2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අවුලේ වාසිය

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 204

පසුගිය ඉරිදාට වඩා මේ ඉරිදා වෙනස්ය. අගමැති මාරුවක් සිදුව තිබේ. එය ව්‍යවස්ථාවට එකඟව, අනුකූලව සිදුවූ බව අලුතින් පත්කෙරුණු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස කියයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන පිරිසට අනුව එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයකි. මහින්ද රාජපක්ෂ නව අගමැති වශයෙන් පත්කරනු ලැබූ විට රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමා රටේ ව්‍යවස්ථානුකූල අගමැති බවය. හැබැයි සතියක් ගතවෙන විට මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ හොඳට අතපය දිගහැර වාඩි වී සිටියේය. තෙල්, පොහොර, දුරකතන සංවාද ගාස්තු අඩුකර ජනතාවගේ අවධානය තමා කෙරෙහි රඳවාගැනීමට සමත්ව සිටියේය. ඒ අතරේ අලුත් ඇමැති මණ්ඩලයේ පිරිසක්ද දිව්රුම් දුන්හ.

රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (01) තමන් නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට කිව්වේ මැතිසබය තුළ තමන්ට තිබෙන බහුතර බලය පිළිබඳ සැකයක් තබා නොගන්නා ලෙසටය. එම රුස්වීමට එජා පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් සහභාගි වී සිටි බවද සඳහන්ය. මේ අතර එදිනම සවස් වරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද සිදුවිය. දෙදෙනා අතර සිදුවූ සාකච්ඡාවේ විස්තර එතරම් හෙළි නොවූවද අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යාමෙන් පසුව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මහින්ද රාජපක්ෂට සමීප ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වූ අතර රට මුහුණදී සිටින අවුලෙන් ගොඩගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද පිළිබඳවද කතාබහක් සිදුවී යැයි රනිල් වික්‍රමසිංහට සමීප ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.

කොහොම වුණත් මහින්ද අගමැති ධුරයේ දිව්රුම් දීමෙන් පසුව පාර්ශ්ව දෙකේ ප්‍රධානම තනතුරැධාරීන් දෙදෙනකුගේ හමුවක් සිදුවුණේ පළමු වතාවටය. එතෙක් සිදුවෙමින් තිබුණේ දෙපැත්තේම පිරිස් තමන්ට බහුතරය තිබෙන බව පුන පුනා කියමින් සිටීමය. දෙපැත්තටම බලපාන වැදගත් කරුණු නොවේ නම් මෙවැනි හමුවීමක් සිදුවීමට ඉඩක් නැති බව පැහැදිලිය. මේ කරැණු අතර ඉක්මන් මැතිවරණයකට යා හැකි මාර්ගයක් සොයාගැනීමට එකඟත්වයක් ඇතිකරගැනීම නොතිබුණා නම් පුදුමය. දේශපාලනයේ සකලවිධ දහංගැට හොඳට අඳුරන නායකයන් දෙදෙනකු වන මහින්ද සහ රනිල් දෙදෙනාම හෙට දවසේ උදාවිය හැකි තත්ත්වය ගැන මේ වනවිට පැහැදිලි තක්සේරැවක සිටිනවා විය යුතුය. වරින්වර පවතින තත්ත්වය එහා මෙහා වීමට ඉඩක් තිබුණද පාර්ලිමේන්තුව තුළ මෙතෙක් බහුතරය තිබූ එ.ජා.පෙ. මුළුමනින්ම මගහැර යාමට ඇත්තේ සුළු ඉඩකඩක් බව පෙනෙන්නට තිබේ. එහෙම වුණත් එ.ජා.පෙ. තවත් පිරිසක් මහින්දට සහාය පළකිරීමට තීරණය කළොත් රනිල්ට ගේමක් නැතිවනු ඇත. දැනට පවතින තත්ත්වයේ ජයග්‍රාහකයා වී සිටින්නේ මහින්දය. ඊට පාර කපා දුන්නේ මෛත්‍රීපාලය.

