2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

පිලියන් එකේ ඇඹිලිපිටියෙන් 

කොළඹට පැමිණි මෛත්‍රීපාල සිරිසේන

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන නිවෙස පසුගිය දිනවල දේශපාලන කරළිය තුළ පුවත් මැව්වේය. ඔහුගේ සොහොයුරු ටියුඩර් චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමඟුල් උළෙල ඊට අවස්ථාව පාදා දී තිබිණි. එහිදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මැදමුලන නිවෙසට ගොස් එහි ගත කළ මිනිත්තු 30ක කාලය තුළදී කළ කතාබහට ලොකු ප්‍රසිද්ධියක් ලැබිණි. එහිදී මෛත්‍රීපාල මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම නිවෙසට මීට කලින් පැමිණි අවස්ථාවක් සිහිපත් කළේය.

මම ඒ කාලෙ මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න කියලා ගෙහින් ගෙට ගිහින් කැන්වස් කරපු අය අතරේ හිටියා ඔහු කීය. එක් අවස්ථාවකදී තමන්ට යූ.එන්.පී. පිරිසක් පහරදීමට සූදානමින් සිටි බවත් වාසනාවකට මෙන් ඒ ගැන කලින්ම ඔත්තුවක් ලැබුණු බවත් ඔහු කීය. එතැන සිටි ආධාරකරැවෙක් ඔහුගේ මෝටර් සයිකලයෙන් තමන් ප්‍රදේශයෙන් පිටමං කිරීමට වහාම ඉදිරිපත් වූ බවත් කී සිරිසේන මහතා තමා ඔහුගේ මෝටර් සයිකලයේ පිලියන් එකේ නැගී ඇඹිලිපිටියේ සිට කොළඹට පැමිණි බව සඳහන් කළේ සිනාසෙමිනි.

මැදමුලන නිවෙසට මංගල සමරවීර ඇමැතිවරයා පැමිණි අවස්ථාවේදීද සිනා කතාවක් සිදුවිය. මහින්ද රාජපක්ෂ මහතා මංගල සමරවීර මහතාට අතට අත දී පිළිගනිමින් ඔයා කසාද බැන්දා කියල මට ආරංචියි* යැයි පැවැසුවේ විහිළුවට මෙනි.

නෑ.. නෑ... මම බැන්දෙ නෑ තරමක් ලජ්ජාවෙන් මංගල සමරවීර පැවැසුවේය. තමන් සමඟ පැමිණි කාන්තාව දෙසට වහාම හැරැණු ඔහු ඇය තමන්ගේ පෞද්ගලික ලේකම් ලක්ෂ්මි ජෙගනාදන් යැයි හඳුන්වා දුන්නේය. &මම ඇයව දන්නවා... මම දන්නවා* යැයි රාජපක්ෂ මහතා පිළිතුරැ දුන්නේය.

සන්ඩේ ටයිම්ස්

ව්‍යාපාරික විශ්වාසය වැටිලා!

ශ්‍රී ලංකාව තුළ එල්.එම්.ඩී - නීල්සන් ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය මේ මාසය තුළදී පසුබෑමක් පෙන්නුම් කරන බවත් එය ගතවූ මාස 12ක කාලය තුළදී සටහන් වූ අවම අගය බවත් වාර්තා වෙයි. ඒකක 06කින් දර්ශකය පහත වැටීම නිසා අගය 95ක් ලෙසින් වාර්තා වී තිබේ. එම අගය පිළිවෙළින් පසුගිය මාස 12 තුළදී සහ සමස්ත කාලය තුළදී වාර්තා වූ සාමාන්‍ය අගයන් වන 110 සහ 129ට වඩා පහළ අගයකි.

2018 වසරේ මුල් මාස 04 තුළදී අපනයන වර්ධනය ඉහළ ගිය ද එසේම සංචාරකයන්ගේ පැමිණීම සහ ආදායම මුල් මාස 06 තුළදී ඉහළ ගියද ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළට තල්ලුවීමක් තවම දැකගත නොහැකි බවත් උද්ධමනය ඉහළ යාම සහ අලුත් බදු හඳුන්වාදීම හේතුවෙන් පාරිභෝගිකයන්ගේ පොකැට්ටුව තවදුරටත් පීඩනයට ලක්වෙන බවත් නීල්සන් කළමනාකාර අධ්‍යක්ෂ ෂාරංග් පාන්ට් සඳහන් කරයි. අප්‍රේල් මාසයේ සිට පෞද්ගලික ආදායම් බදු ක්‍රියාත්මක වුණා. එසේම වට දෙකකින් තෙල් මිල වැඩිවුණා. එහි ප්‍රතිඵලය ජාතික පාරිභෝගික මිල දර්ශකය දිගටම ඉහළ යාමයි. ඔහු කියයි.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට ආයතනික වශයෙන් සංවේදී කාරණා ගැන සඳහන් කරන එක් අයෙක් පෙන්වා දෙන්නේ මේ රජය මගින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවල කිසිදු ස්ථාවරභාවයක් නොමැති බවය. එසේම සංවර්ධන ක්‍රියාදාමයේ සහ සැලසුම්වල කිසිදු සුදුසු මඟපෙන්වීමක් නැති බව තවත් එක් විධායකයෙක් පවසයි.

ඩේලි එෆ්.ටී.

රාජපක්ෂ පවුලේ වත්කම් සොයා අමෙරිකා ගිහින්

අමෙරිකානු රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරී කණ්ඩායමක් පසුගිය දිනවලදී අමෙරිකාවේ සංචාරයක නිරත වූහ. ඔවුන්ගේ වැඩසටහනේ අවසන් අංකය වූයේ අමෙරිකානු රහස් පොලිසියට (එෆ්.බී.අයි.) යෙදී තිබූ ගමනයි.

එෆ්.බී.අයි ආයතනයේ ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් එහිදී මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්ට සුදු කරපටි වංචා පිළිබඳ පැහැදිලි කර දෙන ලදී. ශ්‍රී ලංකා රජය මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයට අයත් වත්කම් සොයා දෙන්නැයි තම ආයතනයෙන් ඉල්ලීම කර ඇතැයි ද එහිදී සඳහන් විය.

එක් අයකු ප්‍රකාශ කළේ එෆ්.බී.අයි. නිලධාරීන් නිතරම ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇත්ත වශයෙන්ම එක් නිලධාරියකු කොළඹ රුඳී සිටින බවත්ය. සිද්ධිවලට අදාළ විස්තර ඔවුන් විසින් සපයාගෙන ඇති අතර ඒ පිළිබඳ ඉදිරි පියවර ගනු ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලංකා දූත පිරිසේ එක් නිලධාරියෙක් මෙසේ කීය. අප ඒ ගැන දැන සිටිනවා. මහ බැංකුවේ බැඳුම්කර වංචාව වැනි වර්තමානයේ සිදුවන තවත් එවැනි අපරාධ ගැනත් අප දන්නවා.

සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00