2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

දෙකොන පූට්ටු වන සූත්තරේ

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

රටේ ආර්ථීකය යහපත් බව කියන්නේ ආණ්ඩුව පමණි. ආණ්ඩුවේත් කොටසකි. අනෙක් සියලු දෙනාටම අනුව ආර්ථිකය තිබෙන්නේ අනාගත් අඩියකය. ආර්ථික වර්ධන වේගය පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැත. ඒ වෙනුවට හැමදාම බහින රුපියලේ අගය, මිල සූත්‍රය හරහා තෙල් මිල වැඩිවීම, බදු ගැසීම් නිසා වැඩිවෙන භාණ්ඩ හා සේවා මිල කටගැසුම් බවට පත්ව තිබේ. කටගැසුම් කිව්වත් ඒවා රසවත් නොව, තිත්ත, කටුක කටගැසුම්ය.

මේ කටගැසුම් අතරට අලුතින්ම එකතු වූයේ තෙල් මිල සූත්‍රයයි. මිල සූත්‍රයක් අනුව කිසියම් නිශ්චිත භාණ්ඩයක හෝ සේවාවක මිල ගණන් තීරණය කිරීමේ වරදක් නැත. එවන් මිල සූත්‍ර ලෝකයේ වෙනත් රටවල ද ක්‍රියාත්මක වන අවස්ථා තිබේ. එහෙත් මිල සූත්‍රය රටේ ජනතාවගේ බෙල්ල මිරිකන සූත්තරයක් බවට පත්වන විට එය ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි. මිල සූත්‍රයේ සිදුවන්නේ භාණ්ඩයක මිල ඉහළ යාම පමණක් නම් ජනතාවට ඒ ගැන සැක පහළ වීම වැළැක්විය නොහැක. තෙල් මිලට දැන් සිදු වී ඇත්තේ එයයි.

අපේ රට ප්‍රධාන වශයෙන්ම ආනයනය මත රුඳී සිටින බැවින් තෙල් ගෙන්වා ගැනීමේදී ලෝකයේ මිල ගණන් කෙරෙහි සංවේදී වීම අවශ්‍යය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් වැඩිවන විට ජනතාව ඒ පිළිබඳව දැනුවත් කර මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව කවුරුත් උරණ වන්නේ නැත. එහෙත් ලෝකයේ මිල ගණන්වල දැනෙන තරම් ඉහළ යාමක් සිදු නොවන තත්ත්වයක් තුළ මිල සූත්‍රය දිගින් දිගටම ඉහළට ක්‍රියාත්මක වීමට ඉඩක් නැත. පසුගිය මාස 03 තුළදී සිදුවූයේ තෙල් මිල නැගීම පමණි. එසේ වූයේ ලෝක වෙළෙඳපොළේ ගෙවුණු මාස තුන තුළදී ලොකු වෙනසක් සිදු නොවී තිබියදීය. එසේනම් මේ වැඩිවීම පෙන්නුම් කරන්නේ ආර්ථිකය පාලනය කරගත නොහැකි මට්ටමක පවතින බව නොවේද? ඒ බව පෙන්වන තවත් නිර්ණායකයක් ද පවතී. එනම් රැපියලේ කඩා වැටීමය. අපට පෙනෙන්නේ රුපියල දුර්වල වීම හේතුවෙන් ආණ්ඩුවට තෙල් මිල පාලනය කරගත නොහැකි වී තිබෙන බවය. බඩු මිල සකස් වන්නේ රුපියලට ගැලපෙන ලෙසට නම් රුපියල වැටෙන වැටිල්ලේ හැටියට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැස්සත් අපේ රට තුළ නම් තෙල් මිල බැසීමට ඉඩක් නැත.

අනෙක් අතට ආණ්ඩුව කතා කරන මිල සූත්‍රය කුමක්දැයි දන්නා කිසිවකුත් නැත. බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය නම් අපේ රටේ ක්‍රියාත්මක තෙල් මිල සූත්‍රය බොරැවක් බවය. එවැනි මිල සූත්‍රයක් නැති බවත් දිගින් දිගටම තෙල් මිල වැඩි කිරීම අවශ්‍ය බැවින් මිල සූත්‍රය ඇස් බැන්දුමක් වශයෙන් යොදාගන්නා බවත්ය. එය ඇත්ත නම් ආණ්ඩුව කරන්නේ තම වගකීමක් පැහැර හැරීමකි. මිල සූත්‍රයක් පෙන්වා ජනතාවට කොළේ වසා ගැහිල්ලකි. එය නුසුදුසු ක්‍රියාවක් බව සඳහන් කළ යුතුය.

රටේ තෙල් මිල සහ ලෝක තෙල් මිල අතර පසුගිය රජය කාලයේ පැවතුණේ මීට වඩා වෙනස් තත්ත්වයකි. ඒ කාලයේ ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 120 සිට 150 පමණ දක්වාම වැඩි විය. නමුත් මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල පැවතුණේ අදට වඩා අඩුවෙනි. නැතහොත් සම තත්ත්වයෙනි. එහෙත් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 120 පමණ අගයක් ගනු ලැබීය. මේ නිසා මිල සූත්‍රයක් නොතිබුණත් රට තුළ මිල ගණන් යම් පමණකට පාලනය කර ගැනීමට හැකි වී තිබිණි. එම පාලනය කිරීමද රටේ ජනතාව දුටුවේ අසාධාරණ මිල වැඩිවීමක් වශයෙනි. ආණ්ඩු වෙනසකට පාර හැදෙද්දී රටේ තෙල් මිල ද සාධකයක් වූ බව මේ ආණ්ඩුවට මේ ඉක්මනට අමතක වීදැයි හිතන්නත් අමාරුය.

කෙසේ වුවද මිල සූත්‍ර හරහා ද සිදුවන්නේ කොකා පෙන්නීමක් නම් ජනතාව ඒ ගැන තීන්දුවක් ගැනීමට දෙවරක් නොසිතනු ඇත. සැබෑවටම පවතින ලෝකයේ ඉහළ මිල අනුව මේ රට තුළ ද ඉහළ මිලක් ගෙවීමට අකැමැත්තෙන් වුවත් ජනතාව පෙළඹුණත් ආණ්ඩුව මුල සිටම ගණන් වරද්දා ගැනීම නිසා සිදුවන අලාභ හානි විඳදරා ගැනීමට ඔවුන් කොහෙත්ම කැමති නැත. ඒ අලාභ හානිවලට රිටර්න් එක දීම සඳහා ජනතාවට අවශ්‍ය වන්නේ එකම අවස්ථාවක් බව බොහෝ ආණ්ඩුවලට වැටහෙන්නේ විපක්ෂයට වැටෙන දවසටය. 

පිටරට තෙල් මිල වෙනස් නූනත් තමන් නොදන්නා මිල සූත්‍රයක් පෙන්වා තෙල් මිලෙන් ආණ්ඩුව යැපෙන බව තේරුම් ගැනීම ජනතාවට අසීරැ නැත. පෙට්‍රල් ලීටරයක් රුපියල් 149ක් වනවිට එයින් රුපියල් 65ක් විවිධ බදු බවත් නොරහසකි. ආණ්ඩුව කියන ආකාරයට ආර්ථිකය යහපත් නම් මේ බදු ටිකක් එහා මෙහා කර ජනතාවට සහනයක් සලසා දිය හැකිය. එසේ නොවීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ආර්ථිකයේ දෙකොන පූට්ටු කර ගැනීමට නොහැකිව දඟලන දැඟලිල්ලේ තරමය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00