2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

යහපාලනයේ වංගු

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

ලංකාවේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් මුල්වරට වාර්තා වෙන්නේ 1962 වසරේ ජනවාරි 27 වැනිදාය. එහිදී කිසිම බරපතළ සිදුවීමක්, ආරක්ෂක හමුදා එහෙමෙහෙ රඳවා තැබීමක් නොසිදුවූ බවත් හරියට වෙලාවට ලැබුණු තොරතුරු හේතුවෙන් කුමන්ත්‍රණය අංකුර අවස්ථාවේදීම විනාශ කර දැමීමට හැකි වූ බවත් ඒ පිළිබඳව 2006 වසරේදී ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ලිපියක් පළකරමින් ප්‍රකාශ කර තිබුණි. සිද්ධියෙන් වසර 44කට පසුව ද එදා කුමන්ත්‍රණයට මග පෑදූ ඇතැම් දේශපාලන සිදුවීම්වල බලපෑම් තිබෙන බවද එම ලිපිය සඳහන් කරයි.

ඒ 1962යි. මේ 2018යි. යළිත් කුමන්ත්‍රණ කතාවක් රටේ දේශපාලන කරළිය හොල්ලා තිබේ. 62 කුමන්ත්‍රණයේ සැකකරුවන් අතර දේශපාලනඥයන්ගේ සෘජු සම්බන්ධයක් තිබුණේ නැත. ඉහළ සමාජයේ කිහිපදෙනකු විසින් කරන ලද කුමන්ත්‍රණයක් වශයෙන් හඳුන්වා දුන් එම කුමන්ත්‍රණ කතාවට පොලීසියේ සහ හමුදාවේ තනතුරු දැරූ කිහිපදෙනකුගේ නම් ද සඳහන් විය. මෙවර මතුවෙන කුමන්ත්‍රණ කතාවට ද දේශපාලනඥයන් දෙසට කෙළින්ම ඇඟිල්ල දිගු වන්නේ නැත. දැනට තිබෙන තොරතුරු අනුව ඩී.අයි.ජී.වරයකු මූලික වී කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බව කියයි. මේ කියන ඩී.අයි.ජී. නාලක ද සිල්වා ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නිලධාරියාය.

ජනාධිපතිවරයා පසුගිය සතියේ සිකුරාදා (14) පුවත්පත් කතුවරු හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නැගෙන චෝදනා ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවයි. පොලිස් විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා කියා තිබූ අතර පොලිස්පතිවරයා කැඳවා ඔහුගෙන් මේ ගැන තොරතුරු විමසූ බවත් සඳහන් කර තිබිණි.

ඉන්පසුව ඩී. අයි. ජී. නාලක පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට මාරු කර තිබූ අතර 19 වැනිදා වන විට ඔහු ජාතික පොලිස් කොමිසමේ තීරණය පරිදි අනිවාර්යය නිවාඩු යැව්වේය. ඉතාම තීරණාත්මක සාක්ෂියක් වන සිද්ධියට අදාළ හඬ පටය රස පරීක්ෂකට යොමු කර තිබෙන අතර ඉන්පසුව උසාවි නියෝගයක් ලබාගෙන එය සිංගප්පූරු විශේෂඥයන් වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබේ. මේ අතර පාර්ලිමේන්තුවේදී කුමන්ත්‍රණයේ උණුසුම පුපුරා ගියේ පසුගිය අඟහරුවාදා (18)ය.

ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ස්ථාවර නියෝග 26 (2) යටතේ මේ පිළිබඳ ප්‍රශ්නය සභාගත කරමින් ප්‍රකාශ කර තිබුණේ මේ ප්‍රශ්නය අගමැති වෙත ඉදිරිපත් කරන බවය. මෙය බරපතළ තත්ත්වයක් වශයෙන් තමන් සලකන බවද එම තොරතුරු පාර්ලිමේන්තුව හරහා දැනගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කීවේය.

