2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අරලිය මැඳුරේ සටන

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 26 වැනිදා රෑ හදිසියේම මහින්ද අගමැති කළ අවස්ථාවේ හිතට වද දුන් ප්‍රශ්න දෙකක් තිබුණි. එකක් පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනීමය. අනෙක මේ වැඩේ ආරංචි වුණාම රනිල් මොකක් කරයිද යන්නය.

බහුතරය හදාගැනීම තවමත් විසඳාගැනීමට නොහැකි වී ඇතිබව පාර්ලිමේන්තුව කලින් කැඳවීමට පියවර නොගැනීමෙන් පෙනීයයි. එය එසේ නොවන බව ආණ්ඩුවේ පැත්තෙන් කොයිතරම් කිව්වත් මහජනතාව හිතන්නේ තවම බහුතරය හදාගැනීමට නොහැකි වී ඇතිබවය. මේ නිසා දවසින් දවස රට ලොකු අර්බුදයකට තල්ලුවෙමින් සිටී. කොටින්ම හකීම්ගේත් රිෂාඩ්ගේත් පක්ෂ දෙක අවසානයේ ගනු ලබන තීන්දුව ආණ්ඩුවේ බහුතරය හදාගැනීමේ මහපොදු සාධකය බවට දැන් පත්වී තිබේ. ඒ හැර දෙපැත්තටම ළංවී හොරගල් අහුලන මන්ත්‍රීවරුන්ද සිටින බවත් අවශ්‍ය වෙලාවට වැට පැනීමට ඔවුන් සූදානමින් සිටින බවත් කියයි. එහෙත් එයද රඳා පවතින්නේ හකීම්ලාගේ තීන්දුව මත බව පැහැදිලිය.

කෙසේ වුවත් මෛත්‍රීපාල නොසිතූ දෙයක් නම් දැන් සිදුවෙමින් පවතී. එනම් රනිල් මේ අර්බුදයට මුහුණදීමට ගනු ලැබූ පියවරය. රනිල්ගේ ඉතිහාසයේවත් මේ ආකාරයේ එළියට බැහැලා, ගෙදර නොගොසින් කරන දේශපාලන සටනක් ගැන සඳහනක් නැත. කොටින්ම මහින්ද ඒ කාලයේ 18 වැනි සංශෝධනය සම්මත කරගෙන රටේ පාලනය තමන්ගේ කඳවුරේ භුක්තියට සවිකරගැනීමට කටයුතු කළ අවස්ථාවේදීත් රනිල්ගේ සටන පාර්ලිමේන්තු බිමේ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් පැවැත්වූ විරෝධයකට පමණක් සීමාවිය. ඔහුගේ මේ ක්‍රියාව පාක්ෂිකයන්ගේ පවා දැඩි විවේචනයට හේතුවිය. අඩුම ගාණේ රනිල් ඒ වෙලාවේ එම විවේචනවලට උත්තර දෙන්නවත් ගියේ නැත. 

මේ වැනි තවත් බොහෝ කරුණු හේතුවෙන් රනිල් අගමැති නිල නිවෙස බලකොටුවක් කරගෙන පෙරළා පහරදෙනු ඇතැයි මෛත්‍රීපාලට නොසිතීම ගැන පුදුම විය යුතු නැත. එවැනි කුමක් හෝ සැකයක් තිබුණා නම් මහින්ද අගමැති වශයෙන් දිව්රැම් දීමට පෙර අරලියගහ මැඳුර ආණ්ඩුව යටතට පත්කර ගැනීමට ඕනෑ තරම් අවස්ථා තිබුණි. එහෙත් සිද්ධියේ රහසිගත බව ආරක්ෂා කර ගැනීමද අවශ්‍ය වීමත් නිසා ඒ අදහස අත්හරින්නට ඇත. රනිල් රිංගුවේ ඒ පුංචි විවරයෙනි.

