2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

දේශපාලන අංගම්පොර

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

මෙරට දේශපාලනය මතභේද, පරස්පර විරෝධී ප්‍රකාශ, ප්‍රතික්ෂේප කිරීම්, තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීම් වැනි බොහෝ අලකලංචිවලින් පිරී යමින් පවතී. මේ ලැයිස්තුව අවශ්‍ය නම් තවත් දික් කළ හැක. එහෙත් සම්මුතිය වෙනුවට විසම්මුතිය ආණ්ඩුවේ හැම අස්සකින් මුල්ලකින්ම පෙරී එන යථාර්ථය බවට පත්වෙමින් තිබේ. හැම මාධ්‍ය සාකච්ඡාවකම ඇත්තේ එකිනෙක පාර්ශ්වයට චෝදනා, ප්‍රතිචෝදනා එල්ල කර ගැනීම්ය. අඩුම තරමින් කැබිනට් තීන්දු දැනුම්දෙන සාකච්ඡාවත් එම තත්ත්වයෙන් මිදී නැත.


පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය ඇතුළත ප්‍රබල මතගැටුමක් හටගත් අතර ඔහු සිටියේ ඔන්න ගියා - මෙන්න ගියා තත්ත්වයක බව මුලින් පෙනෙන්නට තිබිණි. එහෙත් පොලිස්පති ගියේ නැත. ප්‍රශ්නය ඉතිරි විය. ආණ්ඩුව ඇතුළේ මතගැටුම් තරම පෙන්නුම් කළ එක් සාධකයක් බවට එය පත්ව තිබේ. ඊළඟට ආණ්ඩු වෙනසක් ගැන කතා පැතිරෙන්නට විය. සභාග හෝ භාරකාර හෝ ආණ්ඩුවක් හැදීමටත් එහි අගමැතිවරයා වන්නේ කවුදැයි තීරණය කිරීමත් ගැන පැතිරී ගිය කතා බොහෝය. දැන් ප්‍රකාශ වන්නේ කියන තරමට ඒ වැඩේ ලේසි පහසු නොවන බවකි.

මේ මතභේද ගොන්නට අලුතින්ම එකතු වී ඇත්තේ රාජ්‍ය බැංකු සහ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කර ඇති බවට ජනාධිපති පාර්ශ්වයෙන් සිදුකෙරුණු ප්‍රකාශයයි. එය එසේ නොවන බව ඇඟවෙන ප්‍රකාශයක් එජාප පාර්ශ්වය මගින් නිකුත් කෙරිණි. මේ සියල්ලෙන් බිඳවැටෙන්නේ රජය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයයි. අඩුම තරමින් වැදගත් අමාත්‍ය මණ්ඩල සංදේශයක්වත් සාකච්ඡා සම්මුතියෙන් අනුමත කර ගැනීමට නොහැකි තත්ත්වයකට රජය පත්ව සිටින බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව පැවැත්ම මහජනතාව ඉදිරියේ මේ අන්දමට අභියෝගයට ලක්වෙන විට ඒ රටේ ඉදිරි අනාගතය බරපතළ අවිනිශ්චිත තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක. මේ වැනි ස්ථාවර බවක් නොපෙන්වන ආණ්ඩුවක් සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන් සිටී නම් ඔවුන්ගේ මොළ පරීක්ෂා කළ යුතු බව පැවසීම වැරදි නැත. ආණ්ඩුව මුල සිටම ප්‍රතිපත්තිමය වශයෙන් පෙන්වූ අස්ථාවර බව හේතුවෙන් රටට ලැබිය යුතු ආයෝජන නොලැබී ගියේය. ඊට අමතරව ඇතැම් මැති ඇමැතිවරුන්ගේ දරදඬු ආකල්ප සහ අවර ගණයේ ඉල්ලීම් හේතුවෙන්ද ආයෝජන විශාල ගණනක් එක තැන පල්වෙමින් තිබේ. මෙහිදී වඩාත්ම අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ රටේ මහජනතාවය.