දිනේෂ්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව උණුසුම් කළේ ඒ වනවිටත් සිද්ධිය ගැන හතරවටින්ම තොරතුරු එළියට ඇදී එමින් තිබූ බැවිනි. මෙහිදී රජය වෙනුවෙන් රන්ජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා පිළිතුර ඉදිරිපත් කළ අතර අදාළ පරීක්ෂණ සිදුකර ඉක්මන් පියවර ගන්නා බවත් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ආවේගශීලී කතා මැද අගමැති රනිල් ප්‍රකාශ කර තිබුණේ මේ ගැන විභාග කිරීමට තමා පොලිස්පතිට උපදෙස් දුන් බවය. ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ අවස්ථාවේ එතුමාගේ ආරක්ෂාව අයින් කළ බව කී අගමැතිවරයා ඒ අවස්ථාවේ කතා කළේ කවුදැයි ප්‍රශ්න කළේය.

දැන් මේ කුමන්ත්‍රණ කතාවේම තවත් අතුරු කතාවක් හැටියට පොලිස්පති පූජිත ජයසුන්දරගේ තනතුර අභියෝගයට ලක්වෙමින් තිබේ. මේ ගැන පාර්ලිමේන්තුවේදී කතාව ඇදුණු අවස්ථාවේ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ප්‍රකාශ කළේ ජනපති හෝ අගමැති හෝ පොලිස්පතිට අස්වෙන්නැයි නොකී බවය. නමුත් පොලිස්පති සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු කියා තිබිණි.

පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දී ඇති බවට විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කතාව මේ ප්‍රශ්න කිරීමට හේතු වී ඇතැයි පැහැදිලිය. කෙසේ වුවද කුමන්ත්‍රණ කතාවෙන් පසුව පොලිස්පති සම්බන්ධයෙන් කතාවක් ඇදී ඒමත් ඒ ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ආණ්ඩුව කිසියම් අසීරැ තැනකට ඇද දමා තිබෙන බව පැහැදිලිය. මේ කතා ඇදී ඒමෙන් පසුව හිල්ටන් හෝටලයේ පැවැති ඇගයීම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර සෘජු කතාබහක් සිදු නොවූ බවද සඳහන්ය. කුමන්ත්‍රණ කතාව යහපාලනයේ පදනම තුළ ඇතිකර තිබෙන විශාල දෙදරීම එයින් පෙන්නුම් කෙරේ.

ආණ්ඩුව ඇතුළත සිදුවන දෙදරීම කළමනාකරණය කරගන්නා ආකාරය මත ආණ්ඩුවේ ඉදිරි ගමන් මග රුඳී තිබේ. මේ තත්ත්වය මත ආණ්ඩුවට සහාය දෙන ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 23 දෙනා බරපතළ ගැටලුවකට මුහුණ දී සිටිති. ඔවුන් සියලු දෙනාම ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණ කතාවට සහාය පළකිරීම අවශ්‍යය. ඒ පිළිබඳ හැම අතින්ම සම්පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔවුන් බල කර සිටිනු ඇත. එහෙම වුණත් යූ.එන්.පී.යේ මන්ත්‍රීවරැන් මේ කුමන්ත්‍රණ කතාව දකින්නේ යූ.එන්.පීයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙසය. පොලීසියේ ඩී.අයි.ජී.වරයකු විසින් වෙනත් පිරිසකගේ උවමනාවට ගොඩනැගූ කතාවක් වශයෙන් ඔවුන් කතාව හඳුන්වා දෙනු ඇසිය හැක. කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති පරිදි සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී, පූර්ණ පරීක්ෂණයකින් පසුව මේ ගැන තවත් තොරතුරු හෙළිවීමට නියමිතය. මෙහිදී වැදගත්ම සාධකය වනු ඇත්තේ පොලිස් ඔත්තුකරුත් ඩී.අයි.ජී.වරයාත් අතර සිදු වූ බවට සඳහන් දුරකථන සංවාදය ඇතුළත් හඬ පටයයි. එහි කටහඬ සහ කරුණු තහවුරු වුවහොත් තත්ත්වය පවතිනවාට වඩා බරපතළ විය හැකි බව පැහැදිලිය.

