2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

එදා වේල

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

ආර්ථිකය තරම් පසුගිය කාලය තුළදී පට්ට ගැසූ වෙනත් මාතෘකාවක් මේ රටේ නොතිබිණි. ඝාතන ක්‍රමන්ත්‍රණ, “රෝ” සංවිධානයේ චරිත සහතික අලුත් කිරීම, හයිබ්‍රිඩ් ආණ්ඩුවේ බැහැගෙන යන බැටරිය රීචාර්ජ් කිරීම වැනි අතරින්පතර පත්තුවෙන මාතෘකා තිබුණත් ඒවා ජනතාව අතර එතරම් හිට් වුණේ නැත. ඊටද හේතු වූයේ ආර්ථිකය බඩගාන විට ජනතාවට හොම්බෙන් යාමට සිදුවී තිබීමය. කොටින්ම ආර්ථිකය ගැන කතා නොකෙරෙන මඟුල් ගෙයක්, මරණ ගෙයක් පමණක් නොව අඩුම තරමින් කොටහළු ගෙයක් හෝ මේ දවස්වල සොයාගන්න නැත.

මේ කතාබහට ලක්වෙන්නේ අපේ රට ලබා ඇති ආර්ථිකයේ ප්‍රගතියක් ගැන නොවේ. දවසින් දවස ආර්ථිකයේ පවතින පල්ලම් බැසීමේ තරමය. ඩොලරයට එරෙහි සටනින් රුපියල දැන් හතරගාතේ දාගෙන ඇද වැටී තිබෙන තත්ත්වයක් තුළ භාණ්ඩාගාරයේ කාසි පණම් ගැන කතා කිරීමත් පළක් නැත. ජනතාවට දැනෙන්නේ මාසයකට ප්‍රමාණවත් විය යුතු පඩිය සතියෙන් දෙකෙන් වාෂ්ප වන බව පමණි. එයද හරි හැටියට තුන්වේලම කා බඩකට පුරවාගැනීමේ තත්ත්වයක් යටතේ නොවේ. කනගාටුව එයයි. 
අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල නැගීම ජනතාවට දරාගත නොහැකි වී තිබෙන්නේ ආදායම වැඩි වීමකින් තොරවය. එයට විරැකියාව වැනි අතිරේක ප්‍රශ්නද එකතුවීම මේ තත්ත්වය උග්‍රකරමින් තිබේ. මාසික වැටුපෙන් ජීවත් වෙන රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් පිළිබඳව වෙනම කතා කළ යුතුය. එහෙත් එදිනෙදා කුමන හෝ රැකියාවක් කර දිවි ගැටගහගන්නා අතිවිශාල පිරිසකගේ ජීවන වියදම ඔවුන්ට දරාගත හැකි සීමාවෙන් එපිට ගොස් ඇති බව හතර වටෙන්ම පෙනෙන්න තිබේ. මේ බොහෝ දෙනකුට දැන් එදිනෙදා ලැබෙන තාවකාලික රැකියා පවා හිඟවෙමින් තිබේ. ඊට හේතුව ඔවුන් සේවයේ යොදවා හරි හම්බ කරන හාම්පුතුන්ට ද බලපාන ආර්ථික පීඩනයයි. ඔවුන් හැම අතින්ම වියදම් කපාහරින විට අනවශ්‍ය, අවශ්‍ය පමණක් නොව ඇතැම් විට අත්‍යවශ්‍ය සේවා පවා අත්හැරීමට සිදුවන අවස්ථා දැන් නිතරම මතුවෙයි. රටේ විශාල පිරිසකගේ ජීවනෝපාය සලසන “එදාවේල” ගණයේ රැකියා අද අඩුවෙමින් යන්නේ මේ නිසාය.

