2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

මහින්දගෙන් පොලිස් ඇමැතිට දුරකතන ඇමතුමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය යහපාලන රජය තුළ විශාල දෙදරීමක් ඇති කළේය. ඊට අදාළව සී.අයි.ඩී.ය මගින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට නොගෙන දින ගණනාවක් තිස්සේ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමද රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාබහකට ලක්වෙමින් තිබිණි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පෙර සැකපිට අත්අඩංගුවට නොගැනීමද ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ විමසුම් ඇසට ලක්වී තිබිණි. අවසානයේ නාලක ද සිල්වා පසුගිය බ්‍රහස්පතින්දා (25) රාත්‍රී 7.00ට පමණ අත්අඩංගුවට ගෙන රාත්‍රී 10.00ට පමණ උසාවියට ඉදිරිපත් කෙරුණු අතර ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

මේ කටයුතු ප්‍රමාදවෙමින් තිබියදී පසුගිය දිනක නීතිය හා සාමය බාර ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දුරකතන ඇමැතුමක් ලැබිණි. රාජපක්ෂ මහතා එහිදී විමසුවේ ගෝඨා මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ කතාවට මොකද වෙන්නේ කියාය. ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා එයට පිළිතුරැ වශයෙන් ප්‍රකාශ කළේ නීතිපතිගෙන් විධිමත් උපදෙස් නොලැබීම හේතුවෙන් ඩී.අයි.ජී. නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමක් තවම සිදු නොවී ඇති බවය. මහින්ද රාජපක්ෂ මහතා එම පිළිතුරෙන් සෑහීමකට පත්වූයේ නැත. මෙවැනි බරපතළ කුමන්ත්‍රණ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳව රාජපක්ෂ මහතා ඇමැතිවරයාට තම නොසතුට පළකරමින් එම සංවාදය ඔහු අවසන් කළේය.

කෙසේ වුවද අදාළ සිද්ධිය පිළිබඳව නීතිපතිවරයාට යැවිය යුතු වන උද්ධෘත ඇතුළත් ලිපිගොනු කිසිවක් ඒ වනතුරුද සී.අයි.ඩී.ය මගින් යවා නොතිබූ බව මහින්ද රාජපක්ෂ මහතාට පසුව දැනගැනීමට ලැබී තිබිණි.

කැබිනට්ටුවේ රුව්දුන් කර්නල්ගෙ සිද්ධිය

රට තුළ තවත් සංවාදයට බඳුන් වී ඇති මාතෘකාවක් වන්නේ කර්නල් කළණ අමුණුපුර ආපසු කැඳවා ගන්නැයි මානව හිමිකම් කොමිසම මගින් කර ඇති ඉල්ලීමය. කර්නල් අමුණුපුර මාලි දේශයේ සාමසාධක රාජකාරි සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවෙන් යවන ලද 199 දෙනකුගෙන් යුත් හමුදා අනුඛණ්ඩයේ අණදෙන නිලධාරියාය. මේ කතාව පසුගිය කැබිනට් රුස්වීමේ මාතෘකාවක්ද වී තිබුණි.

ජනාධිපතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කළේ සිත්තැවුලකින් යුතුවය. කර්නල් අමුණුපුර ආපසු කැඳවා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත්තේ දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක වූ මානව හිමිකම් නීතිඥවරියක වන යස්මින් සූකා විසින් නැගූ චෝදනාවක් මත පමණක් පදනම් වෙමින් වීම ජනාධිපතිවරයාගේ කනස්සල්ලට හේතු වී තිබිණි. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් දරැස්මාන් කමිටුව පත්කරනු ලැබීය. එහි සාමාජිකාවක් වූ යැස්මින් සූකාගේ භූමිකාව මේ රට තුළ දැඩි විවේචනයට ලක්විය.

කිසිදු විමර්ශනයකින් තොරව කර්නල්වරයා කැඳවිය හැකිදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළ බවද සඳහන්ය. එහිදී හෙළිවී තිබුණේ මෙවැනි එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා හමුදා ඛණ්ඩ යැවීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් බවයි. ඒ සම්බන්ධයෙන් තමන් තුළ ඇති සැකය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වූ බවද සඳහන් වේ. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් සුළු ජාතීන්ගේ අයිතීන් තහවුරැ කිරීමටත් ප්‍රමාණවත් තරම් කාර්යභාරයක් ඉටුකර තිබියදී ජාත්‍යන්තර ප්‍රජාව ඒ සම්බන්ධයෙන් මේ ආකාරයට කිසිදු ලිහිල් බවක් නොදක්වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ලබන මාර්තු මාසයේදි එ.ජා.ගේ මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දූත පිරිස මගින් තවදුරටත් පැහැදිලි කර ගැනීමක් ලබාගැනීම අවශ්‍ය බවය.

- ඩේලි මිරර්

මංගලගෙන් ශ්‍රීලනිපයට බජට් දේශනයක්

ශ්‍රීලනිපයත් එජාපයත් අතර විවිධ ගැටලු පැවතුණද ඉකුත් සතියේ දිනක රාත්‍රියේ පක්ෂ දෙකේ නායකයන් මුණගැසුණේ නොවැම්බර් 04 වැනිදා ඉදිරිපත් කර අයවැය යෝජනා පිළිබඳව ගැටලු සාකච්ඡා කර ගැනීමටය.

මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රථමවතාවට එහිදී තමන්ගේ අයවැය යෝජනා පිළිබඳව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට කරුණු පැහැදිලි කර දුන්නේය. මේ සාකච්ඡාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජීවන වියදම පහත දැමීම සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි එහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් විසින් කරන ලද ඉල්ලීමට ඇමැති මංගල සමරවීර විසින්ද සහතික කළ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පුළුල් එකඟත්වයක්ද ඇති විය. කෘෂිකාර්මික සහ ධීවර අංශ සඳහා ආධාර ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කෙරැණු ඉල්ලීම්වලටද ඇමැතිවරයාගේ එකඟත්වය පළවිය.

මෙම සාකච්ඡාවට මංගල ඇමැතිවරයා සමග ඔහුගේ නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල සහ උපදේශක මනෝ තිත්තවැල්ලද සහභාගී වූහ.

- සන්ඩේ ටයිම්ස්