2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අහස උසට ඇති අපේක්ෂා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

මේ රටේ දේශපාලන ඉතිහාසය පසුගිය 26 වැනි සිකුරාදා අලුතින් ලියැවුණේය. කිසිදු මැතිවරණයකින් හෝ පාර්ලිමේන්තුව තුළ අයවැය පරාජය කිරීමකින් තොරව හෝ ආණ්ඩුව මාරුවිය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කෙරුණු අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරනු ලැබීය. මේ වනවිට නව ඇමැතිවරුන් පිරිසක්ද දිව්රැම් දී තිබේ. තවත් ඇමැතිධුර කිහිපයක් ද පිරිනැමීමට නියමිත බවද සඳහන්ය. මෙතෙක් පැවැති එජාප ප්‍රමුඛ ආණ්ඩුව වෙනුවට ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවකට රටේ පාලනය භාර වී තිබේ.

දැනට පවතින තත්ත්වයේ තාක්ෂණික ගැටලු තිබෙන බවට විවාදයක් නැත. ඒ සම්බන්ධයෙන් පවතින ප්‍රධානම ගැටලුව එනම් පාර්ලිමේන්තුව තුළ බලය තිබෙන්නේ කා අතදැයි යන්න විසඳාගැනීමට පාර්ලිමේන්තුව රුස්කර යුතුව තිබීමය. එය ලබන 07 වැනිදා සිදුවන බව ප්‍රකාශ වී තිබේ. පාර්ලිමේන්තුව කැඳවන තුරු රටේ දේශපාලන අවිනිශ්චිත බව පවතිනු ඇත.

අපේ රට පසුගිය කාලය මුළුල්ලේ බරපතළ ගැටලුවලට මුහුණු දුන් බව නොරහසකි. එයට ලෝකයේ පවතින දුෂ්කරතා ද යම් පමණකට වගකිව යුතු වුවද පැවැති යහපාලන රජයේ අසමත්භාවයද ප්‍රධාන හේතුවක් විය. එයින් බැටකෑවේ මැති ඇමැතිවරුන් නොව මේ රටේ පොදු මහජනතාවය. වරප්‍රසාද ලත් පන්තියේ පුරවැසියන්ට එය ලොකු බැලපෑමක් නොවූවද එදිනෙදා වේල කෙසේ හෝ ගැටගසාගන්නා සාමාන්‍ය ජනතාව නම් මුහුණ දුන්නේ දැඩි ආර්ථික පීඩනයකටය. මාසේ පඩිය සතියෙන් ඉවර වෙනවිට ඔවුන්ට කළහැකි දෙයක් තිබුණේ නැත. රටේ නොසිතූවිරූ දේශපාලන පෙරළියක් සිදුවෙද්දී පොදු මහ ජනතාව එම ක්‍රියාවලියෙන් පැත්තකට වී සිදුවන දේ බලාසිටින තත්ත්වයකට පත්වීමට එයද එක් ප්‍රබල හේතුවක් විය. එජාපය නියෝජනය කරන හිටපු මැතිඇමැතිවරැන්ට මෙය දැන්වත් වැටහෙනවාදැයි අපි නොදනිමු.

මේ හේතුව නිසා අලුතින් පත්කරනු ලැබ සිටින මහින්ද රාජපක්ෂ අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් රජයට පැවැරෙන්නේ විශාල වගකීමකි. මහජනතාව තුළ පවතින බලාපොරොත්තු අප්‍රමාණය. තමන්ගේ සියලු ප්‍රශ්න ඉදිරි මාස කිහිපය තුළදී විසඳෙනු ඇතැයි ඔවුන් නොසිතන නමුත් තමන්ව දැඩි ලෙස පීඩාවට පත්කරන මූලික ප්‍රශ්නවලට හෝ විසඳුම් ලැබෙනු ඇතැයි ඔවුන් තුළ බලාපොරොත්තු පවතිනන බව සිහිපත් කළ යුතුය.

ආර්ථිකය හරි මඟට ගැනීම තුළින් මුල් ගැටලු කිහිපයකට දීර්ඝකාලීන විසඳුම් සොයාගත හැකිවනු ඇතැයි ද ඒ මගින් ජනතාව පෙළන ආර්ථික පීඩනයට යම් සහනයක් ලැබෙනු ඇතැයි ද උපකල්පනය කළ හැක. කෑම බීම, ගමන් වියදම්, ඇඳුම් පැළඳුම් පමණක් නොව එදිනෙදා අවශ්‍ය කරන බඩු භාණ්ඩ සියල්ලේම මිල ගණන් සාමාන්‍ය පුද්ගලයකුට ඔරොත්තු නොදෙන මට්ටමට ඉහළ ගොස් තිබේ. ඒවාට යම් සහනයක් ලබාගැනීම ජනතාවගේ ලොකුම අපේක්ෂාවයි. තෙල් මිල රුපියල් 10කින් පොහොර රු. 500කින් අඩු කිරීම ජනතාවට යම් ප්‍රමාණක සහනයක් ලබා දෙනු ඇත. එසේම තරුණ තරුණියන්ගේ ජංගම දුරකතන සඳහා පනවා තිබූ අධික බද්දෙන් 10%ක් හෝ අඩුකිරීම ද ඔවුන්ගේ බරක් ඉවත් කිරීමකි. නමුත් ඊට වඩා බරපතළ ගැටලු ද තිබේ.

