2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

කොළඹ කැරකුණු ජනබලය

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 273

ජනබලය කොළඹට වැඩේ සාර්ථකද? අසාර්ථකද? ඒක සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයට අනුව එය ඉතාම සාර්ථකය. යූ.එන්.පි.යට අනුව ඉතාම අසාර්ථකය. ශ්‍රීලනිපය නිහඬය. ජවිපෙ කෙළින්ම මතයක් නොදැක්වුවත් ඔවුන්ගේ අදහස ද එය අසාර්ථක බවය.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ බලය නිර්මාණය කරන්නේ මහජනතාව බවට විවාදයක් නැත. තමන්ගේ නායකයන් තීරණය කරන්නේත් තෝරාගත් නායකයන් ගෙදර යවන්නේත් එසේ ගොඩනැගෙන ජනතාවගේ බලයෙනි. ඒ වගේම ගෙදර ගිය නායකයන් ආපහු රටේ නායකත්වයට ගෙන එනවාද නැද්ද යන්නත් තීරණය කරන්නේ ජනතාවගේ බලයයි. හරියට බැලුවොත් තමන් බලයට පත්කරන නායකයන් වැඩ කළ යුතු ආකාරය, ප්‍රතිපත්ති, ඒවායේ හොඳ නරකවලට මගපෙන්වන්නේත් ජනතාවයි. රටක යහපාලනයක හදගැස්ම ජනතාවගේ බලයයි.

පහුගිය 05 වැනිදා කොළඹට කැඳවන ලද ජනබලයට මේ කියන කරුණුවලින් අදාළ මොනවාදැයි සොයා බැලිය යුතුය. හැබැයි කොළඹ වටලා පාලනය අකර්මණ්‍ය කොට ආණ්ඩුව දැන් ගෙදර යා යුතු යැයි ප්‍රබල පණිවුඩයක් ලබාදෙන බවට ජනබලය කොළඹට සංවිධායකයන් තුළ වූ අරමුණු නම් ඒ අයුරින්ම ඉටුනොවූ බව පැහැදිලිය. බස්රථ දෙදහසකට මඳක් වැඩි හෝ අඩු (මේ ගණන හරිහැටි පැහැදිලි නැත) සංඛ්‍යාවක් මගින් ජනතාව දහස් ගණනින් කොළඹට පැමිණි බව පෙනෙන්නට තිබිණි. මේ සංඛ්‍යාව ලක්ෂ දෙකක් බව නාමල් රාජපක්ෂ පවසයි. යූ.එන්.පී. ජාතික සංවිධායක නවීන් දිසානායක පැවැසුවේ මේ සංඛ්‍යාව හතළිස් දහසක් පමණ බවය. මේ ගණන් හිලව් කොහොම වුණත් ජනතාවගේ සහභාගීත්වයට වඩා අරමුණු සපුරාගැනීම අතින් තමන් වැටුණේ දුර්වල තැනකට බව දේශපාලනයෙන් තෙම්පරාදු වූ මහින්දට නොතේරෙනවා විය නොහැක.

කොළඹ වටලන බවට දින ගණනාවක් තිස්සේ මාධ්‍ය සාකච්ඡා තබමින් ප්‍රකාශ කළ ඒකාබද්ධයේ සෙසු නායකයන්ද පිරිවරාගෙන මහින්ද එදා රෑ ලේක්හවුස් වටරවුම අසලට රුස්ව සිටි ජනතාවට කිව්වේ මෙහෙමය.

වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා. අධික බදුබර, ජීවන වියදම ඉහළ යාම නිසා ජනතාව පීඩනයට පත්වෙලා. මේ පීඩනය දරාගත නොහැකිව ජනතාව අද පාරට බැහැලා. අවුරුදු 20කට පස්සේ උතුරු පළාතට මැතිවරණයක් තිබ්බේ මමයි. යුද්ධය ඉවර කර ප්‍රජාතන්ත්‍රවාදය උදාකළ නිසා අද ජනාධිපතිත් අගමැතිත් උතුරට ගිහින් මට බණිනවා. අද ආණ්ඩුව මැතිවරණ කල් දානවා. ආණ්ඩුවට එරෙහි පළමු පියවර අද තැබුවා.

