2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

අගමැති ව්‍යාපාරිකයකුට බැණ වදියි

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආර්ථික සභා රැස්වීමේදි කෝපයට පත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට බැණ වැදුණු බවත් එම තත්ත්වය සමනය වූයේ ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් බවත් රුස්වීම එම අවස්ථාවේදී අත්හිටුවනු ලැබූ අතර පසු රැස්වීම යළි ආරම්භ කෙරුණු බවත් සඳහන් වේ.

මේ බව හෙළිකරමින් ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඩී.එස්.අයි. සමාගම් සමූහයේ සභාපති ආචාර්ය සැම්සන් රාජපක්ෂ එහිදී පළකළ අදහස් අගමැතිවරයාගේ නොකැමැත්තට හේතු වූ බවය. සැම්සන් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබුණේ තමන් දැන් සපත්තු ඇතුළු සම්භාණ්ඩ නිෂ්පාදන චීනයෙන් ආනයනය කරන බවය. එහිදී අගමැතිවරයා මේ මිනිහාත් රාජපක්ෂ කෙනෙක්නෙ යනුවෙන් ප්‍රකාශ කර ආචාර්ය රාජපක්ෂට වරද පැටවූ බවත් මේ අවස්ථාවේදී රැස්වීම අත්හිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඔවුන් වෙනම හමුවීමට පියවර ගත් බවත් දිසානායක මහතා සඳහන් කළේය.

ශ්‍රීලනිපයෙන් බෙදී ගිය කණ්ඩායමේ සතිපතා මාධ්‍ය සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා (04) පැවැති අවස්ථාවේදී එස්.බී. මේ කරුණු හෙළි කළේය. යූ.එන්.පී.යේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සකස්කොට ක්‍රියාත්මක කරනු ලබන්නේ මලික්, පාස්කරලිංගම් සහ චරිත යන ත්‍රිමූර්තිය විසින් බවත් මේ ප්‍රතිපත්ති අද රටට නොගැලපෙන බවත් ආර්ථිකය කඩා වැටීමට ඒවා හේතු වූ බවත් එස්.බී. දිසානායක මහතා කීය.

ජාතික ආර්ථිකය බිඳවැටීම, රුපියල පාලනයකින් තොරව අවප්‍රමාණ වීම, තෙල් මිල දිගටම වැඩිවීම සහ ඊට අදාළව අනෙකුත් භාණ්ඩ හා සේවා මිල වැඩිවීම මොවුන්ගේ ප්‍රතිපත්තිවල ඍජු ප්‍රතිඵලයක් බවට කිසිම සැකයකින් තොරව සඳහන් කළ හැකියි යැයිද ඔහු සඳහන් කළේය.

- ඩේලි මිරර්

බන්දුල කියන ජනපතිවරණය කලින් තැබූ හේතුව

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය කලින් තැබීමට ගනු ලැබූ තීන්දුවට හේතු පාදක වූ සැබෑ කරැණ කුමක්දැයි කෙදිනකවත් පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි. තම ධුර කාලය නිමවීමට වසර දෙකකට පෙර 2015 වසරේදී ජනාධිපතිවරණය පැවැත්විණි.

මේ තීන්දුව ගෙන දැන් හරියටම වසර හතරකි. නොයෙකුත් මත මේ සම්බන්ධයෙන් ප්‍රකාශ වී තිබෙන අතර හිටපු ජනපතිගේ දෛවඥයාගේ උපදෙස් මත මේ තීන්දුව ගනු ලැබූ බවට වන මතය ඒ අතරින් වඩාත්ම ජනප්‍රියය. තවත් මතයක් වූයේ රටේ ඇතිවෙමින් තිබූ ආර්ථික අර්බුදය හිටපු ජනපතිවරයා මේ තීන්දුව ගැනීමට බලපෑම් කර ඇති බවය.

එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන වෙනස් මතයක් දරයි. මෑතකදී ජපානයේ සංචාරයක යෙදුණු අවස්ථාවේ එහි සිටි ශ්‍රී ලාංකිකයන් හමුවකදී බන්දුල මෙසේ කියා තිබිණි.

&හිටපු ජනාධිපතිවරයා 2014 අවසානය වනවිට සිටියේ ශක්තිමත් තත්ත්වයක. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ලවෙමින් තිබූ වකවානුවයි ඒ. හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ වඩාත් ශක්තිමත් ජනවරමක් ලබාගෙන ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක් දෙන්න තමන්ට රටේ මහජනතාවගේ සහාය තිබෙන නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතු බවට.

- සන්ටේ ටයිම්ස්

 ඉන්දියාවෙත් රුපියල බසී

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග ඉන්දියාවේ රැපියල පසුගිය බ්‍රහස්පතින්දා (04) වාර්තාගත අන්දමින් පහළ බැස්සේය. මේ නිසා සිකුරාදා (05) වනවිට ඉන්දීය සංචිත බැංකුව එරට පොලී අනුපාතය ඉහළ දමනු ඇති බවට කතා පැතිරිණි. ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීය රුපියල ඩොලරයට සාපේක්ෂව 73.8 දක්වා ඉහළ ගිය අතර එය සිකුරාදා (05) වනවිට 73.62ක පමණ රැඳී තිබිණි.

පාකිස්තාන රැපියලටද එල්ල වෙමින් පවතින පීඩනය වැඩිවීම හේතුවෙන් මේ වසර තුළදී පස්වැනි වතාවටත් රැපියල අවප්‍රමාණය කිරීම එරට මහ බැංකුව තීන්දු කළ බව පසුගිය බදාදා (03) වාර්තා විය. පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා පාකිස්තානු රුපියල 20%කින් පහළ බැස තිබේ. එරට විවෘත වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 127.50ක් වන අතර බැංකුවල 124.20කි. මේ අතර එරට මහබැංකුවට පසුගිය සතියේදී පොලී අනුපාතය 8.5%කින් ඉහළ දැමුවද එය රැපියල අවප්‍රමාණයවීම වළක්වා ගැනීමට අපොහොසත් වූ බවද පැවසේ.

- රොයිටර්ස්