රනිල්ගේ අගමැති පාලනය නොසිතූ මොහොතක වෙනස්ව ගිය පළමු අවස්ථාව මෙය නොවේ. 2001 වසරේ දෙසැම්බර් 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයගත් රනිල් නායකත්වය දුන් එ.ජා. පෙරමුණද ආණ්ඩුව පිහිටුවුවද ජනාධිපති ධුරය හිමිව තිබුණේ චන්ද්‍රිකාටය. ඒ අවස්ථාවේදීද රනිල්ට පැහැදිලි බහුතරයක් තිබුණේ නැත. ලැබී තිබුණු ආසන 109ට මුස්ලිම් කොංග්‍රසයද එකතු කරගෙන රනිල් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. එහෙත් ඒ ආණ්ඩුවටද ආයුෂ තිබුණේ යන්තම් වසර දෙකකට ආසන්න කාලයක් පමණි. 2003 නොවැම්බරයේදී එනම් මීට වසර 15කට උඩදී රනිල් අමෙරිකාවට ගොස් සිටියදී චන්ද්‍රිකා අමාත්‍යාංශ දෙකක් පවරා ගත්තාය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශයද ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍යාංශයද පවරාගෙන තිබිණි. රනිල් ආපසු ආවේ ආණ්ඩුව ගැන දෙගිඩියාවෙනි. කටුනායක සිට කොළඹට ජනගඟක් මැදින් පැමිණි රනිල්ට අගමැති ධුරයේ රැඳී සිටීමට ලැබුණේ මාස කිහිපයක් පමණි. චන්ද්‍රිකා, ජවිපෙද එකතු කරගෙන මහ මැතිවරණයකට ගොස් ආණ්ඩුවක් හදාගත්තාය. අවුරැදු 05ක ජනවරමක් තිබූ රනිල්ගේ අගමැති ධුර අවුරැදු දෙකකදී ඉවර වූයේ එහෙමය.

එදත් අදත් අවස්ථා දෙකේ ලොකුම වෙනසක් වෙයි. එදා රනිල්ගේ ආණ්ඩුව වැට්ටූ චන්ද්‍රිකා මෙදා ඉන්නේ රනිල් එක්කය. එහෙත් චන්ද්‍රිකාට අඩුම තරමින් මන්ත්‍රී පදවියක් හෝ නැත. එදා චන්ද්‍රිකාට රනිල්ගේ ආණ්ඩුව වැට්ටවීමට සහාය දුන් ලොකුම මොළකාරයා වූ මංගලද අද ඉන්නේ රනිල් එක්කය. මෛත්‍රීපාල අස්කළ ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා වී සිටියේ මංගලය.

මෙදා චන්ද්‍රිකාත් මංගලත් දෙදෙනාම රනිල්ගේ පැත්තේ හිටියත් රනිල්ට අගමැතිකම නැති වුණේය. මේ අවස්ථා දෙකේ තවත් එක් වෙනසක් ඇත. එය විධායක ජනාධිපති ධුරයේ බලතල සම්බන්ධයෙනි. චන්ද්‍රිකාගේ අතේ තිබූ විධායක බලයට වඩා මෛත්‍රීපාලගේ අතේ තිබෙන විධායක බලතල අඩුය. ආණ්ඩුවක් බලයට පත්වී වසරක් ගෙවුණු තැන එම ආණ්ඩුව විසුරැවා හැරීමට චන්ද්‍රිකාට බලය තිබිණි. එහෙම වුණත් මෛත්‍රීපාල ජනාධිපති පදවියට පත්වී රනිල් අගමැති ධුරයට පත්කොට සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම බලය ඉවත් කර තිබේ. එම සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව දැක්වෙන 46 වගන්තියේ සඳහන් වෙන්නේ මෙසේය.

46. (1) (අ) අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරැන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුය.

(ආ) අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්මවිය යුතුය.

(2) අග්‍රාමාත්‍යවරයා

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

මෙහි 46. (1) (අ) අනු ව්‍යවස්ථාවේ සඳහන් මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු බව එහි (4) (1) අනු ව්‍යවස්ථාවේ සඳහන් වේ. ජාතික ආණ්ඩුව කුමක්දැයි එහි (5) අනු ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙසේය.

(5) 4 වැනි අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.

