2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

පොලිස්පති ක්‍රයිම් තියරිය

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ දිනවල දේශපාලන සුළිකුණාටුවක කේන්ද්‍රය බවට පත්ව සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු ඉල්ලා අස්වනු දැකීමට කැමැත්තෙන් සිටින අතර රජයේ පාර්ශවකරුවකු වන යූ.එන්.පී.යේ ඇතුළු පිරිසකට අවශ්‍ය වන්නේ ඔහු ධුරයේ රැඳී සිටීමය.

අපරාධ වැඩි වීමේ ප්‍රවණතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කනස්සල්ලට පත්ව සිටී. ඒ අතර ආසියාවේ හොඳම ආර්ථිකය ඇත්තේ ශ්‍රී ලංකාවේ බව පවසන ඇතැම් යූ.එන්.පී. ඇමැතිවරැන් තදින්ම කියා සිටින්නේ අපරාධ සිදුවීම පාලනය කර ඇති බවය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරැන් වරින් වර හමුවන පොලිස්පති ජයසුන්දර මහතාට ද වරක් මේ සම්බන්ධයෙන් ඔහුගේම කරුණු පැහැදිලි කිරීමක් තිබිණි. ඔහු පවසන්නේ අපරාධ සිදුවීම අඩු වුවද ඇතැම් අපරාධවල පවතින මිලේච්ඡ ස්වභාවය හේතුවෙන් ඒවා වැඩිපුර කැපීපෙනෙන බවය. එකිනෙකට ආසන්නව මිනීමැරුම් දෙකක් සිදුවූ විට විවිධ මාධ්‍ය හරහා එය ප්‍රචාරය වන බවත් එවිට ඒවා වැඩිපුර ඇසෙන බවත් පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් මෙවැනි ප්‍රකාශයක් පිටවීම විහිළුවකි. අතීතයේදී බොහෝ අපරාධ සිදුකරනු ලැබුවේ යකඩ පොලු, ලොකු පිහි සහ “ෂොට් ගන්” යොදා ගනිමිනි. ජ.වි.පෙ. ද යොදාගෙන තිබුණේ ගමේ හදන “ගල් කටස්” තුවක්කුය.

එහෙත් මේ කාලයේ අපරාධකරුවන් භාවිත කරන්නේ නවීන පන්නයේ ගිනි අවිය. වසර 30කට ආසන්න කාලයක් පැවැති බෙදුම්වාදී යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි අවි අපරාධකරුවන් අතට පත්වී තිබේ. ඒවා අතර ස්වයංක්‍රීය පිස්තෝල, ප්‍රහාරක ගිනි අවි, අත්බෝම්බ සහ ඇතැම් විට මැෂින් තුවක්කු ද වෙයි. මේ හේතුවෙන් සිදුවෙන අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ ගියා පමණක් නොව ඒවා සිදුවන ආකාරය ද වඩාත් නවීන විය.

එසේ වුවද පොලිස්පති පවසන්නේ ගම් පළාත්වලද අපරාධ වැළැක්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය. ගමේ නගරයේත් වැඩියෙන් පොලිස් නිලධාරීන් දැකිය හැකිවනු ඇතැයි ද ඔහු කීය. පාපැදි පොලිස් කණ්ඩායම් ද යොදවන බවත් ඔහු පවසන අතර එය මීට කලින් ද ක්‍රියාත්මක වී තිබේ.

මේ සාකච්ඡාවට සහභාගී වූවන් අතර මත්ද්‍රව්‍ය අංශය, සී.අයි.ඩීය සහ විශේෂ කාර්ය බලකාය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වූහ.

- සන්ඩේ ටයිම්ස්

ඩොලර් මිලියන 300ක චීන ගනුදෙනුව ශ්‍රී ලංකාව නවත්වයි

ඩොලර් මිලියන 300ක් වටිනා නිවාස ඉදිකිරීම සඳහා චීනයට ලබාදීමට තීන්දු කර තිබූ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව විසින් ආපසු හකුලා ගෙන තිබේ. ඉන්දීය සමාගමක් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා මේ තීරණය ගත් බව රජය පැවසීය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට ආසන්නයේ මෙම තීන්දුව ගෙන තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ඇමැති නරේන්ද්‍ර මෝදි අතර හමුව සෙනසුරාදා (20) පස්වරුවේ නවදිල්ලියේදී සිදුවෙනු ඇත.

යාපනයේ නිවාස 40,000ක් ඉදිකිරීම සඳහා වන ඩොලර් මිලියන 300ක කොන්ත්‍රාත්තුව චීනයේ රාජ්‍ය ආයතනයක් වූ චයිනා රේල්වේ බීජිං ඉන්ජිනියරිං ගෘෘප් සමාගමට ප්‍රදානය කෙරැණේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ සඳහා අරමුදල් සපයන්නා වූයේ චීනයේ එක්සිම් බැංකුවයි. එහෙත් යාපනයේ වැසියන් කොන්ක්‍රීට් සැකිල්ල සහිත චීන නිවාසවලට විරෝධය පාමින් තමන්ට සම්ප්‍රදායික ගඩොල් බිත්ති නිවාස ඉල්ලා සිටීම නිසා එම ව්‍යාපෘතිය ඇන හිට තිබිණි. පසුගිය බදාදා (17) රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ ඉන්දියාවේ එන්.ඩී. එන්ටර්ප්‍රයිසස් සහ ශ්‍රී ලංකාවේ උතුරේත් නැගෙනහිරත් සමාගම් දෙකක් ඉදිරිපත් කර තිබූ ඩොලර් මිලියන 210කින් නිවාස 28,000ක් ඉදිකිරීමේ නව යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවය.

- රොයිටර්

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළේ නීත්‍යානුකූලවයි

- මහින්ද රාජපක්ෂ

තමන්ගේ පාලනය කාලය තුළදී හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරනු ලැබුවේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නීත්‍යානුකූල ආකාරයට බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙසේ වුවද වත්මන් රජය මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු පදවියෙන් ඉවත් කරනු ලැබු‍වේ නීතිවිරෝධී ආකාරයට බවත් කියයි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු කමිටුවක් පත්කොට සාක්ෂි කැඳවා අගවිනිසුරැවරිය ඉවත් කළ බව කීය. “අප කළ දේ නීතිවිරෝධීයැයි කිසිවකුටත් කියන්න බෑ. අප අනුගමනය කළේ නීතිමය ක්‍රියාපටිපාටියයි. නීතිවිරෝධී ලෙස අගවිනිසුරැවරයකු ඉවත් කළා නම් ඒ මේ ආණ්ඩුව මගින් අගවිනිසුරැ මොහාන් පීරිස් ඉවත් කිරීමයි.” යැයිද ඔහු කීය.

- ඩේලිමිරර්