්‍යාජ බව පිළිබඳව බොහෝ සැක සංකා තිබුණත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ හුදෙකලා රටක් බවට පත්විය නොහැකි බව තේරුම් ගැනීම අවශ්‍යය. මෙහිදී රනිල්ගේ ආණ්ඩුව රටේ ප්‍රශ්න විසඳීමේදී බොහෝ දුර්වලකම් දැක්වුවත් රට තුළ ඇතිකළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත්, මානව හිමිකම් වර්ධනයත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය රුකීමත් සම්බන්ධයෙන් හොඳ වාර්තාවකි. එය මෙහිදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට කිසියම් අවහිරයක් ඇතිකර තිබෙන බව පැහැදිලිය.

අප එසේ කියන්නේ මේ අර්බුදය හේතුවෙන් රටේ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සම්බන්ධයෙන් ප්‍රබල ජනමතයක් ඇතිවෙමින් තිබෙන බව පෙනෙන හෙයිනි. රූපවාහිනයෙන් මැතිසබයේ සිදුවන දෑ දකින විට එම අදහස් තවත් මෝරා යන්නට පුළුවන. එසේම මෙතෙක් කාලයක් යූ.එන්.පී.යෙන් ඈත්වෙමින් සිටි ජනතාවගෙන් කොටසක් යළිත් ඒ පැත්තට හැරෙමින් සිටින බව පසුගියදා පැවැත්වූ ජනරැලි කිහිපයේම පෙනෙන්නට තිබිණි. එහෙම වුණත් මේ අර්බුදය විසඳෙන විට කාගෙ කාගේ කොළ ඉරී තිබේදැයි දැන්ම කියන්න නම් අපහසුය.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00