දැඩි උද්‍යෝගයකින් වුවත් තරමක වෙහෙසකාරී බවකින් යුතුව කිසිම වේදිකාවක් නොමැතිව මහින්ද කළ මේ කතාව එතැන රුස්ව සිටි ජනබලය කොළඹට ජනතාවට ලොකු අස්වැසිල්ලක් වූ බව පෙනෙන්නට තිබුණි. එසේ වුවත් මහින්ද ඒ කළේ ඔහු කියන්න සකස් කරගෙන සිටි කතාවද යන්න ප්‍රශ්නාර්ථයකි. මේ ජනබල විරෝධය සංවිධානය කෙරෙද්දී දිගටම පැවැසුණේ මේ රජය කරන්නේ ජනතාවට බදු ගැසීමත් රාජපක්ෂලාගෙන් පළිගැනීමත් පමණක් කියාය. තමන්ගේ කතාව තුළදී මහින්ද කිසිම තැනකදී රාජපක්ෂ පවුලෙන් පළිගැනීම ගැන සඳහනක් කළේ නැත. එය නොපැවසුවේ සිතාමතාද යන්න පැහැදිලි නැතත් අපේක්ෂිත වැටලීම සිදුකළ නොහැකිවීම ඊට හේතුව වීමට හොඳටම ඉඩ තිබේ.

කොහොම වුණත් ජනබලය කොළඹට විරෝධතා පෙළපාළිය අවසන් වුණේ අලුත් කිසිවක් ඉතුරු නොකරමින් බව පේන්න තිබෙන යථාර්ථයයි. මතකයේ රැඳෙන අලුත් දෙයක් රටට පෙන්වාදීමට එහි සංවිධායකයන්ට නොහැකි විය. තම සංවිධායකයන් හරහා බස්රථවලින් විශාල ජනකායක් එක්රුස්කර ගැනීමට හැකිවුවද ඊට අමතරව රටේ සිව්දෙසින් පැමිණ එම විරෝධයට එකතුවනු ඇතැයි බලාපොරොත්තු වූ ජනතාවක් ලොකුවට සිටියේ නැත. හරියට බැලුවොත් මේ ඇවිත් සිටියේ මහින්දගේ නායකත්වය පිළිගන්නා ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසය. එසේ වුණත් ජනබලයක් ගොඩනංවන විට පාක්ෂික ආධාරකරුවන්ට අමතරව සැබෑ ලෙසම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩනයට පත්ව සිටින ජනතාවද දහස් ගණනින් විරෝධතා පෙළපාළියට එක්විය යුතුය. නමුත් මෙහිදී එවැනි එකතුවීමක් සිදු වූවාද යන්න අපැහැදිලිය. එය පොදු ජනතාව අතරින් ගිලිහී ගිය ඒකාබද්ධ විපක්ෂයේත් පොදුජන පෙරමුණේත් ආධාරකරැවන්ගේ හුදෙකලා සටනක් බවට පත්වී තිබීම කැපී පෙනුණි. කොටින්ම දැනට ආණ්ඩුව කෙරෙහි දැඩිව කලකිරී සිටින බහුතර මධ්‍යස්ථ මතධාරී ජනතාව ආකර්ෂණය කර ගැනීමට ජනබලය සංවිධායකයන්ට නොහැකි වූ බව පැහැදිලිය.

විරෝධතා පෙළපාළිය හමුවේ මහින්ද කළ කතාවේ සඳහන් කළ කරුණු මීට පෙර බොහෝ අවස්ථාවලදී ඔහු පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ සෙසු නායකයන් විසින් ද ප්‍රකාශ කෙරුණු ඒවා විය. ජනබලය වැඩසටහනින් අලුත් යමක් නොවූ බවට එයද උදාහරණයකි. මෙහිදී පැහැදිලි වූයේ මහින්දට තවමත් ජනතාව විශාල වශයෙන් එක්රුස් කිරීමට හැකි වුණත් එය නිසි ආකාරයකට නාභිගත කිරීමට වැඩපිළිවෙළක් මෙවර නොවූ බවය. තවත් සමහරැන්ගේ මතය නාමල්ට මෙහි සංවිධාන කටයුතු පැවරීමත් හරහට හිටි බවය.

