2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

රුපියලේ හදිය

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක පැටලී සිටී. මේ බව සැඟවීමට හැකියාවක් නැත. ඒ තරමට වැඩේ කුරුවල් වෙමින් තිබේ. කාලයක් තිස්සේම මේ කඩාවැටීම පිළිබඳ දැල්වෙමින් තිබූ කහ එළි ගැන කිසිම තැකීමක් නොකර සිටි ආණ්ඩුව දැන් ඉන්නේ රතු එළිය අභියස නැවතිලාය. ඉදිරියට යාමට කොළ එළිය දැල්වීමක් ගැන සිතන්නට තරම් හෝ අවකාශයක් නැත. ආර්ථික පීඩනයේ දඬුඅඬුවට රටම හසුවෙමින් සිටින බවත් එයින් ගැලවීමට එක එල්ලේ තීරණ ගත නොහැකි තැනකට රටම තල්ලු වෙමින් සිටින බවත් පෙනෙන්නට තිබෙන යථාර්ථයයි.

මේ ආර්ථික ආගාධයේ වැටී සිටින්නේ ශ්‍රී ලංකාව පමණක් නොවන බව සැබෑවකි. එහෙත් එවැනි අර්බුදයකට මුහුණ දීමට පූර්ව සූදානමක නොසිටීමේ පල විපාක අද රටටම දැනෙමින් තිබේ. රටේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුළුමනින්ම පාහේ ආනයනය මත රැඳී සිටින ශ්‍රී ලංකාව වැනි රටක් ලෝකයේ ඇතිවෙන ආර්ථික ප්‍රවණතා ගැන ඉහළම අවධානයකින් කටයුතු කිරීම අවශ්‍යය. එසේ විමසිලිමත්ව කටයුතු නොකිරීමේ ආදීනවවලට අද රටත් ජනතාවත් මුහුණ දෙමින් සිටිති. ආණ්ඩුව දෙසට මෙහිදී චෝදනා එල්ල වීම වැළැක්විය නොහැක.

අමෙරිකානු ඩොලරය විසින් මුළු ලොවේම ආර්ථිකය තම අණසකට යට කර ගනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය ඇරුඹූදා පටන් පෙනෙන්නට තිබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් දුර දක්නා නුවණකින් කටයුතු කිරීමට ආණ්ඩුව අපොහොසත් විය. ලොවේ වෙනත් රටවල් කෙසේ වෙතත් ආසියාවේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණ දීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබූ බවත් ඒ හේතුවෙන් ඩොලරය මඟින් ඇති කරන තෙරපුමට එම රටවල් වඩාත් පහසුවෙන් මුහුණ දෙන බවත් පෙනෙන්නට තිබේ. ඉන්දියාව සහ බංගලාදේශය මීට ආසන්නම උදාහරණය වෙයි. එම දෙරටේම ආර්ථික අර්බුද පැවතුණ ද අපට වඩා යහපත් මට්ටමකින් එය කළමනාකරණය කර ගැනීමට එම ආණ්ඩුවලට හැකිව තිබේ. තම රට තුළ නිෂ්පාදනය සහ අපනයනය ඉහළ නැංවීම තුළින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම හරහා ගනු ලැබූ යම් යම් පියවර මඟින් ඩොලරයේ පීඩනයට ඔරොත්තු දීමට එම දෙරටම ක්‍රියා කර තිබේ.

