2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

බැඳුම්කර සමාගමේ ගිණුම අපි හිරකළා

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

 

මේ ආණ්ඩුව ගේන්න මුල්වුණා කියන ඔබේ හඬ අපිට පාර්ලිමේන්තුවේදීවත් එතරම් ඇහෙන්නේ නෑනේ..?

අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තුවේදී මගේ හඬ ඇහෙනවා. මේ ආණ්ඩුවේ වුණත් බොහෝ අයහපත් කාරණා හමුවේ මම හඬ නගලා තියෙනවා.

මොනවද ඔය කියන ඔබ හඬ නැගූ මේ ආණ්ඩුවේ අයහපත් කාරණා..?

මේ ආණ්ඩුවෙන් ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කරගන්න, රජය දූෂිතයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවෙද්දි වගේම මෑතකදී නම් ටෙලිකොම් මෑන්පවර් ක්‍රමයට එරෙහිව මම හඬ අවදි කළා.

මෑන් පවර් සේවකයෝ නම් තවමත් පාරේ..?

මේ සේවකයන්ගේ වැටුපෙන් තුනෙන් එකකට වඩා තමන්ගේ බඩට දාගෙන, තමන්ගේ මඩි තරකරගන්න ක්‍රමය අහෝසි කරනකම් අපි සටන් කරනවා. කම්කරු ඇමැතිතුමා මම ඒ සම්බන්ධව කළ කතාවට ප්‍රතිඥාවක් දීලා තියෙන්නේ දැනටමත්.

රතන හාමුදුරුවෝ දැන් සති දෙකකට කළින් ප්‍රකාශ කළා උන්වහන්සේ ස්වාධීන වෙනවා කියලා. ඔබේ පියාත් ඒ සමඟම ප්‍රකාශයක් කළා අපිත් යනවා රතන හාමුදුරුවන්ගේ පාරේ කියලා. මොකද්ද මේ යන්න හදන පාර..?

උන්වහන්සේ ස්වාධීන වුණේ ජාතික හෙළ උරුමයෙන්. නැතුව ආණ්ඩුවෙන් නෙවෙයි. උන්වහන්සේ ප්‍රකාශයක් කළා මම ජාතික ව්‍යාපාරයක් හදනවා මේ යහපාලනය නිවැරදි මාවතක ගෙනියන්න කියලා.

සෝභිත හිමි, රතන හිමි, ඔබේ පියා ඇතුළු පිරිසම තමයි 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් හැදුවේ පුළුල් ජාතික ව්‍යාපාරයක් කියලා එකක්. ඒකෙන් තමයි යහපාලනය ගෙනාවා කියන්නේ. දැන් මේ ඒ ගෙනාපු යහපාලනයට විරුද්ධවද තවත් පෙරමුණක් හදන්නේ..?

යහපාලනයට විරුද්ධව නෙවෙයි. ආණ්ඩුවේ යහපාලනය ගිලිහෙන අවස්ථාවල නැවතත් යහපාලන මාවතට ගැනීමටයි ඒක හදන්නේ.

එතකොට දැන් වර්තමාන රජය ඇතුළෙ යහපාලනය නැද්ද..?

මේ රජය ඇතුළේ පහුගිය රාජපක්ෂ රජයට සාපේක්ෂව තියෙනවා. නමුත් යහපාලනය පරිපූර්ණ ලෙස නෑ. ඒක වුණේ ජනවාරි 8 වැනිදා වෙනකම් මැතිවරණ සටන කරද්දි අපි යහපාලනය ගැන කිව්වාට ජනවාරි නමවැනිදා කැබිනට් මණ්ඩලයේ දිව්රුම් දුන්නේ වෙනමම පිරිසක්. ඉන්පස්සේ මහමැතිවරණය ජයග්‍රහණයෙන් පස්සෙත් ආණ්ඩුව හා අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන මැති ඇමැතිවරැ බොහෝමයක් අයට මේ පැවති ක්‍රමය වෙනස් කිරීම ගැන අවබෝධයක් නෑ.

ඔබ ඔය චෝදනාව කරන්නේ එක්සත් ජාතික පක්ෂයට ද..?

