2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

හවුලේ අවුල

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපතිවරයා වශයෙන් පත්කරගත් අවස්ථාවේ මේ රටේ ජනතාව තුළ ලොකු බලාපොරොත්තු ගොඩනැගී තිබුණි. ඔහුට ඡන්දය ලබාදුන් පිරිස ලොකු උද්යෝගයකිනුත් ඡන්දය නොදුන් පිරිස ලොකු සැකයකිනුත් බලා සිටියේ ජනාධිපතිවරයා රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙනු ඇතැයි කියාය. එය රටේ දේශපාලන ගමන සැබෑ ලෙසම වෙනස් කිරීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ලැබී තිබුණු ජනවරමක් විය.

ඒකාධිපතිකම, ඥාති සංග්‍රහය වෙනුවට නිදහස්, සාධාරණ සහ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ගමනක ආරම්භය එය වනු ඇති බව බොහෝ දෙනා සිතන්නට ඇත. එහෙත් සමහරු නම් හිටියේ ලොකු සැකයකිනි. ඔය කිව්වට මෛත්‍රීපාලට පුළුවන්ද ඔය කියන දේවල් කරන්න යන අදහස ඔවුන් තුළ තිබුණි. එය මැදිහත් පිරිසකගේ අදහස වනවිට යූ.එන්.පී. කාරයන්ට තිබුණේ අපේ ඡන්දෙන් පත්වෙලා අපිටම කෙළියිද දන්නෙ නෑ යන අදහසය. ආණ්ඩුවට එකතු නොවූ ශ්‍රීලනිප පාක්ෂිකයන් නම් නිසැකවම බලා සිටියේ මේ යහපාලන කට්ටි දෙක වැඩේ අනාගන්නා තුරැය. හැබැයි මෛත්‍රීපාල සමඟ එකතු වූ ශ්‍රීලනිප පිරිසත් යූ.එන්.පී.ය තුළ සිටි තවත් පිරිසකුත් ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තරමක බලාපොරොත්තු සහගතව සිටි බවත් පෙනෙන්නට තිබිණි. නමුත් දැන් වෙමින් පවතින්නේ කුමක්ද?

මේ වෙමින් පවතින්නේ සම්මුතිවාදී හෝ ජාතික හෝ හවුල්කාර හෝ මෙවැනි ඕනෑම ආකාරයකට හැඳින්විය හැකි ආණ්ඩුවක සිදු නොවිය යුතු දේමය. කලින් එළියට නොපෙනෙන මට්ටමින් තිබූ මත ගැටුම් දැන් සිදුවෙන්නේ එළිපිටමය. දෙපැත්තේම නායකයෝ ඉන්නේ කොයි වෙලේ කඩුව ඇද ගනිම් දෝ යැයි සැකයෙනි. දැන් ආණ්ඩුව තුළ සම්මුතියක් නැත. හවුල වෙනුවට ඇත්තේ එකම අවුලකි. මේ ආණ්ඩුව හැදීමට කතාබහ සිදුවන කාලයේ කියා තිබූ පරිදිම දැන් එකම කැඳහැලියක් බවට ආණ්ඩුව පත්වෙමින් තිබෙන බව ජනතාවට දැනෙමින් තිබේ. ආණ්ඩුවේ කෙරුවාවේ වෙනස දැනෙන්න පටන් ගැනීම හේතුවෙන් රටේ ජනතාවත් ටිකෙන් ටික ආණ්ඩුව කෙරෙන් ඈත් වෙමින් සිටින බව නම් පැහැදිලිය. 

මෛත්‍රීපාල සහ රනිල් අතර මතවාදී ගැටුම් උග්‍රවෙමින් පැවතීම පසුගිය සති දෙක තුළදී දේශපාලන කරළියේ උණුසුම් පුවත් මැව්වේය. එය කොතරම් දුර ගියාදැයි කිවහොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයට ඉන්දියාවේ නමද ගෑවුණේය. එය අවසානයේ මෛත්‍රීපාලත් ඉන්දියාවේ අගමැති මෝදිත් අතර දුරකතන හමුවක් දක්වා දුර ගියේය. මීට පෙර මෙවැනිම අවස්ථාවක් එනම් දෙරට අතර රාජ්‍ය නායක මට්ටමින් උණුසුමක් හටගත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේය.

ඒ උතුරේ ඉන්දීය හමුදා රැඳී සිටි කාලය විය. ඒ යුද කලබැගෑනි අස්සේ තිබූ ජනාධිපතිවරණයෙන් ජයලැබූ ප්‍රේමදාස ජනාධිපතිවරයා තුළ ඉන්දියාව කෙරෙහි දිගටම තිබුණේ හොඳ හැඟීමක් නොවේ. ^87 රජීව් ගාන්ධි මෙරටට පැමිණ අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට ඒ කාලේ අගමැති වූ ප්‍රේමදාස අතගහන්න ගියේ නැත. ජනපති ජේ.ආර්, ගාමිණී දිසානායක සහ රොනී ද මැල් ළඟ තබාගෙන රජීව් සමඟ ගිවිසුම් ගහද්දී අගමැති ප්‍රේමදාස හිටියේ ගෙදරට වෙලාය. ප්‍රසිද්ධියේ නොකිව්වත් ප්‍රේමදාස තම ළඟම හිතවතුන්ට මේ ගැන තමා තුළ තිබූ ඉන්දීය විරෝධය ගැන අදහස් පළකර තිබුණි.

ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව ප්‍රේමදාස තමාට හිතවත් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු උපදේශක තත්ත්වයෙන් ළඟ තබා ගත්තේය. හැබැයි මේ අය ලබාදෙන උපදෙස් ඔහු හැමවිටම පිළිපදින්න ගියේ නැත. එයින් ඔහු අමාරැවේ වැටුණු අවස්ථාව වූයේ ඉන්දීය සාමසාධක හමුදාවට රටින් පිටවෙන්නැයි කියූ අවස්ථාවය.

ඉන්දීය සාම සාධක හමුදාව මේ රටේ රැඳී සිටියේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ඇතිකර ගන්නා ලද එකඟතාවකට අනුවය. මේ නිසා ඔවුන් මේ රටින් ආපසු යැවිම කළයුතුව තිබුණේද රාජ්‍ය නායක මට්ටමින් සිදුකෙරෙන රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළක් ඔස්සේය. මේ බව ප්‍රේමදාසට කොතරම් උපදේශකයන් පෙන්වා දුන්නත් ඔහු කළේ බත්තරමුල්ලේ චිත්ත විවේකාශ්‍රමයේ පැවැති ආගමික උත්සවයකදී ඉන්දීය සාම සාධක හමුදාව දැන් ගියොත් හොඳයි කියා කීමය. ප්‍රේමදාස මේ කතාව කරන්න ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එම ඉල්ලීම කර ඉන්දියාවේ හොඳ හිත ආරක්ෂා කරගන්නවාට වඩා ලංකාවේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම වඩා වැදගත් යැයි සිතාගෙනය. එහෙත් එයින් ඉන්දියාවේ හිත හොඳටම රිදුණේය.

ප්‍රේමදාස ප්‍රසිද්ධියේම මේ කතාව කීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තමන්ට අවමානයක් කිරීමක් හැටියට ඉන්දියාව තේරුම් ගන්න ඇත. ඔවුන් වහාම වැඩපිළිවෙළක් සකස් කර ඉන්දීය හමුදාව ආපසු කැඳවා ගත්තේය. නමුත් ඉන්පසුව තිරය පිටුපසින් ක්‍රියාත්මක වූ බොහෝ දේවල් හේතුවෙන් තමන් එදා ඒ කතාව නොකිව්වා නම් හොඳ යැයි ප්‍රේමදාසට පසුව නොසිතුණා නම් පුදුමය. ප්‍රේමදාස පාලනය තිබෙන තුරැ ඉන්දියාව හිටියේ නෝක්කාඩු ස්වරෑපයකින් බව එදා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉහළ නිලධාරී පැලැන්තියටම දැනී තිබිණි.

එම සිද්ධියෙන් පසුව ඉන්දියාව චෝදනාවට ලක්කරමින් මේ රටේ රාජ්‍ය නායකයකු විසින් ප්‍රසිද්ධියේ සිරස්තල මැව් සිද්ධිය වූයේ මෛත්‍රීපාල පසුගිය (16) කැබිනට් රැස්වීමේදී ඉන්දියාවේ රෝ සංවිධානය තමන්ගේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි ප්‍රකාශ කිරීමේ සිද්ධියයි. ජනාධිපතිවරයා එසේ නොකියූ බවත් ඔහු තමන්ගේ ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලීසිය උදාසීනව කටයුතු කරන ආකාරය ගැන කී අවස්ථාවේ කළ සඳහනක් වැරදියට වාර්තා කිරීමත් මෙහිදී සිදුවී ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍ය සාකච්ඡාවේදී කියා තිබිණි. නමුත් මේ කතාව ද හින්දු පුවත්පතට ලියා තිබූ මීරා ශ්‍රීනිවාසන් රාජිතගේ එම කතාවට පිළිතුරැ වශයෙන් කියා තිබුණේ තමා එම ප්‍රවෘත්තිය ලිව්වේ ඇමැතිවරැන් හතර දෙනෙකුගෙන් එය සනාථ කර ගැනීමෙන් පසුව කියාය.

රාජිත කොහොම කිව්වත් මේ වාර්තාව පළවීමෙන් පසුව ඉන්දීය රජය කලබලයට පත්වීම නියතයකි. එය අවසන් වූයේ මෛත්‍රීපාලත් මෝදිත් අතර දුරකතන සංවාදයකිනි. එහිදී ඉතා සුහදව එම සංවාදය සිදුවූ බවත් දෙරටේ කාලගුණ තත්ත්වය ඇතුළු කරුණු ගණනාවක්ද සාකච්ඡා වූ බවත් එම වාර්තා හේතුවෙන් ඇති වූ තත්ත්වය ගැන ජනාධිපතිවරයා තම කනගාටුව ප්‍රකාශ කළ බවත් සඳහන් වෙයි.

