2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

විහිළු වැඩවර්ජන

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන විහිළුවක් තරම් වන සිල්ලර මට්ටමට වැටී තිබෙන බව ගාල්ල කරාපිටියේ රෝහලේ පසුගියදා ඇතිවූ සිද්ධියක් මගින් පෙන්වා දී තිබේ. එම රෝහලේ රථගාලේ ප්‍රශ්නයකට අසරණ රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව කටයුතු කර තිබිණි. සංගමය මගින් එය කෙසේ හෝ සාධාරණීකරණය කරනු බවට සැකයක් නැතත් එය පිළිගන්නා කෙනකු නම් රටේ නැත.

සිද්ධියට හේතුපාදක වී තිබෙන්නේ වෛද්‍ය වෘත්තියේ ආචාරධර්ම බිඳවැටීමක්, ජාත්‍යන්තර ගිවිසුම් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් අහිමිවීමක්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම වැනි බරපතළ ගැටලුවක් නොව වාට්ටුභාර වෛද්‍යවරුන් දෙදෙනකු සහ විශේෂඥ වෛද්‍යවරයකු අතර ඇතිවූ වාහන ගාල්කිරීම පිළිබඳ සරල ගැටලුවකි. හරියටම කිව්වොත් වෛද්‍යවරුන්ගේ රථගාලේ විශේෂඥ වෛද්‍යවරුන් මෝටර් රථ ගාල්කරන ස්ථානයේ වෙනත් වෛද්‍යවරැන් දෙදෙනකු තමන්ගේ මෝටර් රථ නවතා තිබීමත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට විශේෂඥ වෛද්‍යවරයා විසින් දොස් පවරනු ලැබීමත්ය. මේ බැණවැදීම හේතුවෙන් කරාපිටිය රෝහල පසුගිය බදාදා (10) උදෑසන 10 සිට සවස 4.00 දක්වා අකර්මණ්‍ය විය. ඈත පළාත්වලින් පවා සායනවලට පැමිණ සිටි රෝගීන්ටද බාහිර රෝගී අංශයට පැමිණ සිටි රෝගීන්ටද යාමට සිදුවූයේ හිස් අතිනි. ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන්ටද ඒවා නොලැබිණි.

ගමේ නගරයේ කොලුකුරැට්ටන්ගේ භාෂාවෙන් කියනවා නම් මෙය මයිනර් මැටර් එකකි. ඒ මයිනර් මැටර් එක රෝගීන් සිය ගණනකගේ ප්‍රාණය සමඟ කළ ගනුදෙනුවක් බවට හරවාගත් වෛද්‍යවරැන් සම්බන්ධයෙන් අපට නම් ඇත්තේ ලජ්ජාවකි. මෙවැනි පුංචි බහින් බස්වීමක් සංකේත වැඩවර්ජනයකින් තොරව විසඳාගත නොහැකි නම් එවැනි වෛද්‍යවරුන්ගේ උපාධි සහතික ගැනද අපට පහළ වන්නේ සැකයකි. මොවුහු වෛද්‍ය වෘත්තීයේ ශ්‍රේෂ්ඨත්වයට, ගෞරවයට සුදුසුකම් ලබන්නෝද යන ගැටලුවද ඒ සමඟ අපට මතුවෙයි.