ජනබලය කොළඹට මුලින් සංවිධානය කෙරෙද්දී නාමල්ගේ නමක් ඉදිරියට ආවේ නැත. එය මුලින් තියන බව කී අගෝස්තු 17 වැනිදා එනම් ආණ්ඩුවට වසර 3ක් පිරෙන දා එය පැවැත්වීමට නොහැකි වූයේ උසස් පෙළ විභාගය හේතුවෙනි. එය එදා තැබුවා නම් එහි වාසිය නිසැකවම යන්නේ ආණ්ඩුවටය. මේ බව කල් තබා දැකීම නිසා දිනය කල් තැබීම හැර වෙන යමක් කරන්න තිබුණේ නැත. නමුත් එයින් සිදුවූයේ ජනබලය වැනි සටනකට තිබූ නිමිත්තක් අහෝසි වීමය. මේ යථාර්ථය සංවිධායකයන්ට අමතක විය. ඡන්දයක් ළඟ නැතිවිට, ආණ්ඩුවට පහරගැසීමට නිශ්චිත ඉලක්කයක් නොමැති විට අපි කොළඹ වටලමු ආණ්ඩුව පලවාහරිමු යැයි කිව්වාට මහජනතාව එන්නේ නැත. මේ බව තේරුම් නොගැනීම සංවිධායකයන්ගේ ලොකු අඩුපාඩුවක් විය. බැසිල් මේ අවස්ථාවේදී රටින් පිටවී සිටීමේ අවාසියද එවැනි තීන්දු ගැනීමකදී ඍජුවම බලපාන්න ඇත. ඊළඟට නාමල්ට මෙහි සංවිධාන කටයුතු පැවැරුණි.

මීට පෙර කවදාවත් නොකරන ලද දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට දේශපාලනයේ එතරම් අත්දැකීම් නොමැති, මහින්දගේ රජය තිබියදී ඔහුගේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධයට ලක්වෙමින් සිටි නාමල්ට පැවරීම ඒකාබද්ධයේ සහ පොදුජන පෙරමුණේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට කොහොමවත් දිරවන්නට නැත. මහින්ද බලයේ සිටියදී මේවා එළියට ආවේ නැතිවුවත් විපක්ෂයේ සිටින විට මෙවැනි කාරණා අළු ගසා දා ඉදිරියට එයි. නාමල්ගේ නායකත්වයට මෙහිදී සිදුවන්නට ඇත්තේ ඒ ටිකමය. තමන් නායකත්වය දෙන පක්ෂවල ජ්‍යෙෂ්ඨයන් සිටියදී ඔවුන් ගැන නොසලකා කටයුතු කිරීම ගැන මහින්දට ඉදිරියේදී බොහෝ දුරට සිතන්නට තිබෙන බව පැහැදිලිය. ප්‍රධාන සංවිධායක වශයෙන් නාමල් ඉහළට ගනිද්දී බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පසුපසට තල්ලුවීම වැළැක්විය නොහැක. ගෝඨාභය තවමත් දේශපාලනයට ප්‍රවේශ වී නැතත් මහින්දගේ සෑම මැතිවරණ ජයග්‍රහණයක්ම පිටුපස සිටි සංවිධායකයා වූ බැසිල්ට සහාය දක්වන බොහෝ ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධයේත් පොදුජන පෙරමුණේත් සිටිති. නාමල්ට මෙහිදී ලබාදුන් තැන ඔවුන්ගේ නිහඬ විරෝධයට හේතුවන බවත් ඒ නිසා කකුලෙන් ඇදීම් ඕනෑ තරම් සිදුවිය හැකි බවත් සිතාගැනීම අපහසු නැත. අවසානයේ ජනබලය කොළඹට විරෝධය ආණ්ඩුවට මෙන්ම ඒකාබද්ධයට සහ පොහොට්ටුවට ද සිග්නල් කිහිපයක්ම ලබාදී තිබෙන බව පැහැදිලිය. ඒ සමඟ මහින්දටද සිතන්නට යමක් ඉතිරි කර තිබේ.