එදා ජනවාරි 8 වැනිදා අපිට ඕන වුණේ මේ ක්‍රමය මාරු කරන්න වුණත් දැන් ආණ්ඩුවේ ඉන්න බොහෝ ඇමැතිවරුන්ට ඕන වුණේ රෙජිම් වෙනසක් විතරයි.

ඔබේ පියා ඇතුළු පිරිසක් තමයි රටේ ජනතාවට ඇප වුණේ මේ ආණ්ඩුව ගේන්න. දැන් ඒක ගෙනාවට පස්සේ ඔබ පිරිස නැවත ආණ්ඩුවට එරෙහිව කෑගහනවා. දැන් ජනතාවට ඔබ ගැන තිබුණ විශ්වාසය අවසන්ද එතකොට..?

නෑ. එහෙම දෙයක් වුණේ නෑ. අපි ඇප වුණා තමයි. දැන් අපි ඒ ඇපය වෙනුවෙන් තමයි මේ සටන් කරන්නේ. ඒකයි පහුගිය අයවැය වෙලාවේ මම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වුණත් මම අයවැයට පක්ෂව ඡන්දෙ ප්‍රකාශ කළේ නැත්තේ. ඒ මම වැට් බද්දට විරුද්ධ නිසා.

ඔබ අයවැයට විරුද්ධව ඡන්දේ දුන්නාද..?

නෑ. මම ඡන්දය දීමෙන් වැළකී සිටියා. මොකද මට ඕන නැහැ ඒකාබද්ධ විපක්ෂෙට ඕන දේවල් කරන්න.

එහෙම නොදී හිටියේ කොහොමත් අයවැය පනත දිනන බව දැනගෙනද..?

ඒක දිනනවාද නැද්ද කියන එක මට අදාළ නෑ. ඒක පරදින මට්ටමේ කාරණා තිබුණත් මම මගේ තීරණය ගන්නවා. කවුද මේ තරුණ වයසෙදි එහෙම තීරණයක් ගන්නේ. වාසුදේව නානායක්කාර මහත්තයත් 94දි අයවැයට ඡන්දෙ දුන්නානේ. මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට එරෙහිවත් මම පෙනී හිටියා.

දැන් මොකද්ද වුණේ ඔබ අයවැයට ඡන්දේ දුන්නේ නෑ කියලා. ඒක සම්මත වුණානේ කොහොමත්..?

ඒ ඔබ දන්න තරම. අපේ විරෝධය නිසා ආණ්ඩුව ප්‍රකාශයක් කළා වැට් බද්ද සියයට අටට අඩුකරනවා කියලා මේ වසරේ හෝ එළැඹෙන වසරේ පළමු කාර්තුව තුළදී.

දැන් මෛත්‍රීපාල පාර්ශවයේ ඉඳගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව දැඩිව විවේචනය කරන ඔබේ පියා මහින්ද රාජපක්ෂගේ උකුලේ සිටිමින් බොහෝ අමාත්‍ය ධුර දරමින් කැබිනට් මණ්ඩලය පවා නියෝජනය කළා. දැන් ඒ කිසිදෙයක් මතක නෑ වගේ හැසිරෙන්නේ..?

ලෝකය පුරා වාමාංශික මතවාදය බිඳ වැටෙද්දි නව වම කියන මතයේ එදා ඉඳන් අද වෙනතෙක් සටන් කරන පුද්ගලයෙක්. එමනිසා ඔහු මොන කඳවුරේ හිටියත් ඔහුගේ මතවාදය ඔහු දරනවා. ඒක මහින්දද මෛත්‍රීද කියලා වෙනසක් නෑ.

ඔබ කියන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා වමේ ඉඳගෙන වම වෙනුවෙන් පෙනී සිටිනවා කියලද..?

නෑ. නෑ. දැන් වමක් නෑනේ. වමක් කොහේ තියෙන්නද? ධනපතියන්ගේ කිහිලුකරු වෙන්න කිසිදා ධනපතින්ගේ හොරගුහාවයැයි හැඳින්වූ පාර්ලිමේන්තුවට යන්නේ නෑ කියලා කියපු විජේවීර සහෝදරයාගේ ජනතා විමුක්ති පෙරමුණ දැන් ලජ්ජාවක් නැතිව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් දරද්දි.