දැනට පැන නැගී තිබෙන දේශපාලන අර්බුදයට වඩාත්ම බලපාන ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථාවල සඳහන් කාරණා ලියැවී තිබෙන්නේ ඒ ආකාරයෙනි. පවතින පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට 70 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන අතර පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම නොකළ යුත්තේය. වශයෙන් එහි සඳහන් වෙයි. 

මීළඟට වැදගත් වන අමාත්‍ය මණ්ඩලය විසිරවීම සම්බන්ධයෙන් 48 (1) වගන්තියෙන් ප්‍රකාශ වන්නේ ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට, 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය යනුවෙන් සඳහන් වේ. මේ අනුව අග්‍රාමාත්‍යවරයා අස්කිරීමෙන් හෝ අස්වීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලය විසිරෙන බව පැහැදිලිය. අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ අස්කළ බව ජනාධිපතිවරයා විසින් 26 වැනිදා සවස යැවූ ලියුමේ තිබුණේ 42-4 අනුව්‍යවස්ථාවට අනුව එය සිදුකළ බවය.

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ අමාත්‍ය මණ්ඩලයද නොපවතින බවත්. ඒ අනුව අග්‍රාමාත්‍යධුරය හිස්වන බවටත් ජනාධිපතිවරයාගේ මතයට සහාය දක්වන නීතිවේදියෝ පවසති. මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට සහාය දක්වන නීතිවේදීන් පවසන්නේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිප පාර්ශවය ඉවත් වූ විට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පිළිගත් දේශපාලන පක්ෂයට බලය මාරුවනවා මිස අග්‍රාමාත්‍යධුරය හිස් නොවන බවය. “42 . (4) අනුවගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය. යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියාකර ඇත්තේ ඒ අනුවය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාසිටින මන්ත්‍රීවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

ජනාධිපතිවරයා අදාළ තීන්දුව ගැනීම පිළිබඳව ජාතිය අමතා කළ ප්‍රකාශයේදී තමා සහ ගෝඨාභය ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබීම ප්‍රබල ලෙස හුවාදක්වා තිබිණි. ඒ සමඟ යූ.එන්.පී. මූලිකත්වයෙන් මහා පරිමාණ වංචා දූෂණ සිදුවූ බවට ද චෝදනා කළ අතර බැඳුම්කර මගඩිය එහි කේන්ද්‍රය ලෙස සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ එම කතාවට රනිල් වික්‍රමසිංහ පිළිතුරු දෙමින් කුමන්ත්‍රණ කතාව ඇතුළු සෙසු චෝදනා ප්‍රතික්ෂේප කළේය. එහෙත් බැඳුම්කර මගඩිය ගැන ඔහු තම කතාවේ සඳහන් කළේ නැත. එසේ වනවිට ජනාධිපතිවරයා තමා ආණ්ඩුව වෙනස් කිරීමේදී ව්‍යවස්ථාවනුකූලව ක්‍රියාකළ බව අවශ්‍ය හැම අවස්ථාවේම කියා තිබිණි.

