2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

මූල්‍ය අරමුදලට මංගලගෙන් පණිවුඩයක්

මේ දවස්වල රටේ වඩාත්ම කතාබහට ලක්වන ඇමැතිවරයා වී සිටින්නේ මුදල් හා ජනමාධ්‍ය ඇමැති සමරවීර මහතාය. තෙල් මිල සූත්‍රය, දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම සහ ළඟ ළඟම එන අයවැය මංගල ගැන කතා කිරීමට මාතෘකා සපයයි. එසේම රට මුහුණ දී සිටින අධික ණය කන්දරාව ද මුදල් ඇමැති වශයෙන් මංගල වරින්වර උත්තර සැපයිය යුතු ගැටලුවකි.

මේ අතර අන්තර් ජාතික මූල්‍ය අරමුදල් සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාවට යාමට පෙර මංගල මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ අධික ණය බරින් පීඩා විඳින රටවලට එම බරට ඔරොත්තු දී එයින් ගොඩ යා හැකි ප්‍රතිසංස්කරණ හඳුන්වා දී එම රටවලට උදව් කිරීමට ජ්‍යාතන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන භූමිකාවක් ඉටු කළ යුතු බවය. මෙහිදී විශාල වශයෙන් රටෙන් පිටට ඇදී යන අරමුදල් නවත්වා ගැනීම සඳහා වඩාත් හොඳ ජාත්‍යන්තර බදු සහයෝගිතාවක් වෙනුවෙන් අපි තදින්ම පෙනී සිටිනවා යැයිද ඇමැතිවරයා කියයි.

අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණේ සංවර්ධිත රටවල් 24 කණ්ඩායමේ රැස්වීමේ සභාපති වශයෙන් මුදල් ඇමැතිවරයා එම හමුවට සහභාගී වන බවය. මෙම කණ්ඩායම ගෝලීය ආර්ථිකයේ සැලකිල්ලට ගතයුතු කරැණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධානවලට ක්‍රියාකාරීව බලපෑම් කරයි.

අධික ණය බර නැගී එන එක් රටකට සීමා නොවූවක් බවත් ඉතාලිය, ජපානය සහ අමෙරිකාව වැනි සංවර්ධිත රටවල් ද අධික ණයබර සහිත බවත් පවසන මුදල් ඇමැතිවරයා එහෙත් එම රටවලට ඉහළ ආදායම් සහ ගැඹුරට විහිදුණු මුදල් වෙළෙඳපොළක් තිබීම හේතුවෙන් ඔවුන්ට ගොඩ ඒමට තිබෙන අවස්ථා විශාල බවද කියයි.

- ඩේලිමිරර්

ජනපතිගේ කාටාර් ඡායාරූප: ප්‍රශ්න කිරීමට ඇමැතිවරයකුගේ නිලධාරියකු ගනියි

වත්මන් රජයේ බලවත් ඇමැතිවරයකුට සමීප නිලධාරියකු ප්‍රශ්න කිරීම සඳහා සී.අයි.ඩී.ය මඟින් ඉකුත් සතියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීම සඳහා ගිය දූත පිරිසේ සාමාජිකයෙක් වුවද ඔහුගේ නම නිල වශයෙන් සඳහන්ව නොතිබිණි. ඔහු කැටුව ගොස් තිබුණේ අදාළ ඇමැතිවරයා විසිනි.

අදාළ සිද්ධියට මුල පිරුණේ ජනාධිපති සිරිසේන මහතා තමාගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ඡායාරූප ශ්‍රී ලංකාව තුළ තහනම් වෙබ් අඩවියක පළ වී තිබෙනු දැකීමෙනි. ඔවුන් සියලු දෙනා අමෙරිකා යන ගමනේදී කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රුඳී සිටියදී එම ඡායාරෑපගත කිරීම සිදුව තිබිණි. හිටපු ගුරුවරයකු සහ ඉඩකඩම් අලෙවිකරැවකු වන කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කළ ජනාධිපතිවරයා ගුවන් තොටුපොළේදී තමන්ගේ ඡායාරූප ගත්තේ කවුරුදැයි වහාම සොයා බලන ලෙස දැනුම් දුන් අතර මේ ගැන විමර්ශනය කරන්නැයි සී.අයි.ඩී.යට ද නියෝග කළේය.