කෙසේ වුවද අගමැති මෝදිගේ කාර්යාලය මගින් 17 වැනිදා රාත්‍රියේ නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ ජනාධිපති සිරිසේන අගමැති මෝදිට දුරකථනයෙන් කතා කළ බවත් එහිදී ඔහු තමන් පිළිබඳව ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළ බවත්ය. ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඉන්දියාව පිළිබඳව කවරාකාරයක හෝ සඳහනක් නොකළ බවත් ප්‍රකාශ කර ඇතැයිද එහි සඳහන්ය. එම වාර්තාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට රජයද තමන් පෞද්ගලිකවමද ඉදිරිපත් වූයේ යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද එහි සඳහන් විය. දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතාවලට සහ රාජ්‍ය නායකයන් දෙපළ අතර ඇති සුහදතාවට හානි පමුණුවා අනවබෝධයක් ඇති කිරීම සඳහා ගොතන ලද මේ කතාව කිසිදු පදනමක් නැති අමූලික බොරුවක් යැයි පැවසූ බවද එම නිවේදනය මගින් කියා තිබිණි. එම අසත්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අගය කරන බවද මෝදි කියා තිබිණි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට රජය තුළ තිබෙන මත ගැටුම් හේතුවෙන් බරපතළ හානියක් සිදුවීමට තිබූ අවස්ථාවක් මගහැරී ගියේ ඒ ආකාරයටය. මෙය ආණ්ඩුව ඇතුළේ මත ගැටුම්වල තීරණාත්මක බව හොඳින්ම පෙන්නුම් කළ සිද්ධියකි. ඇතුළේ ගිනි එළියට දීමකි. මේ සිද්ධිය ප්‍රේමදාසගේ කාලයේ වාගේ දෙරටේ සබඳතාවලට හානියක් නොකරන බව විශ්වාස කළ හැක. ඒ කාලයේ තිබූ යුදමය වාතාවරණය හේතුවෙන් දෙරටේ විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටී තිබුණි. එහි අවාසිය තිබුණේ ප්‍රේමදාසටය. දැන් දෙරට අතර පවතින්නේ සුහද වාතාවරණයකි. එහි වාසිය ඇත්තේ මෛත්‍රීපාලටය. මෛත්‍රීපාලගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ඉන්දියාවේ ආශීර්වාදය හිමි වූ බවට කතා පැතිරුණේ වරක් දෙවරක් නොවේ. මහින්ද රාජපක්ෂද එදා තමන්ගේ පරාජය ගැන චෝදනා කළේ ඉන්දියාවේ රෝ එකටය.

හැබැයි දැන් මේ කතාවෙන් පස්සේ ඉන්දියාව සිටිනු ඇත්තේ ලොකු විමසිල්ලකින් බවට සැකයක් නැත. මේ විමසිලිමත් බවේ ගණං හැදීම සිදුකරන්නේ රෝ එක බව ප්‍රසිද්ධ රහසකි. අල්ලපු රටේ නායකයන් ඝාතන කුමන්ත්‍රණවලට තමන්ගේ නම ගැවෙනවාට රෝ අකැමැති වුවත් අහළ පහළ රටවල්වල දේශපාලන වෙනස්කම් වලදී රෝ සංවිධානයේ නම ගෑවෙන අවස්ථා තිබේ. මහින්දගේ ප්‍රකාශය එයට එක් උදාහරණයක් පමණි. කොහොම වුණත් කැබිනට් එකේ කතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි වෙනදා වැඩි උනන්දුවක් රෝ සංවිධානයට ඇතිවුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

මේ සිදුවීම් අනුව දැන් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුව යන්නේ වැරදි දිසාවකට බවය. මානව හිමිකම්, මානව අගැයීම්, නීතියේ ආධිපත්‍යය, ශිෂ්ට සම්පන්න බව, දේශපාලන නිදහස වැනි ජයග්‍රහණ ගණනාවක් ලබාදීම සඳහා මුලදී කටයුතු කළ ආණ්ඩුව දැන් සිටින්නේ ජනතාවගේ පැත්තේ නොවන බව පැහැදිලිය. මෙහි එක් ප්‍රතිඵලයක් වනු ඇත්තේ රටේ තරුණ පරපුරේ තිබෙන දේශපාලන නැඹුරැව ආපස්සට හැරීමය. ඔවුන් වැඩි පිරිසකගේ මතය හොරැන් පිරිසක් පරදවා අලුත් හොරු පිරිසක් බලයට පත්කරගෙන ඇති බවය. මේ හොරු ලේබලය අලවා ගැනීම පහසු වුණාට ඒක ගලවා ගැනීම නම් හිතෙන තරම් ලේසි නැත. ආණ්ඩුව තමන් ආපු ගමන ගැන දැන්වත් ආපසු හැරී බැලීමක් නොකළොත් ජනතාව ආපසු හැරෙන බව නම් සහතිකය.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00