ඔබ කියන විදිහට ඔබ නියෝජනය කරන්නේ සිවිල් දේශපාලනය. ඔබේ පියා නියෝජනය කරන්නේ ජාතික දේශපාලනය. දැන් තාත්තයි පුතයි යන්නේ පාරවල් දෙකකද..?

ඔව්. අනිවාර්යයෙන්. එතුමා මහින්දා රාජපක්ෂ රජයේ අමාත්‍යධූර දරන සමයේ තමයි මම සෝභිත හාමුදුරුවෝ රතන හාමුදුරුවෝ එක්ක සිවිල් ව්‍යාපාර ගොඩනගලා රාජපක්ෂ රෙජීමය පරාද කරන්න කටයුතු කළේ.

පොදු අපේක්ෂයා දිනවන්න ප්‍රධාන කඳවුරු තුනක් ක්‍රියාත්මක වුණා කියලා ඔබ කියලා තිබුණා. සෝභිත හිමි, රතන හිමි හා ඔබ. ඔබට මතකද සෝභිත හිමි ප්‍රකාශ කළා විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා..?

ඔව්.

ඔබ ඊට එකඟද..?

මම පාසල් අවධියේ පටන්ම විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි යන මතය දැරූ අයෙක්. ඒ සටන අපි වෙනසක් නැතිව තියෙනවා. මගේත් සහභාගිත්වයෙන් 2013දී හිටපු අගවිනිසුරු සරත් සිල්වා මැතිතුමා විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළා. ඒකෙන් අපි උත්සාහ කළේ මහින්ද රාජපක්ෂට බල කරන්න විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා ඔහුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා, ඒ පාර්ලිමේන්තුව තුළ ඊළඟ ඡන්දයේදි ඔහුව පරාජයට පත් කරන්න. ඔහු ඒකට කැමැති වුණේ නැත්තම් මුලු ජනතාවටම ඒත්තු ගන්වනවා මොහු ඒකාධිපතියෙක්. ඒ නිසා මොහු පරාජය කළ යුතුයි කියලා.

ඒ කියන්නේ ඔබ එදා ඉඳලාම විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව රටට වුණා....?

නෑ. නෑ. එදා මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ අපි මේ කතාකරන ගොඩනැගිල්ලේ. එම ප්‍රකාශනයේ අපි සඳහන් කළේ සෝභිත හාමුදුරුවන්ගේ යෝජනා හා පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ යෝජනාත් පදනම් කරගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට. ඒ නිසා සම්මුතිවාදය තුළින් පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත්කිරීමක් සිදුකරනවා. එහෙම කරන්නේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොවෙන්න.

මොකද්ද ඔය කියන ව්‍යවස්ථා අර්බුදය..?

මෙහෙමයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා දේශපාලන විසඳුමක් විදියට. මේකට එරෙහිව එවකට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වුණා. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මවුබිම සුරැකීමේ ව්‍යාපාරය පවා මේකට පෙත්සමක් ඉදිරිපත් කළා. මේ විදියට රාශියක් පෙත්සම් සලකා බලලා 13 සංශෝධනය නිසා රටේ ඒකියභාවයට හානිවෙනවද කියලා අධිකරණය තීන්දුවක් දුන්නා. අන්න එතෙන්දි නව දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලේ සිව්දෙනෙක් මේකෙන් ඒකීයභාවයට හානි වෙනවා කියා සංශෝධනයට එරෙහිවත්, තව හතර දෙනෙක් එහෙම වෙන්නේ නෑ කියලා සංශෝධනයට පක්ෂවත් ඡන්ද දුන්නා. මෙතෙන්දි තීරණාත්මක වුණේ සභාපති විනිසුරු සරවානන්දන් මහතාගේ ඡන්දය. ඔහු ප්‍රකාශ කළා ව්‍යවස්ථාවේ 24 (ආ) 2 යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මේ 13 නිසා රටේ ඒකීයභාවයට බලපෑමක් නොවන බව.

දැන් මේක කොහොමද මෙතෙන්ට අදාළ වෙන්නෙ..?