එහෙත් අගමැතිධුරයෙන් අස්කිරීමෙන් පසුවද රනිල් වික්‍රමසිංහ අරලියගහ මැඳුරේ මෙසේ රැඳී සිටිමින් සටනක් අරඹනු ඇතැයි මෛත්‍රීපාල හෝ මහින්ද හෝ සිතන්නට නැති බව නම් පෙනෙන්නට තිබේ. බොහෝවිට ඔවුන්ගේ අදහස වන්න ඇත්තේ සුපුරැදු පරිදි රනිල් විදෙස් බලවේග දෙසට හැරෙනු ඇත කියාය. ශ්‍රී ලංකාවට බලපෑමක් කළහැකි ප්‍රබල රටවල තානාපතින් මුලින්ම හමුවීම රනිල්ගේ පුරුද්ද විය. 2003 දී ඔහු මුලින්ම කළේ එයයි. නමුත් මෙවර ඒ වෙනුවට අරලියගහ මැඳුරේ තම මන්ත්‍රී කණ්ඩායම සහ පාක්ෂික හිතවතුන් පිරිවරා ගෙන “මහ පාරේ” සටනක් දීමට රනිල් තීරණය කර තිබුණි. ඔහු තානාපතිවරුන් හමුවුණේ ඊට දින කිහිපයකට පසුවය. ඒ වනවිට අගමැති මහින්දගේ කැබිනට් මණ්ඩලයේ පිරිසක් දිවරුම් දී අවසන් වී තිබුණේය.
ජනපති මැඳුරත් අරලියගහ මැඳුරත් අතැර ව්‍යවස්ථා සටන යද්දී ජයග්‍රාහකයා වී සිටින්නේ මහින්ද රාජපක්ෂය. බලය නැතුව සිටියදී වුවද දකුණේ සිංහල බෞද්ධ බහුතරයකගේ සහ මහ සඟරැවනේ ආශිර්වාදයත් සහයෝගයත් ලැබූ මහින්ද අගමැති ධුරයේ පිහිටුවනු ලැබීම එම සියලුදෙනාගේ සතුටට හේතුවී තිබේ. මහමැතිවරණ දිනුමක් නුවූවත් මහපාරේ දැල්වුණු රතිඤ්ඤා සහ කිරිබත් දන්සල් පෙන්වා දුන්නේ ජනතාව අතර මහින්දගේ ජනප්‍රියත්වය දිගටම නොබිඳී පැවැති බවය. අනෙක් අතට රනිල්ට අගමැතිධුරය අහිමි වූ විට 2003 දී සිදුවුණාසේ මෙන් මෙවර ලක්ෂ ගණන් ජනතාව කොළඹට ආවේ නැත. එයට ලොකුම හේතුව යූ.එන්.පී.ය. ප්‍රමුඛ ආණ්ඩුවෙන් අඩුම තරමින් රටට තබා තමන්ට හෝ කිසිම උදව්වක් නොලැබුණු බවට පාක්ෂික බහුතරයක තිබෙන කලකිරීමය. ඇතැම් යූ.එන්.පී. මන්ත්‍රීවරැන්ට ද රනිල් සමඟ බරපතළ මත ගැටුම් පැවැති බව පසුගිය කාලය පුරාම සැඟවිය. 

මහින්දගේ ජනප්‍රියභාවය පිළිබඳව ද මෛත්‍රීපාලට කිසිම සැකයක් නැත. අවශ්‍යව තිබුණේ ඔහු මේ වෙනසට කැමැති කරවා ගැනීම පමණි. එය ඉටු කෙරෙන තත්ත්වයට ඒකාබද්ධය හැඩගැසෙන විට යූ.එන්.පී.ය. ජනප්‍රියත්වයෙන් පිරිහී යමින් තිබිණි.
හැබැයි මහජනතාව ඊට එරෙහිව නැගිට්ටා නම් මේ සැලැස්ම අවසන් වන්නේ මේ ආකාරයට නොවේ. එසේ නොවුණේ යූ.එන්.පීයේම වරදිනි. මහින්ද අවදානම ගත්තේ ඒ ගැන සැලකිලිමත් වීමෙන් පසුව බවද පැහැදිලිය. මීළඟට සිදුවිය හැකි දේ දැන් රටේ වැඩිදෙනකුට ගැටලුවක් වී තිබේ. ඊට හේතුව මහාමැතිවරණයකින් මෙහා මේ බරපතළ අවුලට විසඳුමක් ඇතැයි නොපෙනීමය. ඒ සඳහා මන්ත්‍රීවරුන් 2/3 කගේ අත්සන් ලබාගැනීම පහසු කටයුත්තක් නොවනු ඇත. මහජනතාව සමඟ පහසුවෙන් දේශපාලනය කරන මහින්දත් ව්‍යවස්ථාවටම ඇලීගැලී මහජනතාවගෙන් ඈත්වී දේශපාලනය කරන රනිලුත් අතර ඇති වී තිබෙන අර්බුදය මෙතෙක් ලංකාවේ දේශපාලනය මුහුණ දුන් ලොකුම අර්බුදය බවට දැන් පත්වෙමින් තිබෙන බව පැහැදිලිය.

 ශශීන්ද්‍ර

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30