කෙසේ වුවද යූ.එන්.පියත් ශ්‍රීලනිපයේ ජනාධිපතිගේ පාර්ශ්වයත් සිටින්නේ මේ තත්ත්වය දෙස සැහැල්ලුවෙන් බැලිය හැකි තැනක නොවේ. කොළඹට ආවේ මැයි දින රැලිවලට එනවා වැනි සෙනගක් බවත් අරක්කු බෝතලයට සහ බත් පැකට් එකට මෙවැනි පිරිස් ගෙන්වාගත හැකි බවත් කියා සැනසීමට ඔවුන් හැකියාවක් නැත. කොළඹ වැටලිය නොහැකි වුණත් එදා අතිවිශාල ජනතාවක් ආණ්ඩු විරෝධයට සහභාගි වූ බව යථාර්ථයයි. මේ පාක්ෂිකයන්ට රටේ සෙසු පිරිස් එකතු වූ දාට ආණ්ඩුවකට කටඋත්තර නැතිවන බවට අතීත උදාහරණ ඕනෑ තරම් තිබේ. 

එස්.බී. ප්‍රකාශ කරන්නේ තමන්ගේ ජනබල මෙහෙයුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද ආශිර්වාදය ලැබුණු බවය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබුණේ කොළඹට ගැලූ ජනගඟට කිසිදු හිරිහැරයක් හෝ බාධාවක් සිදුනොකරන ලෙසට එතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබූ බවය. එසේ වුවත් කිසිම ආණ්ඩුවක් තමන්ට එරෙහිව ජනතාව හිස ඔසවනවාට කැමැත්තක් දක්වන්නේ නැත. මේ බව චන්ද්‍රිකාගේ රජයේ කැබිනට් ඇමැතිවරයකුව සිටි එස්.බී. නොදැන සිටීමට හේතුවක් නැත. 2001 වසරේ යූ.එන්.පි.ය සංවිධානය කළ ජනබල මෙහෙයුමේදී පත්තු වූ රබර් උණ්ඩ සහ ජීවඋණ්ඩද කඳුළු ගෑස්ද එස්.බී.ට අමතක විය නොහැක. ඒ අතින් ජනාධිපතිවරයා එස්.බී. කියන ආකාරයට උපදෙසක් ලබාදී තිබුණා නම් එය අගය කළ යුතුය.

හැබැයි මේ ජනබලය කොළඹට වැඩපිළිවෙළේදී ආණ්ඩුව චන්ද්‍රිකාගේ සහ මහින්දගේ ආණ්ඩුවලට වඩා සීරුවෙන් කටයුතු කළ බව පැහැදිලිය. එසේ කිරීම හේතුවෙන් ඒකාබද්ධයේ සහ පොදුජන පෙරමුණේ නායකයන්ට සැප්තැම්බර් 05 වැනිදායින් පසුව කියන්න තිබෙන්නේ ආණ්ඩුව ගෙදර යවනතුරැ සටන් කරන බව පමණි. 2001 ජනබල මෙහෙයුමේදී තරුණයන් දෙදෙනකු වෙඩි වැදී මියගිය අතර මන්ත්‍රීවරුන් ගණනාවකට රබර් උණ්ඩවලින් තුවාල සිදුවිය. දහස් ගණන් ජනතාව කඳුළු ගැස් වැදීමෙන් මහත් අපහසුතාවකට පත්වූහ. එසේම මහින්දගේ පාලන කාලයේදී ඇතිවූ ජනඅරගල කිහිපයකදි කිහිප දෙනකුටම මරණය වැළඳ ගැනිමට සිදුවිය. තවත් පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා විය.

2001 ජනබල මෙහෙයුමෙන් පසුව පැවැති මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පැරුදුණේය. මහින්ද රතුපස්වල විරෝධයෙන් පසුව පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය විය. එහෙත් ජනබලය කොළඹට විරෝධතාව හේතුවෙන් කිසිවකුටත් හානියක් වුණේ නැත. කොටින්ම ආණ්ඩුව පොලීසිය යොදවා හෝ තමන්ගේ හෙංචයියන් යෙදවාගෙන විරෝධතාකරුවන් උසිගැන්වූයේ නැත. මේ නිසා ඒකාබද්ධයට කියන්න දෙයක් ඉතුරු වුණේ නැත. එහෙම වුණත් ඊළඟට තබන ඡන්දයෙන් මෛත්‍රීපාල- රනිල් ආණ්ඩුවට අත්වෙන්නේත් එදා චන්ද්‍රිකාගේ සහ මහින්දගේ ආණ්ඩුවලට අත්වූ ඉරණමමදැයි තීරණය කිරීමට තවම වේලාසන වැඩිය.

  ශශීන්ද්‍ර