රටේ රැකියා උත්පාදනය පවතින්නේ ඉතා පහළ මට්ටමකය. මේ නිසා උගත් තරැණ පරපුරට රැකියා සැපයීම ලොකු ගැටලුවකි. ආණ්ඩුවක් වෙනස් වූ පමණින් රැකියා ලැබෙන පිරිසක් ද සිටිති. ඇමැතිවරුන්ගේ ආධාරකරුවන් සහ පවුලේ ඥාති මිත්‍රාදීහු මේ ගණයට වැටෙති. එවැන්නන්ට සැපයෙන රැකියා රටේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් නොව මැති ඇමැතිවරැන්ගේ ගැටලු විසඳාගැනීමකි. අවශ්‍ය වන්නේ තරුණ පෙළට ලබාගන්නා අධ්‍යාපනයට සරිලන රැකියාවකි. ඒ සඳහා රටේ නිෂ්පාදනය, අපනයනය ඉහළ දැමිය යුතු අතර රටට විදේශ විනිමය ලැබෙන අලුත් මාර්ග ද සොයාගැනීම අවශ්‍යය. ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන පවා පසුගිය කාලය තුළදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් ද රැකියා වෙළෙඳපොළට දැඩි පීඩනයක් එල්ල වී තිබිණි. මේ සියල්ලට යම් පමණක හෝ සහනයක් ලැබෙනු යන්න මේ සියලු දෙනාගේම අපේක්ෂාවකි. 

මේ වනවිට රටේ මුදල්වල වටිනාකම දැඩි ලෙස පිරිහෙමින් තිබේ. රුපියල් 100කින් අද කළහැකි කෙංගෙඩියක් නැත. අඩුම තරමින් කෑම පාර්සලයක් හෝ මිලදී ගැනීමට රුපියල් 100ක් ප්‍රමාණවත් නැත. අඩු ආදායම්ලාභීන්ට එදිනෙදා කෑම බීම සොයාගැනීම පවා දුෂ්කර වී තිබේ. කඩාවැටෙන රුපියලේ අගය ද ආණ්ඩුව වෙනස් වූ පමණින් ඉහළ යන්නේ නැත. ඒ බව පසුගිය දින දෙක තුන තුළදී පවා පැහැදිලිව පෙනෙන්නට තිබිණි. රුපියල් කඩා වැටීම වළක්වා ගැනීමත් එය යම් තරමකින් හෝ ශක්තිමත් කර ගැනීමත් ආණ්ඩුවට පැවරෙන විශාල වගකීමකි.

මේ සමඟම රටේ කෘෂිකර්මාන්තයේ නියුතුව සිටින්නෝ බරපතළ ගැටලුවලට මුහුණ දී සිටිති. ඉවත්කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයෙන් ඉතාම කනගාටුදායක සැලකීමක් ලැබුණේ කෘෂිකාර්මික කේෂත්‍රයට බව සඳහන් කළ යුතුය. පොහොර සහනාධාර අහෝසි කළද ඒ සඳහා යෝජනා කළ විකල්ප පියවර ප්‍රායෝගික නොවීය. මේ නිසා වී ගොවීන් පමණක් නොව එළවළු ගොවීන්, කිරි ගොවීන් සුළු බෝග වැවිලිකරුවන් යනාදී ලෙස කෘෂිකර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ. එහි ප්‍රතිඵල පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද පැහැදිලිව දැක ගතහැකි විය. කෘෂිකාර්මික කේෂත්‍රය යථා තත්ත්වයට පැමිණ වීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය ඉටුවිය යුතු බවට කෘෂි ආර්ථිකයේ යැපෙන්නෝ දැඩි බලාපොරොත්තු තබා සිටිති.

මෙහි සඳහන් කළේ ජනතාවගේ බලාපොරොත්තු අතුරින් කිහිපයක් පමණි. මේ ගැටලුවලට ලැබෙන විසඳුම් මත ආණ්ඩුවේ ජනප්‍රියභාවය රුඳෙනු ඇත. එහෙත් ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමෙන් පමණක් මේ ආර්ථික අගාධයෙන් ගොඩඒමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වීම නම් මුළාවක් බවත් පැවසිය යුතුය.