2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ජනපතිගේ ඉල්ලීම

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි රාජ්‍ය සමුළුව ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ශ්‍රී ලංකාවටම විසදාගැනීමට අවකාශ සලසා දෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. අපේ රටේ ඉදිරි ගමනට බාධා සිදුවන ආකාරයේ අනවශ්‍ය බලපෑම් හෝ තර්ජන සිදුනොකරන්නැයිද ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවට කියා තිබිණි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද අමෙරිකාව උතුම් කතාවත් සෙසු රාජ්‍ය නායකයන් කිහිපදෙනකුගේ සිනහවට ඔහු ලක්වීමත් හේතුවෙන් මෙවර රාජ්‍ය නායක සමුළුව උණුසුම් වුවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ මේ ඉල්ලීම කෙරෙහිද ප්‍රමාණවත් තරම් අවධානයක් රාජ්‍ය නායකයන් විසින් යොමුකරන්නට ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එ.ජා.න්ගේ රාජ්‍ය නායක සමුළුවත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසියත් වාර්ෂිකව ක්‍රියාත්මක වනවිට ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළම සිටියේ වාසිදායක තැනක නොවේ. පසුගිය රජයේ පාලනය අවසන් වීමෙන් පසුව එම තත්ත්වය යහපත් අතට හැරුණත් වරින්වර සිදුවන ජාත්‍යන්තරයේ අතපෙවීම් ශ්‍රී ලංකාව අසීරැ තත්ත්වයකට පත් කරන බව රහසක් නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතා කර ඇත්තේ එම තත්ත්වය සම්බන්ධයෙනි. දැනට වඩා යථාර්ථවාදීව ශ්‍රී ලංකාව දෙස බලන්නැයි වන ඉල්ලීමක් එම කතාවේ ගැබ්ව තිබිණි.

තම කතාවේදී මෙරට ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට තමන්ගේ උපරිම ගෞරවය පුදකරන බවට රාජ්‍ය නායක සමුළුවේදී ප්‍රකාශ කිරීමද ඉතා වැදගත් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු. ලෝකයේ ඇතැම් බලවත් රටවල් ශ්‍රී ලංකාවේ හමුදා විසින් ඔවුන්ගේ රටවල හමුදාවලට පවා කරගත නොහැකි වූ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් කළ නිර්භීත හමුදාවක් බව පහසුවෙන් අමතක කර තිබෙන බව පළවූයේ වරක් දෙවරක් නොවේ. යුද්ධයකදී වැරදීම් සිදුවීමට ඉඩ තිබෙන බව නොදන්නා රාජ්‍ය නායකයකු සිටිය නොහැක. විශේෂයෙන්ම මිනිස් ජීවිත දූවිල්ලක් තරමට හෝ නොසැලකූ ලොවේ දරුණුම ත්‍රස්ත කණ්ඩායම යුද්ධයෙන් පරාජය කිරීමේදී ගනු ලබන ක්‍රියාමාර්ග අතරතුර වැරැද්දක් දෙකක් සිදුවීමට ඉඩ ඇතිබව සැඟවිය නොහැක. එහෙත් එම වැරදි පමණක් හුවා දක්වමින් ත්‍රිවිධ හමුදාව ජිනීවා දංගෙඩියට ගෙන යාමට තැත් කරන රාජ්‍ය නායකයන් සිටී නම් මේ කතාව ඔවුන්ට යථාර්ථය වටහාදීමට දැරෑ හොඳ උත්සාහයක් බව කිව යුතුය.

ජනාධිපතිවරයා එහිදී ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැගීසිටීමට උදව් කරන්නැයිද ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළේ තම රටට දැන් සතුරන් නැති බවද කියමිනි. එම ඉල්ලීම කරද්දී සිරිසේන මහතා ශ්‍රී ලංකාව තුළ රජය මගින් සාමය සහ සංහිඳියාව දිරිමත් කරමින් ජනතාව අතර සැකය, බිය සහ අවිශ්වාසය දුරුකිරීමට ගෙන යන වැඩපිළිවෙළ ගැනද ජාත්‍යන්තරයේ අවධානය යොමු කළේය. මෙය එක් අතකින් රජය ගෙන යන සංහිඳියා වැඩපිළිවෙළ ගැන ජාත්‍යන්තර ප්‍රජාව තුළ බලවත් හැඟීමක් ඇති කිරීමකි. එය සාර්ථක කරගත හැකි නම් ජාත්‍යන්තරයෙන් සිදුවන අනවශ්‍ය බලපෑම්වලට නිසැකවම එය හොඳ පිළිතුරක් වනු ඇත.

එසේම මෙහිදී පෙන්වාදිය යුත්තේ රට තුළ ඇතිකෙරෙන ප්‍රතිසංස්කරණ සියල්ලද විනිවිදභාවයකින් යුතුව සිදුවීම අවශ්‍ය බවය. ආර්ථික හෝ සංහිඳියා හෝ ජාත්‍යන්තර ගිවිසුම් හෝ සිදුවන්නේ ජනතාවට හොරෙන් නම් එය ජනතාව දකිනු ඇත්තේ තමන්ට කොළේ වසාගැහිල්ලක් ලෙසය. ඒ ගැන ඔවුන් සැකයෙන් බැලීම වැළැක්විය නොහැක. ජාත්‍යන්තරය ද ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට ලබාදී ඇති පොරොන්දුවල පාරදෘශ්‍යභාවය දිය වී යන ආකාරයට කටයුතු කරන විට ඒවා ගැන සැක පහළ කිරීම බලාපොරොත්තු විය යුත්තකි. අපේ රටට කළ හැකි දේත් කළ නොහැකි දේත් තෝරාබේරාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ජාත්‍යන්තර අපල උපද්‍රව දුරුකරගත හැකිය. ඒ සඳහා රජයේ සියලු පාර්ශ්ව අතරේ අන්‍යොන්‍ය අවබෝධය ඉහළම මට්ටමකින් පවත්වා ගැනීම වැදගත් සාධකයක් බවද සඳහන් කරමු.

තමා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය බාරගන්නා විට එම ධූරයට තිබූ අධිරාජ්‍යයකුගේ බලතල ඉවත්කොට ඒවා පාර්ලිමේන්තුවට පවරාදුන් බවත් තම රජය යටතේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස කොට අධිකරණ ස්වාධීනත්වයද නිසි ලෙස ස්ථාපිත කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. මේ සියල්ල රටක ප්‍රජාතන්ත්‍රික රාමුව වඩාත් ශක්තිමත් කිරීමට ඉවහල් වන සාධනීය පියවර බවට විවාදයක් නැත. අවශ්‍ය වන්නේ ආණ්ඩුව මගින් රටේ ඒ ආකාරයට ඇතිකරන ලද සුබවාදී පියවරවල වාසිය ජනතාව අතරටද ගලා යාමට සැලැස්වීමය. රටේ ජනතාවට එවැනි ප්‍රතිසංස්කරණ සිදුවී ඇති බව ඇඟට දැනෙන්නේ එවිටය. ජනතාව තෘප්තිමත්ව සිටින රටකට අනවශ්‍ය බලපෑම් සිදුකිරීමට ජාත්‍යන්තර ප්‍රජාවද ඉක්මන් වන්නේ නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00