දවසින් දවස මතුවන මෙවැනි කාරණා යහපාලන රජයේ අසමත්කම පෙන්නුම් කරන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසය. ඔවුන්ට අනුව රාජපක්ෂ රජයට එරෙහිව තිබූ දූෂණ චෝදනාවලට වඩා මේ රජයට එල්ල වන චෝදනා බරපතළය. ආණ්ඩුව වෙනස් වුණත් මේ රටේ දේශපාලනය තුළ දූෂණය චාරිත්‍රයක් හැටියට රැඳී තිබෙන බව එයින් පෙන්නුම් කරන බව ඔවුන්ගේ අදහසය. මේ තත්ත්වය තුළ රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමක් ගැන කතාබහක් හෝ නොකරන එක ගැන පුදුම විය යුතු නැත.

පසුගිය සති කිහිපය තුළ ජනාධිපතිවරයා කළ ඇතැම් ප්‍රකාශවලින් ද යූ.එන්.පී. පාලනය විවේචනයට ලක්වූ බව පෙනෙන්නට තිබේ. පසුගිය 18 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී ඔහු කියා තිබුණේ මිල සූත්‍ර තිබුණාට බඩු මිල නගින්නේ මිල සූත්‍රයකට අනුව නොවන බවය. එසේම ඊට දින කිහිපයකට පෙර ඔහු කියා තිබුණේ හමුදා නිලධාරීන්ට අත්අඩංගුවට ගෙන මාස ගණන් රඳවාගෙන සිටියත් නඩු නොපවරා නිදහස් කරන බවය. මේ විෂයන් දෙකම එනම් මුදල් සහ නීතිය හා සාමය අයිති යූ.එන්.පී. ඇමැතිවරුන්ටය. ඒ සමඟම හිල්ටන් හෝටලයේ පැවති ඇගයීම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුවේදී ජනාධිපතිවරයා වේගයෙන් සංවර්ධනය වියයුතු රටකට මුලින්ම ආදර්ශය සැපයිය යුත්තේ පාර්ලිමේන්තුව බවට කළ කතාව ද එවැනිම ප්‍රකාශයකි. පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ යූ.එන්.පී.යටය. ජනාධිපතිවරයා මේ කියන්නේ යූ.එන්.පීයෙන් පාර්ලිමේන්තුවේදී ආදර්ශයක් නොලැබෙන බවද? එය විවාදිතය.

මේ හැලහැප්පීම් මැද ජනාධිපතිවරයා එ.ජා.ප සමුළුව ඇමතීම සඳහා අමෙරිකාවට ගියේය. එහිදී ජාතික සංහිඳියාවට අදාළ වැදගත් ප්‍රකාශයක් කිරීමට නියමිත බවද පැවසේ. ඔහු ආපසු එන විට රටේ ප්‍රශ්න වැඩි වී තිබෙනු ඇති ද අඩු වී යනු ඇති ද යන්න කිව නොහැකිය.

ආණ්ඩුවත් ඒකාබද්ධ විපක්ෂයත් මේ දේශපාලන කඹ ඇදීම් සිදු කරන්නේ රටේ දස ලක්ෂයකට අධික ජනතාවක් නියඟයේ දරුණු ලෙස පීඩාවට පත් වී සිටියදී වීම ලොකුම ඛේදවාචකයයි. නියඟය නිසා වගා අහිමි වී මුරුංගා කොළ තම්බාගෙන කන දරු පවුල් සිටින රටක එම ගැටලුවට වඩා දේශපාලන ගැටලුවලට තැනක් ලැබීම කනගාටුවකි. ග්‍රාමීය සංවර්ධනයට කියා අති විශාල මුදල් වැය කර උත්සව පවත්වන ආණ්ඩුවටත් ජනතාව කොළඹට කැඳවීමට විශාල මුදලක් වියදම් කරන ඒකාබද්ධ විපක්ෂයටත් මේ ජනතාවගේ දුක නොපෙනීම ලොකුම ඛේදවාචකයයි.

I ශෂීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00