2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

යට ගහන වැඩ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

නිල්වලා ගඟ හැරවීමේ ව්‍යාපෘතියක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ කුමන කාලයකදී දැයි එකවරම මතක් කරගැනීම අසීරැය. එහෙත් ඒ බොහෝ කාලයකට පෙර බව පමණක් මතකයේ රැඳී තිබේ. එකී ව්‍යාපෘතිය ආරම්භ වුවද පසුකාලීනව එය ඇනහිට තිබිණි. පසුගිය රජය කාලයේ අවසානය වනවිට එය ගිං ගඟ හා සම්බන්ධ විශාල ව්‍යාපෘතියක් බවට පත් විය. නමුත් ආරම්භ වූයේ නැත. වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව එය ක්‍රියාත්මක වන බවට කිසියම් හෝ අදහසක් තිබුණා නම් දැන් එයද අත්හැර ගැනීමට සිදුව තිබේ.

මෙරට දකුණේ විශාලම ගංඟා ව්‍යාපෘතියක් වශයෙන් සැලකිය හැකි ගිං - නිල්වලා ක්‍රමය දිගින් දිගටම කල් යාම පිළිබඳව දැන් ප්‍රශ්න කරන්නේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු පසුගියදා හම්බන්තොට උත්සවයකදී ප්‍රකාශ කර තිබුණේ පසුගිය රජය කාලයේදී ද ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ගිං - නිල්වලා ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ ද යට ගොස් තිබෙන බවය. ඊට වගකිව යුතු අය කවුදැයි තමන් දන්නා බවත් ඒ බව තමන්ගේ මුවින් හෙළි නොකිරීමට වගබලා ගන්නා ලෙසත් පවසා තිබූ ජනාධිපතිවරයා ඔවුන් තමන්ගේ දේශපාලන වටිනාකම් පරෙස්සම් කරගත යුතු බවට අවවාදයක් ද කළේය. එම ව්‍යාපෘතියේ විෂය භාර අමාත්‍යවරයා වන දුමින්ද දිසානායක මහතා පසුව කියා සිටියේ අදාළ පුද්ගලයන් කවුදැයි හෙළි කිරීම වැදගත් බවය.

එහෙත් ගැටලුව ඇත්තේ මේ කතාවල නොවේ. රටට විශාල ප්‍රයෝජනයක් අත්පත් කරගත හැකි ව්‍යාපෘති මේ ආකාරයට යටගසා දමා තිබීමය. මේ යට ගැසීම්, කකුලෙන් ඇදීම්, බාධා කිරීම් සියල්ලම යටින් ඇත්තේ එක්කෝ අයථා ගනුදෙනුවකි. එසේත් නැත්නම් වෙනත් ආකාරයක දූෂණයක් හෝ අක්‍රමිකතාවකි. මේ ගනුදෙනු සහ දූෂණ අක්‍රමිකතා කතා මැද බොහෝ විට තිබෙන්නේ බලවතකුගේ හෝ කිහිපදෙනකුගේ කොමිස් කුට්ටි ප්‍රශ්නයකි. ගිං සහ නිල්වලා ව්‍යාපෘතියකට වැළඳී තිබෙන්නේ ද මේ කියන කොමිස් ව්‍යාධිය විය යුතුය. එසේ නොවන්නට මුදල් ආධාර ද ලැබී තිබෙන, ඉදිකිරීම් සම්බන්ධ කොන්ත්‍රාත් ගිවිසුම් පවා නිමකර තිබෙන ව්‍යාපෘතියක් මේ ආකාරයට එක තැන පල් වීමට ඉඩක් නැත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි.