ඒ තීන්දුවෙන් තමයි කියන්නේ අපි යම් හෙයකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කළොත් අන්න එතනදි රටේ ඒකීයභාවයට බලපෑමක් හා ව්‍යවස්ථා අර්බුදයක් ඇති වෙන්නේ එම නිසා.

එතකොට එදා සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කළා විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා..?

ඔහුට තනි පුද්ගලයෙක් හැටියට එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න බෑ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නෑ. එහි බලතල යම් ප්‍රමාණයක් අවම කරනවා. මමත් ජීවිත කාලෙම සෝභිත හිමියන්ගේ මතවාදයේ ඉන්නවා. හැබැයි නීතිය හා ව්‍යවස්ථා සංශෝධයක් එහෙම ආවට ගියාට කරන්න බෑ.

එතකොට ඔබේ යහපාලන රජය එන්නට කලින් විධායක ජනාධිපතිධූරය ගැන රටට කිව්වේ බොරුවක් ද..?

නෑ. බොරුවක් නෙවෙයි. මේ කිව්ව ගැටලු එකක්වත් ඇති නොවෙන පරිදි පාර්ලිමේන්තුවට වගකියන සහ රටේ ඒකීයභාවය ආරක්ෂාකිරීමේ බලය සහිත විධායක අගමැතිවරයෙක් හඳුන්වාදීම හා ඒ තුළින් අපි එදා කිව්ව පොරොන්දුව අපි රටට ඉෂ්ඨ කරනවා.

ඔබත් ඔබේ පියාත් පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ එක් පවුලක් කළ දූෂණවලට එරෙහිව දැඩිව හඬ නැගුවා. හැබැයි එහෙම කෑගහලා හදපු වර්තමාන ආණ්ඩුවට දැන් කෙලින් හිටගන්න බැරි තරමට දූෂණ චෝදනා එල්ල වෙලා..?

ඔව්. අනිවාර්යයෙන්ම එල්ල වෙලා. අට පාස් නැතිව වැසිකිළි සෝදන රස්සාවක්වත් ගන්න බැරි එවුන් එනවා හරිම පහසුවෙන් දේශපාලනයට. මේකෙ ඉන්නෙත් බහුතරය එහෙම අය. අපිට බැරිවෙලා තියෙනවා බහුතරයක් සුචරිතවාදී මිනිස්සු දේශපාලනයේදි හොයාගන්න.

මේ ආණ්ඩුව අන්තෙටම හිරවුණ තැනක් තමයි මහබැංකු බැඳුම්කර ගනුදෙනුව. දැන් ජනාධිපතිවරයා ඊට මැදිහත්වෙලා ඒ සම්බන්ධව විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කළා. හැබැයි රටේ ජනතාව කියනවා අදවෙනකම් මේ රටේ පත්කළ ජනාධිපති කොමිසම් වලින් සිද්ධවුණ දෙයක් නෑ කියලා...?

මේක මේ ජනාධිපතිවරයාගේ පළවෙනි ජනාධිපති කොමිසම. අනිත් ජනාධිපතිවරැන්ගේ ජනාධිපති කොමිසම් මෙතෙන්ට අදාළ නෑ. දැනටමත් මේ ජනාධිපතිවරයා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ගිණුම් හිරකරලා ඉවරයි. ඒ මුදල් වෙන කිසිම දේකට යොදාගන්න ඔවුන්ට බැහැ. මේ ජනාධිපති කොමිසමේ තීරණය මාස තුනක් ඇතුළත දෙන්න ජනාධිපතිවරයා නියෝග කරලා තියෙනවා.

ගම්පහ ඔබේ මැතිවරණ ආසනයට ඔබ එතරම් එන්නේ යන්නේ නෑ කියලා ජනතාව චෝදනා කරනවා..?

ඒ ඔබට වෙන්න ඇති. මට නම් කියන්නේ මම තමයි නිතරම යන්නේ එන්නේ. අනිත් අය තමයි එහේ එන්නේ නැත්තේ කියලා. කිසිම මන්ත්‍රීවරයෙක් නොකළ විදිහට ගංවතුර වෙලාවේ කෑම, වතුර ඇතුළු සියලුම දේවල් 11,000කට මම දුන්නා. ළිං 3000කට වඩා සුද්ද කළා. කොළඹ දිස්ත්‍රික්කේ සමහර ආසනවලට කෑම 3000ක් ඕන. පාන් 3000ක් ඕන කියලා ජනාධිපතිතුමාට අවශ්‍ය වූ මොහොතේ ඉල්ලීම් කළෙත් මට.