රටේ ජනතාව අද සිටින්නේ බලවත් ආර්ථික පීඩනයකිනි. උදේ නැගිට්ට වේලේ පටන් රෑ නින්දට යන තෙක්ම ඔවුන් මුහුණදෙන්නේ දැඩි දුෂ්කරතාවලටය. හැමදාම භාණ්ඩ හා සේවා මිල ගාස්තු වැඩිවෙයි. වැඩි මුදලක් ගෙව්වත් බස් රියකින් ගමනාන්තයට යාමට පැය ගණන් ගතවෙයි. වෙලාවට දුවන කෝච්චිවලට වඩා ප්‍රමාද වී දුවන කෝච්චි වැඩිය. කන්න බොන්න ගියත් බඩු ගන්න ගියත් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටුවෙන බව දන්නා ජනතාව තම පර්ස් එළියට අදින්නේ කිහිප වරක් සිතා බැලීමෙන් පසුවය. එහෙත් පාලකයන්ට නම් මේ ගැන වගක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

අද ජනතාවට තිබෙන ගැටලුව පොලිස්පතිද, රෝ එකද, සභාග ආණ්ඩුවද, මතගැටුම්ද නොවේ. එදිනෙදා ජීවත් වීමේදී ඔවුන් මුහුණදෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නේ කෙසේද? යන්නය. තරැණයන්ට රුකියා අවශ්‍යය. ජීවත් වීමට නිවාස අවශ්‍යය. කෑමට බීමට ප්‍රමාණවත් ආදායමක් තිබිය යුතුය. ලෙඩට දුකට බෙහෙත් ගන්න, හැකිනම් රෝහල් ගතවීමට පහසුකම් අවශ්‍යය. තමන් ඡන්දය දී පත්කරගත් ආණ්ඩුවෙන් මේ කිසිවක් ඉටුනොවන විට ජනතාව අසහනයට පත්වීම බලාපොරොත්තු විය යුතුය. ආණ්ඩුවට ඡන්දය දුන් සහ නුදුන් සියලු දෙනාගේ අවශ්‍යතා ආණ්ඩුව මගින් හැකි තරම් දුරට සම්පූර්ණ කර දිය යුතු වුවද ඒ සියල්ල පසෙක තබා දේශපාලන පොරපිටියේ ගුස්ති ඇල්ලීමට පටන්ගැනීම ජනතාවගේ බලවත් අකැමැත්තට හේතුවෙමින් තිබේ. අද ජනතාවට සිදුවී තිබෙන්නේ ආණ්ඩුවේ ඉහළ තැන්වල සිදුකෙරෙන අංගම්පොර සටනේ ප්‍රේක්ෂකයන් බවට පත්වීමටය. සහතිකවම එය මේ යහපාලන - සම්මුතිවාදී - ජාතික ආණ්ඩුවෙන් ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නම් නොවේ.

ජනතාවගේ ප්‍රශ්නවලට වඩා තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ආණ්ඩුව ක්‍රියා කරන අතර ඒකාබද්ධය ඇතුළු විපක්ෂ කණ්ඩායම්වලින්ද සිදුවන්නේ කල දුටු කල වළ ඉහගැනීමේ ක්‍රියාවලියක් බවත් පෙනෙන්නට තිබේ. රටේ ජනතාව මුහුණදී සිටින පීඩාකාරී තත්ත්වය ආණ්ඩුවට පෙන්වාදීමේ වැඩපිළිවෙළකට යනවා වෙනුවට ඔවුන් වඩාත් උනන්දු වී සිටින්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා, අලුතින් හදාගත් පක්ෂයේ අනාගතය හදාගැනීම වැනි තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට බව පෙනේ. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම මේ ආකාරයට වැඩේ අච්චාරැවක් බවට පත් කරගෙන සිටින විට මහජනතාවට සිදුවන්නේ එම අච්චාරුවේම ගස්ලබු කෑලි බවට පත්වී සිටීම පමණි.