වැඩවර්ජනයට සහභාගි වූ වෛද්‍යවරැන් වෙනුවෙන් කරැණු දක්වා තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සමලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මාධ්‍යයට කළ ප්‍රකාශයක සඳහන් වූ එක් කරැණක් වූයේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ තීරණයක් මත සෙසු වෛද්‍යවරුන්ට එම ස්ථානයේ වාහන නතර කිරීමට ඉඩ නොදෙන බවය. ඒ අතර විශේෂඥ වෛද්‍යවරැන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසේකරගේ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ එතැන සිදුවූයේ බැණවැදීමක් නොව ඉල්ලීමක් කිරීම පමණක් බවත් තමන්ට මේ රථගාල ලබාදෙන බවට රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිත පොරොන්දුවක් ලබාදී තිබෙන බවත්ය. මේ සංගම් දෙකම ඉදිරියේදී රුස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු ගන්නා බවද ප්‍රකාශ කර තිබිණි. දැන් අපට අසන්නට ඇත්තේ මෙවැනි පුංචි මතගැටුමකට අහිංසක රෝගීන් පළිද කියාය. එය රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගැනීමට තරම් ලොකු සිද්ධියක් බවට පෙරළාගැනීමට වෛද්‍යවරැන්ට තිබෙන අයිතිය කුමක්ද කියාය. රථවාහන ගාල්කිරීමේ වැනි පුංචි ප්‍රශ්නයක් හෝ වැඩවර්ජනයකින් තොරව විසඳාගත නොහැකි වෛද්‍ය නිලධාරී සංගමය සයිටම් ගැටලුව වසරක් තිස්සේ ඇදගෙන යාම පිළිබඳව එක අතකින් පුදුම විය යුතු නැත.

ගාල්ල කරාපිටිය රෝහලේ සායනවලට සහභාගි වීමට එදින ඈත පළාත්වල සිට පැමිණි රෝගීන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම හේතුවෙන් පත්වූ අසරණ තත්ත්වය වචන කිහිපයකින් විස්තර කළ නොහැක. ඔවුන් තව අතිරේක දිනයක පැමිණිය යුතු වන අතර ඒ සඳහා යන වියහියදම් ලබාදෙන්නේ දොස්තරවරැන්ගේ බූදලයෙන් නොවේ. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන්නේ පෞද්ගලික රෝහල් කරා යොමුවිය නොහැකි පහළ ආර්ථික මට්ටමක සිටින පිරිස් බව කිවයුතු නැත. ඔවුන්ට සායන දිනයක් මගහැරීම ඇතැම්විට පිරිමැසිය නොහැකි පාඩුවකි. බලාපොරොත්තු කඩවීමකි. ඒ ගැන වෛද්‍යවරැන්ට යන්තම් හෝ හැඟීමක් හෝ දැනීමක් තිබේ නම් මෙවැනි නිර්ලජ්ජිත වැඩවර්ජනවලට ඔවුන් යොමුනොවනු ඇතිබව අපගේ වැටහීමය.

මෙහිදී පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ සාධාරණ හේතූන් පදනම් කරගනිමින් සිදුකෙරෙන වැඩවර්ජන සහ උද්ඝෝෂණ අයිතියට අප විරුද්ධ නොවන බවය. එහෙත් එම අයිතිය ක්‍රියාත්මක කළ යුත්තේ තමන්ගේ වෘත්තීයේ අභිමානයට, ගෞරවයට හානියක් නොවන පරිදි බව ඒ සමඟ පෙන්වාදිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මේ රටේ වෛද්‍ය වෘත්තීය, වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරැන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිට විවිධ ජයග්‍රහණ ලබාදී ඇති වැදගත් වෘත්තීය සමිතියක් වශයෙන් අපි දකිමු. එහෙත් කුඩා දරුවන් සෙල්ලම් බඩුවකට රණ්ඩු කරගන්නා ආකාරයේ හැසිරීමක් අපි උගත් වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු නොවෙමු. හදිසියෙන් හෝ කිසියම් බහින් බස්වීමක් සිදුවුවත් එය වැඩවර්ජනයක් දක්වා ගෙන ගොස් යකා නැටීමක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවද කියමු. එවැනි තුට්ටු දෙකේ වැඩවර්ජනවලින් සිදුවන්නේ වෛද්‍ය වෘත්තීයේ ගෞරවයත් වැඩවර්ජන අයිතියේ අභිමානයත් දෙකම අහෝසිකර්මයට යාමය.