ඔබ වරක් පාර්ලිමේන්තුවේදි මතභේදාත්මක ප්‍රකාශයක් කළා ජනතා විමුක්ති පෙරමුණට වැසිකිළියක් ඇතුළේදි සල්ලි දුන්නා කියලා. මේ කතාව ඔබ එදා කිව්වාට පස්සේ එතැනින් එහාට ජනතා විමුක්ති පෙරමුණ ඔබේ කටවැහුවා කියලා ජනතාව චෝදනා කරනවා..?

ඔබ අහපු ප්‍රශ්නය වැරදියි. වැසිකිළියක් ඇතුළේ සල්ලි දුන්නා නෙවෙයි. ඒක කතා දෙකක්.

මොකද්ද මේ කතා දෙක..?

ඒක තමයි ඉඩම් අමාත්‍යාංශයේ ඉඩම් අමාත්‍යධූරයයි නියෝජ්‍ය අමාත්‍යධූරයයි දරනකොට ඒ අමාත්‍යාංශයේ වැසිකිළිය ඇතුළේ සදාචාර විරෝධී යම් යම් දේවල් සිද්ධ වුණා. මේ වැසිකිළිය ඇතුළට පක්ෂයේ සහෝදරියෝ කිය කිය එක එක්කෙනා ගියා කියලා වාර්තා තියෙනවා. ගිහින් දවසෙම ඉඳලා එනවා. පස්සේ මේ වැසිකිළියේ ගලිය හිරවුණා. පස්සේ ඒක පිරිසිදු කරද්දි අහුවුණ දේවල් මොනවද කියලා තමයි මම කිව්වේ. ඒක එතනින් මම නවත්තනවා. අවශ්‍ය නම් මේ කියන පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්නම්.

මොකද්ද දෙවෙනි කතාව..?

ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දීපු පාර්ශවවල කතාව. දවසක මේ වමේ වමේ කියන රැලට සල්ලි දුන්නේ කවුද කියලත් මම කියනවා. ඒ කියපු දවසට ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කරන්න ලැබෙන්නෙ නෑ. ජනතා විමුක්ති පෙරමුණ තහනම් වුණාට පස්සේ මල්වානේ නියාස් සහෝදරයා විතරයි තමන්ගේ ගෙදර දුන්නේ පක්ෂ කාර්යාලය හැටියට. ඒ නියාස් සහෝදරයාගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුමේ සල්ලිවලට වුණදේත් මම ඕන නම් කියන්නම්. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය ජනාධිපතිවරණයට මිලියන ගාණක් මුදල් අපෙන් ගත්තෙ නෑ කියලා පුළුවන් නම් කියන්න කියලා කියන්න.

අපෙන් ගත්තා කිව්වේ කාගෙන්ද ගත්තේ..?

පොදු අපේක්ෂකයාගේ කඳවුරෙන්. මගේ අතින් ගත්තා. තව මේ ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ගෙන් ගත්ත මුදල් තියෙනවා.

ඔබ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සමීපව කටයුතු කරලා තියෙනවා වගේ නේද..?

පහුගිය 2015 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසන්න ප්‍රියංකර කියලා නන්නාඳුනන ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා කියලා ඔබතුමන්ලා දන්නවාද. දන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ ඔවුන් මේ යහපාලනය ගේන්න කියලා රටේ ජනතාවට කිව්වෙ නෑලු..?

ජනවාරි 8 වැනිදා නන්නාඳුනන ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා යහපාලනයට සහයෝගය දෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය කියන පක්ෂයෙන් ඔවුන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා.
ඔබ කා සමඟද මේ කාරණාවලදි කටයුතු කළේ..?