එහෙත් ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්ය. ඩොලරයේ පීඩනය අපේ රටේ ආර්ථික දේහයේ බොක්කටම වැදෙමින් තිබේ. එසේ නොවන්නට අල්පෙනෙත්තේ පටන් කාර් එක දක්වාම මේ ආකාරයට බදු ග්‍රහණයට යටවෙන්නේ නැත. පසුගිය සතිය තුළ ආණ්ඩුව ගනු ලැබූ එක් තීරණයක් වූයේ මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතින තරමට බදු පැනවීමය. එසේම ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් නිකුත් කිරීම මාස හයකට නැවැත්වීම ද තවත් තීරණයකි. නමුත් මෙහිදී පෙන්වා දිය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ මේ පර්මිට් භාවිතා කර අවසාන බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින්නේ 225ක් වුවද 227ක්ම පර්මිට් භාවිත කර තිබේ. මේ අතුරින් 100 දෙනකු පමණ එම පර්මිට් හෝ එමඟින් ගෙන්වාගත් වාහන අලෙවි කර විශාල ආදායමක් ලබාගෙන ඇති බවත් ප්‍රසිද්ධ රහසකි. දැනට මේ තහංචිය බලපාන්නේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ රජයේ ඉහළ නිලධාරීන්ට පමණි. මන්ත්‍රීවරුන්ට ලොකු හැන්දෙන් බෙදා ඇති බව හොඳින්ම පැහැදිලිය.

අලුත් අධි සුඛෝපභෝගී වාහන රට තුළට ගෙන්වීම පාලනය කිරීම යහපත් පියවරකි. එහෙත් මෙය සිදු කළ යුතුව තිබුණේ අප මුලින් සඳහන් කළාක් මෙන් ආර්ථික පීඩනයේ කහ එළි දැල්වෙමින් තිබූ අවස්ථාවේදීය. එසේ සිදු නොකර පීඩනය බෙල්ල මුලටම හිර වී රතු එළි දැල්වීමේදී එය සිදු කිරීම අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමකි. අනෙක් අතට වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන ඉහළ බද්ද රජයට විශාල ආදායම් මාර්ගයකි. මේ අනුව රටින් එළියට ඩොලර් ඇදී යාම වැළැක්වීමට වාහන ගෙන්වීම නවත්වා දමන විට එය තව අතකින් එය ආණ්ඩුවේ එක් ආදායම් මාර්ගයක් වසා ගැනීමක් බවත් කිව යුතුය.

රට මේ තරම් ආර්ථික පීඩනයකට පත්ව සිටින්නේ රාජපක්ෂ පාලන යුගයේදී ලබාගන්නා ලද අධික ණය හේතුවෙන් බව ආණ්ඩුව දිගින් දිගටම නගන චෝදනාව වී තිබේ. විදෙස් රටවලින් පහසු පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමට වඩා වෙනත් වාසි සහ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඩොලර් බැඳුම්කර හරහා ලබාගන්නා ලද අධික පොලී ණය මේ තත්ත්වයට වග කිවයුතු බව පසුගිය දා අග්‍රාමාත්‍යවරයා ද ප්‍රකාශ කර තිබිණි. එහෙත් පසුගිය රජයට දොස් පැවරීමෙන් ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැත. වත්මන් ආණ්ඩුව බලයට පත්කරනු ලැබූවේ රාජපක්ෂ රජය යටතේ සිදු වූ වැරැදි නිවැරදි කර ගැනීමටයි. නමුත් වසර තුනහමාරක් ගතවීමෙන් පසුවත් පසුගිය ආණ්ඩුවට දොස් පැවරීම මඟින් පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවටත් ආර්ථික ගැටලුවලට විසඳුමක් නොමැති බවය. විසඳුම් සෙවීමේදී ආණ්ඩුව ෆේල් බවය.

ආනයනය මත පදනම්ව ඇති රටක අපනයනය දුර්වල වීම රුපියල දරුණු ලෙස කඩාවැටීමට එක් ප්‍රධාන හේතුවකි. එම තත්ත්වය තවදුරටත් බරපතළ වීම වළක්වා ගැනීමට රටට ගෙන්වන භාණ්ඩ සඳහා අධික බදු පැනවීම හේතුවෙන් ජංගම දුරකථනවල පටන් ශීතකරණ දක්වා භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාමට නියමිතය. මේ තත්ත්වයට කොතරම් කාලයක් ජනතාව ඔරොත්තු දේද යන්න ගැන ආණ්ඩුව පැහැදිලි තක්සේරුවක සිටිය යුතු බව අපගේ විශ්වාසයයි.