අගමැති ධුරයෙන් පහකිරීමෙන් පසු රනිල් ගෙදර ගොස් මාධ්‍ය සාකච්ඡා තිබ්බා නම් ඒවාට කිසිම ජාතික වැදගත්කමක් නොතිබීමට ඉඩකඩ තිබිණි. මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණේ, තානාපතිවරැන් පැමිණ රනිල් හමුවුණේ රටේ අගමැතිගේ නිල නිවෙස වන අරලියගහ මැඳුරේදීය. මේ නිසා රනිල් කියන දේ ගැන මේ රටේ පමණක් නොව ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන විදෙස් රටවලද අවධානය වඩාත් යොමුවිය. කොටින්ම රනිල් තමන් මුහුණදුන් අත්දැකීම ජාත්‍යන්තරකරණයට ලක් කළේය. ඒ සඳහා උපයෝගී කරගත්තේ අරලිගහ මන්දිරයයි.

ජනාධිපතිවරයාගේ බහුතරය ගණන් බැලීම හරියටම හරිගියා නම් ඔහු ශ්‍රීලනිප විධායක සභාවේදී සමස්ත ලංකා කාරක සභාවේදී කළ ප්‍රකාශය නොකරනු ඇතිබව පැහැදිලිය. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වූවොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු තිබෙන බවත්ය. තමන් ගත් තීන්දු තීරණ අතරමග නතර නොකරන බවත් ආපසු හරවන්නේ නැති බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වී තිබුණි. ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට එජාපයේ සහාය ඉල්ලා තිබූ ජනාධිපතිවරයා එසේ සහාය දුන්නොත් විශ්‍රාම වැටුපත් බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලයම ගතකිරීමට හැකිවන බවත් එසේ නොකළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළ හැකි තුරුම්පු තමා ළඟ තිබෙන බවද ප්‍රකාශ කර තිබුණි.

මේ කියන එක තුරැම්පුවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද?

එහෙම වෙන්නත් බැරි නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් නැතිබව නීති විශාරදයන් පිරිසකගේ මතය වී තිබේ. විසුරුවා හැරීම කළ හැක්කේ වසර හතර හමාරක් ගතවීමෙන් පසුව බවත් ඒ සඳහා තවත් කාලය තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති. එසේ වුවත් මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දෙන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඇතුළු තවත් නීති විශාරදයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවක විසඳුමක් සෙවීම කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙන බවය. ඒ සඳහා ව්‍යවස්ථාවේ 33-(2)(ඇ) වගන්තිය ඔවුහු උපුටා දක්වති. එය මෙසේය.

(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසාන කිරීමට සහ විසුරැවා හැරීමට බලය ඇත්තේය,

මේ ආකාරයට සහ ව්‍යවස්ථාවේ වෙනත් සලසා ඇති ප්‍රතිපාදන ඇසුරින්ද පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතැයි එම මතය සමඟ එකඟවන නීති විශාරදයන්ගේ මතයයි. එයට ප්‍රතිවිරුද්ධ මත ගෙනහැර දක්වන පිරිසක් පවසන්නේ එසේ කළ නොහැකි බවය. මේ සම්බන්ධයෙන් පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වූ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර ප්‍රකාශ කර තිබුණේ අර්ථ නිරූපණ පනත අනුව කිසියම් නිලධාරියකු පත් කරන බලධාරියාට එකී නිලධාරියා ඉවත් කිරීමට බලය තිබෙන බැවින් ඒ ආස්ථානයේ සිට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවය. අර්ථ නිරූපණ පනතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට කිසිදු ඉඩක් නැති බවද ඇයගේ ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වුවද ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත බලයක් තිබෙන බවය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්තිය විශේෂ වූවක් බවත් එසේම 62(2) අනු ව්‍යවස්ථාවත් 70(3)(ii) අනු ව්‍යවස්ථාවත් සැලකිල්ලට ගත හැකි බවද ඔවුන් පෙන්වා දී තිබිණි. ඒ කෙසේ වුවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුව විසුරැවා හරිනවා නම් 19 වැනි සංශෝධනය ඒ සඳහා පළමු වතාවට අනුගමනය කරන නිසා ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකථනයක් ඉල්ලා සිටීම ඥානාන්විත බවය. නීති විශාරදයන්ගේ පෙළගැස්ම එසේය. ඒ විදියටම වැඩ සිදුවේදැයි දැන්ම කිව නොහැකිය.