කෙලින්ම අනුරකුමාර, විජිත හේරත් ඇතුළු පිරිස සමඟ. ඔවුන් ගනුදෙනු කළේ මම එක්ක විතරක් නෙවෙයි. මේ ආණ්ඩුවේ ඉන්න දූෂිතම ඇමැතිවරු සමඟ ගනුදෙනු කළා ඔවුන්. අපිටත් ලජ්ජයි. මහ ඡන්දෙට සල්ලි එව්වාම අපි ආපහු හරවලා යවපු ටයිකෝට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනවා විතරක් නෙවෙයි, ඔවුන්ගේ සල්ලි වලින් තමයි මෙයාලා නඩත්තු වෙන්නේ.

ඔබත් මහින්ද රාජපක්ෂ වගේ ෆයිල් එකතු කරන කෙනෙක්ද..?

නෑ. මම එකතු කරන්නේ ඉතිහාසය. මහින්ද රාජපක්ෂ 2001දි කුරහන් සාටකේ කතාව ලියද්දි පාද යාත්‍රාවේ පින්තූර ඕනවුණාම එතුමා කතා කරලා සමහර පින්තූර ඉල්ලගත්තෙත් මගෙන්.

සයිටම් වෛද්‍ය පීඨයට අදාළ තීරණාත්මක නඩුතීන්දුවක් පසුගියදා අභියාචනාධිකරණය මගින් ලබාදුන්නා. ඔබ දේශපාලන වගේම මව පියා දෙදෙනාම වෛද්‍යවරු වූ පවුලක දරුවෙක්. හැබැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඔබේ බිරිය අධ්‍යාපනය ලබනවා කියා හා ඔබ මේ පෞද්ගලික වෛද්‍ය පීඨයට උපකාර කරනවා කියා රටේ චෝදනාවක් තිබෙනවා..?

මම සයිටම් එකට උපකාර කරනවා කියලා තියෙන්නේ චෝදනාවක් නෙවෙයි. මඩක්. ඒක මට එල්ල කලේ අන්තවාදී දේශපාලන කණ්ඩායම් හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාණු පල්ලේ වැටී ඇති සුළුතර වෘත්තිකයින් පිරිසක් විසින්. නමුත් මගේ ප්‍රතිපත්තිය මම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. එනම් මෙය රජයට පවරාගෙන ජනසතු කළ යුතුයි කියලා.

නමුත් ඔබේ බිරිය එහි අධ්‍යාපනය ලබනවා යන්න පාර්ලිමේන්තුවේදී කිව්ව නිසා නේද ඔබ ජනතා විමුක්ති පෙරමුණ සමඟ මේ ආරෝවක් ඇති කරගෙන තියෙන්නේ..?

නෑ. කොහෙත්ම නෑ. මගේ බිරිය සයිටම් තුළ අධ්‍යාපනය ලබනවා කියලා කවුරැවත් කියන්න ඕන නෑ. මම කාටත් වඩා හොඳට ඒක දන්නවා. මම පාර්ලිමේන්තුවේදී ඔවුන්ට එරෙහි වුණේ ඔවුන් ප්‍රකාශ කළ අමූලික බොරුව නිසා. එනම්, මම සම්බන්ධ නොවුණ, සහභාගී නොවුණු කමිටු වාර්තාවකට මාව ඈඳා ගනිමින් නිර්ලජ්ජිත අවස්ථාවාදී දේශපාලනයක නිරත වූ නිසා.

ඔබ වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ඔබ බෙලිඅත්තට ගිහින් ඡන්දේ ඉල්ලලා මහින්ද රාජපක්ෂව පරාජය කරනවා කියලා. දැන් මහින්ද රාජපක්ෂ බෙලිඅත්තෙන් ඡන්දේ ඉල්ලන්නේ නෑ. ඔහුගේ පුතා නාමල් රාජපක්ෂ තමයි ඉන්නේ. ඔබට පුළුවන්ද ඉදිරි මහමැතිවරණයේදී ගිහින් බෙලිඅත්තෙදි නාමල් රාජපක්ෂව පරාජය කරන්න.?

මගේ අභියෝගය තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. මොකද මගේ දේශපාලන ඉතිහාසය තියෙන්නේ අපිට කලින් පරපුර සමඟ. ඒ පරම්පරාවේ ඉන්නේ මහින්ද රාජපක්ෂ මිසක් කුමාරෝදයවත් කියවපු නැති නාමල් රාජපක්ෂ නෙවෙයි.

♦ ප්‍රසාද් අබේවික්‍රම

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00