වත්මන් රජය යටතේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලැබූ පළමු ව්‍යාපෘතිය මෙය නොවේ. මීට පෙරද අවස්ථා ගණනාවකදී රජයේ වැඩ කටයුතු කිහිපයකටම මෙවැනි චෝදනා එල්ල විය. මහ බැංකු බැඳුම්කර මගඩිය ඉන් එකකි. එසේම පසුගිය රජය යටතේ සිදු කෙරුණු ඇතැම් ව්‍යාපෘති ඇතැම් ගනුදෙනු සම්බන්ධව ද බරපතළ දූෂණ චෝදනා එල්ල විය. ග්‍රීක් බැඳුම්කරය, හෙජිං ගිවිසුම, ශ්‍රී ලංකන් එයාර් ගුවන්යානා මිලදී ගැනීම් ඒ අතරින් කිහිපයක් පමණි. ඇතැම් චෝදනා සම්බන්ධ විමර්ශන තවමත් සිදුවන්නේ මන්දගාමීව බවට ද විවේචන ඉදිරිපත්ව තිබේ. එහෙත් මේ සිදුවීම්වලින් පෙනෙන්නේ අපේ රට තුළ දූෂණ හෝ වංචා පිළිබඳ අවනඩුවකින් තොරව කිසිම රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කළ නොහැකි තත්ත්වයක් පවතින බවය.

මෙය යහපත් තත්ත්වයක් නොවේ. මහා පරිමාණ යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීමේදී බොහොමයක් රටවල් මේ තත්ත්වයට මුහුණ දෙන බව නොරහසකි. නමුත් ඒ රටවල්වල ව්‍යාපෘති එක් අයකුගේ හෝ දෙතුන් දෙනකුගේ උවමනාවට නවත්වාගෙන සිටින තත්ත්වයක් නම් වාර්තාවන්නේ කලාතුරකිනි. දූෂණයක් සිදු වී නම් ඒ ගැන සොයාබලා වැරුදිකරැවන් ඉවත් කර අදාළ ව්‍යාපෘතිය ඇරුඹීම සාමාන්‍ය ක්‍රියාවලියයි. එසේ කළ යුතු වන්නේ මේ සියලු ව්‍යාපෘති රටේ ජනතාවගේ සුබසිද්ධිය පිණිස කරවනු ලබන ඒවා වීමය. එහෙත් අපේ රටේ ඇතැම් ව්‍යාපෘති විවිධ දේශපාලනඥයන් විසින් තමන්ගේ සුබසිද්ධිය සඳහා යොදවා ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් සිදුවන්නේ අදාළ ව්‍යාපෘති නැවතීමය. එය ජනතාවගේ පැත්තෙන් බලවත් අසාධාරණයක් බව පෙන්වා දිය යුතුය.

බිලියන ගාණකින් මුදල් වැයවෙන, හුවමාරු වෙන සංවර්ධන වැඩ කුමන රජයක් විසින් ක්‍රියාත්මක කළත් කොමිස් කුට්ටි කඩා ගැනීම්, විවිධ දූෂණ ක්‍රියා සිදුවීම් සීයට සීයක් වළක්වාගත නොහැකි බව සැබෑවකි. එහෙත් ඒවා අවම කර ගැනීමට බැරිකමක් නැත. එසේ ක්‍රියාකර නියමිත කාලය තුළදී අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට පියවර ගැනීම අවශ්‍යය. කොමිස් හෝ වෙනත් අත යට ගනුදෙනු හේතුවෙන් මහජනතාව වෙනුවෙන් අවසන් කළ යුතු සංවර්ධන ක්‍රියා ප්‍රමාද කිරීමට හෝ නවතා දැමීමට කාටවත් අයිතියක් නැත. එවැනි ක්‍රියා සිදුකරන කවරකුට එරෙහිව වුවද තරාතිතරම නොබලා පියවර ගැනීම අවශ්‍යය. එහෙත් මේ රටේ එසේ පියවර ගැනීම් සිදුවන්නේ ඉතා කලාතුරකින් බව ඉතිහාසය අපට පෙන්වා දී තිබේ.

දූෂණ, අක්‍රමිකතා චෝදනාවලින් තොර රටක් ගැන මේ රටේ ජනතාවට තිබෙන්නේ අප්‍රමාණ බලාපොරොත්තුවක් බව යළි යළිත් කිය යුතු නැත. රාජ්‍ය මට්ටමෙන් සිදුවන දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව හඬ නගා ඒවාට විරුද්ධව ක්‍රියා කරන සංවිධාන ද අපේ රටේ හිඟ නැත. එවැනි තත්ත්වයක් තිබියදීත් මහජනතාව වෙනුවෙන් සිදු කළ යුතු ව්‍යාපෘති බලවත් පුද්ගලයන්ගේ කොමිස් කුට්ටිවලට යට වී අතරමග නැවැත්වීමට සිදුවීම නම් මහත් අභාග්‍යයකි.