නීති තර්ක කොහොම වුණත් මෙතැනින් එහාට යා යුතු මාර්ගය තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයා බව පැහැදිලිය. ඔහු විසින් අගමැති ධුරයේ පිහිටවනු ලැබූ මහින්ද දැන් හොඳට හරිබරි ගැසී ආණ්ඩුවේ කටයුතු මෙහෙයවමින් සිටී. අමාත්‍ය මණ්ඩලයේද මේ වනවිට පුරප්පාඩු පුරවමින් සිටින අතර මුලදී ඇමැතිකම් එපා යැයි කියූ මහින්ද සුළඟේ පුරෝගාමීන්ද මේ වනවිට ඇමැති පුටුවල බලය පතුරුවමින් සිටින බව පෙනේ. වසර තුනහමාරකට පසුව හදිසියේම මහ ඡන්දයකින් තොරවම ඇමැති පදවිවල බල පරාක්‍රමය ලබා සිටින මේ අයද පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාමට කොතරම් දුරකට සූදානම්දැයි යන්නත් ප්‍රශ්නයකි. තවත් අතකින් මෙවර පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන්ට වසර පහ සම්පූර්ණ නොවීම හේතුවෙන් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් එය ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවීමකි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අතේ තිබෙන එක් තුරුම්පුවක් වන්නේ මේ කරුණ බව පැහැදිලිය. යූ.එන්.පී.යේ තරුණ මන්ත්‍රී පිරිසක් තමන් හමුවීමට වෙලාවක් ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කළේ මේ තුරැම්පුව හේතුවෙන් විය යුතුය. එහෙත් අගමැති මහින්ද රාජපක්ෂට බහුතරය පෙන්වා ගැනීමට නොහැකි වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවුණොත් එය එක්තරා විදියක දේශපාලන අවාසියක් විය හැකි බව සමහරුන්ගේ විශ්වාසයයි.

යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට ජනාධිපතිවරයා උපක්‍රමශීලී කතාවක් කළත් පසුගිය බදාදා පැවැති පක්ෂනායක හමුවේදී පෙනී ගියේ එවැනි එකඟත්වයකට පැමිණීමට තිබෙන ඉඩකඩ ඉතා අඩු බවය. කතානායකවරයා විසින් නිකුත් කරන ලද බහුතරය පෙන්වන තුරු අගමැති රනිල් යන මතය රුගත් නිවේදනය හේතුවෙන් ඒකාබද්ධය නියෝජනය කළ පක්ෂ නායකයන්ගේ ලේ රත් වී තිබුණු බවක්ද පෙනිණි. එම රුස්වීම ගාලගෝට්ටි මැද තීරණයක් නොමැතිව අවසන් වී තිබුණේ ජනාධිතිවරයාගේ වගකීම තවත් බැරූරැම් කරමිනි. මහින්දට සහාය නොදක්වන සියලු පක්ෂ නායකයන් ප්‍රශ්නකර තිබුණේ බහුතරය හරි නම් පාර්ලිමේන්තුව කැඳවා ඒ බව ඔප්පු කර නොපෙන්වන්නේ මන්දැයි කියාය. එයට හරි පිළිතුරක් ලැබී තිබුණේ නැත.

මේ සියලු කරුණු හේතුවෙන් හෙට (12) උදාවන සතිය දැඩි ලෙස උණුසුම් වනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය. පත්කළ අගමැති මහින්දට සහ අස්කළ අගමැති රනිල්ට සහාය පළකිරීම සඳහා කොළඹට සෙනඟ කැඳවීම හේතුවෙන්ද මේ අර්බුදය තවදුරටත් මෝරන බව පෙනී යයි. දැනට රටපුරා පවතින දේශපාලන අවිනිශ්චිතභාවය සෙනඟ එක්රුස් කිරීමෙන් වර්ධනය වනවා මිස අඩුවීමක් වෙන්නේ නැත. මෙවැනි තත්ත්වයක් දිගටම පැවැතීම රටේ ජනතාවට මහත් අපහසුවක් ඇතිකරන බව නොරහසකි. නොවැම්බර් 14 වැනිදාට පෙර බහුතරය පෙන්වා ගැනීමට අසමත් වුවහොත් එදාට පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැද කුමකින් කුමක් සිදුවේද යන්න සිතාගැනීම පවා අපහසුය. දැන් බහුතරය පෙන්වීම අවශ්‍ය නැති බවට මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙන අතර එවැනි ප්‍රකාශ කරන හැමවිටම රටට දැනෙන්නේ අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැති බවය.