රජයේ ආරංචි මාර්ග පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප මිතුරකු වන තානාපති ඒ. එස්. පී. ලියනගේ මහතා ගුවන් තොටුපොළේ ආරක්ෂක කැමරා පද්ධතිය පෞද්ගලිකවම පරික්ෂා කර ඡායාරෑප ගත් තැනැත්තා හඳුනාගත් බවය. එම නිලධාරියා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අවසන් වීමෙන් පසුවද අමෙරිකාවේ රුඳී සිටි අතර ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ ඊළඟ සතියේය.

මේ අතර ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවියක පළවූ ඡායාරෑපයක දැක්වී තිබුණේ තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා හමාඩ් ගැන ගුවන් තොටුපොළේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතුන් දෙදෙනා වන යෝෂිත සහ රෝහිත දෙදෙනා පිළිගැනීමට ගිය බවත් පිළිගැනීමෙන් අනතුරැව ඒ දෙදෙනාගේ ගමන් බෑග් කිහිපයක් උස්සාගෙන යන ආකාරයත්ය. යෝෂිත සහ රෝහිත පැමිණි සිටියේ රගර් කණ්ඩායමක් නියෝජනය කරමිනි.

- සන්ඩේ ටයිම්ස් 

යූ. එන්. පීයේ සැකයට හේතු

මහින්ද සහ මෛත්‍රී හමුවෙන් පසුව පැතිරී ගිය ආරංචිවලින් වඩාත්ම කලබල වූයේ ආණ්ඩුවේ යූ. එන්. පී. පාර්ශවයයි. යූ. එන්. පී. මන්ත්‍රීන් පිරිසක් බියට පත්ව සිටියේ පවතින වාතාවරණය අනුව තමන්ගේ ආණ්ඩුව අහිමි වනු ඇතැයි යනුවෙනි. එයට හේතු ගණනාවක්ම තිබිණි. එයන් පළමුවැන්න ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අතර වර්ධනය වෙමින් පවතින විරසක භාවයයි. එවැනි වාතාවරණයකදී වත්මන් සහ හිටපු ජනපතිවරුන් අතර කුමන් ආකාරයක සංවාදයක් හට ගත්තත් එයින් නව දේශපාලන පෙළගැස්මක් ඇති වී තමන්ට ඉක්මනින්ම ආණ්ඩු බලය අහිමි වනු ඇතැයි ඔවුන්ට දැනෙන්න ඇත.

යූ.එන්.පී. පසුපෙළ වෙනුවෙන් කුරැණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන තමන්ට 113 සාදා ගැනීමට අවශ්‍ය වන මන්ත්‍රීවරුන් හයදෙනා ශ්‍රී.ල.නි.පයෙන් ලබාගන්නා බව වහාම ප්‍රකාශ කළේ මේ සැක සංකා දුරු කිරීම සඳහාය.

නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ජයමහ යූ.එන්.පීය වෙනුවෙන් නිරතුරුව මාධ්‍ය සාකච්ඡා පවත්වන මන්ත්‍රීවරයකු වන අතර ඔහු ප්‍රකාශකර තිබුණේ 2015 ජනාධිපතිවරණයේදී තමන්ට එරෙහිව කටයුතු කළ මන්ත්‍රීවරැන් පිරිසක් කෙරෙහි ජනාධිපති විශ්වාසය තබනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා ඡන්දවලට පෙර ජනාධිපතිවරයා තමන් ඉවත් කොට නව රජයක් පිහිටුවන ඇති බවට වන යූ.එන්.පී.යේ සැකය මේ කතාවලින් හෙළි විය.

- ඩේලි මිරර්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00