ආර්ථිකයේ හැඩතල වෙනස් කර ගැනීමට මේ ආණ්ඩුව උත්සාහ දරන්නේ නැතැයි අපි නොකියමු. එසේම ආණ්ඩුවට පාලනය කළ නොහැකි හේතු සාධක නිසාද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනබවත් කිව යුතුය. මැදපෙරදිග අවිනිශ්චිත වාතාවරණය, ඉරානයට පැනවූ සම්බාධක, වැඩි වෙන තෙල් හා ගෑස් මිල අමෙරිකානු ඩොලරය වාර්තාගත අන්දමින් ශක්තිමත් වීම එවැනි සාධක කිහිපයකි. ඒ සමඟ රට තුළ පවතින දේශපාලන අස්ථාවර භාවය මගින් ආයෝජකයන් තුළ රට කෙරෙහි තිබිය යුතු විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳවට්ටා තිබේ. එහි ප්‍රතිඵල පසුගිය කාලය තුළම පෙනෙන්නට තිබිණි. ආර්ථිකයේ කඩාවැටීමට තදින්ම බලපාන සාධකයක් වූ රුපියල දුර්වල වීමට තාවකාලික තිරිංගයක් හෝ දමාගැනීමට තිබූ ඉඩකඩ ද ඒ හේතුවෙන් අහෝසි වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය මේ අන්දමින් හෝ පවත්වාගෙන යාමට ජනතාව මිලදී ගන්නා හැම භාණ්ඩයකටම වාගේ හතර වටේටම බදු ගසනවා හැරවෙනත් ප්‍රතිකර්මයක් ආණ්ඩුව සතුව නැති බව සැබෑ තත්ත්වයයි. මෙහිදී මහබැංකුවට ද ඇත්තේ බලාපොරොත්තු සමුදායක් පමණක් බවත් කිය යුතුය.

කෙසේ වුවද මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේ කළ ප්‍රකාශයකින් රටේ ආර්ථික සහ මූල්‍ය තත්ත්වය ගිලිහීයමින් පවතින බවට පැතිරෙන කතා ප්‍රතික්ෂේප කර තිබිණි. මූලික මහා පරිමාණ ආර්ථික සාධක යහපත් මට්ටමක පවතින බවද ප්‍රකාශ කළ ඔහු අයවැය පරතරය 4.8( වශයෙන් ඉලක්ක කළත් එය 5.3)ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඊට හේතුව වුණේ ගංවතුර සහ නියං ආධාර ලබාදීමට සිදුවීම යැයිද සඳහන් කළේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද ඒ සඳහා ඉඩලබාදී ඇතැයි ද ප්‍රකාශ කෙරිණි. මේ කරණා මූලික වශයෙන් ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව හමුවේ මවන ප්‍රතිරූපයක් වශයෙන් සැලකිය හැකිය. නමුත් ගැටලුව ඇත්තේ ආර්ථිකයේ ගැම්ම ගිලිහී ගොස් නැතිනම් රටේ සාමාන්‍ය ජනතාව මේ තරම් දුකකට පත්වීමට හේතුව කුමක්ද යන්නය.

අපට දැනෙන හැටියට නම් ලෝකයේ ආර්ථිකය වෙනස් වන ආකාරයට අපේ කටයුතු හැඩගස්වාගැනීමට අපොහොසත් වීම බරපතළ ගැටලු ඇතිකර තිබේ. පක්ෂ දෙකක ආණ්ඩුවක ප්‍රතිපත්ති වෙනස් වීමේ අවාසිය මෙතනදී තීරණාත්මක සාධකයක් වී තිබේ. ඊටත් වඩා ආණ්ඩුව තුළ ඒකමතික බවක් නොතිබීමත් දෙපාර්ශවය එකිනෙකාගේ කකුලෙන් ඇදීමේ තත්ත්වයට පත්ව සිටීමත් තත්ත්වය වඩාත් දරුණු අතට හරවමින් තිබේ. ජනතාව එහි වින්දිතයන් බවට පත්ව සිටීම ලොකුම ඛේදවාචකයයි.
තිබෙන ප්‍රශ්න මදිවාට මෙතෙක් කාලයක් මිතුරුව සිටිමින් සියලුදෙනා තුළ රටවල් සමඟ ද අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීම ද තත්ත්වය තවත් සංකීර්ණ කර තිබේ. ගෙවීගිය වසර තුනහමාර මුළුල්ලේම ආණ්ඩුව කළ කිසි දෙයක් නැතැයි සමහරැන් ප්‍රකාශ කරන්නේ ඒ හේතුවෙනි. ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී මේ රජය මුලසිටම වැඩ කළේ ඉතාම සෙමිනි. මේ උදාසීනකම් ඇතුළු සෙසු සියලු ආර්ථික ගැටලු හේතුවෙන් ජනතාව දැඩිලෙස හෙම්බත්ව සිටින බවද ඔවුන්ගේ ඉවසීම තවදුරටත් “ටෙස්ට්” කර බැලීම බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු වන බවද ආණ්ඩුව දැනසිටීම වැදගත් බව ප්‍රකාශ කරමු.