දැනට පවතින ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයකු පාර්ලිමේන්තුව තුළ තම බහුතරය පෙන්විය යුතු බවට නියමයක් නැත. එහෙත් අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කිරීමෙන් ඔහුට බහුතරයක් නැති බව ඔප්පු කිරීමට හැකියාව තිබේ. එවැනි අවස්ථාවකදී ඇමැති මණ්ඩලය විසුරුවා හැරෙන අතර නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. කෙසේ වුවද 14 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළ විට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට යූ.එන්.පී. ප්‍රමුඛ එ.ජා. පෙරමුණට හැකියාවක් නැත. ඔවුන්  අගමැති වශයෙන් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ වීම ඊට හේතුවය. කථානායකවරයාගේ නිවේදනයෙන් ඒ බව තහවුරැ කර තිබේ. එසේම මහින්දගේ පාර්ශ්වයටද බහුතරය පෙන්වීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. ඒ මහින්ද අගමැති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ සිටීම හේතුවෙනි. 

එහෙම නම් වෙන්න පුළුවන් මොකක්ද?

තමන්ට බහුතරය ඇතැයි කියා හෝ එසේත් නැත්නම් පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථානුකූල බලය පවතින්නේ තමන්ට යැයි ඔප්පු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමය. ඒ සඳහා දෙපාර්ශ්වයම කටයුතු සූදානම් කරන බව පෙනෙන්නට තිබේ. මුලින්ම පාර්ලිමේන්තුව තුළ අගමැති අසුන පැනවීමේ ප්‍රශ්න විසඳී තිබිය යුතුය. එසේ නොවුණොත් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් වීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. ඒ බව පක්ෂනායකයන්ගේ රුස්වීමේදී පවා පැහැදිලි විය. සභා ගැබ තුළ ගාලගෝට්ටියක් පවතිද්දී රාජාසන කතාව පැවැත්විමට ජනාධිතිවරයාට තිබෙන හැකියාව ප්‍රශ්නයකි.

මෙවැනි දෙයක් දියවන්නාවේ පාර්ලිමේන්තු සබා ගැබේ මින් පෙර සිදුවූ එක් අවස්ථාවක් තිබේ. ඒ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදීය. එහිදීද ජනාධිපතිවරයා වහාම කළේ පාර්ලිමේන්තු සැසිවාරය කල් තබා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද තමන්ගේ ගේ පිටුපසින් රඳවා තබාගෙන රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමැතීමය. ඉන්පසු දෝෂාභියෝගයට අත්සන් කළ මැති ඇමැතිවරැන් හමුවී තමන්ට සහාය පළකරන බවට ඔවුන්ගේ සහතික ලබාගෙන ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිට එය මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමය. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන අවස්ථාව වනවිට ප්‍රේමදාස තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ බලය තහවුරු කරගෙන සිටියේය. ඔහුට එකතු නොවූයේ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක ඇතුළු අට දෙනෙකු පමණි.

මේ හේතුවෙන් ප්‍රේමදාසට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් සිදුකළ කථාවේදී තමන්ට එරෙහිව විපක්ෂයෙන් නැගුණු විවිධ අන්දමේ අපහාස - උපහාස සහ බාධා කිරීම්වලට හොඳට මුහුණදීමට හැකි විය. ඔහු වෙනදා මෙන් ආවේගශීලී නොවූ අතර සුහද සිනහවකින් ඒ අවස්ථාවට මුහුණ දුන්නේය. එසේ කළ හැකිවූයේ ඒ වනවිට ප්‍රේමදාස තම බලය පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගෙන සිටි බැවිනි.

එදා එහෙම වුවත් ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ නම් එහෙම වනු ඇතැයි සිතාගැනීමට බැරිය. ඒ වනවිට අගමැති මහින්දගේ පාර්ශ්වය 113 පෙන්වා ගැනීමට සමත්ව සිටියොත් වැඩේ ගොඩින්ම බේරාගත හැකිවනු ඇත. එසේ නොවුණොත් එයින් හැඟෙන්නේ පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇත්තේ රනිල්ට බවය. එවැනි අවස්ථාවක් උදාවන්නේ නම් පාර්ලිමේන්තුව එදාට රැස් කරනවාට වඩා රැස් නොකර සිටීම වඩාත් හොඳ යැයි ජනාධිපතිට සිතුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

- ශශීන්ද්‍ර