2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මුහුණු පොතෙන් වාද කරන හිමිවරු

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල විසින් නූතන සිංහල සංස්කෘතිය අරභයා කෙරෙන ලද වාද විවාද පිළිබඳ පොතක් පලකර තිබේ. එය ඔහු විසින් හොංකොං විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද නිබන්ධනයක් නැවත සකස් කර පලකරන ලද්දකි. එහි මවිසින් දැන් දශක තුනකට පමණ පෙර “ජනප්‍රිය සංස්කෘතිය” පිළිබඳ අරඹන ලද ජාතික සාකච්ඡාව පිළිබඳ විස්තරයක් ඇතුළත් කර ඇත. මාගේ තර්ක විතර්ක මෙන්ම එම සංවාදයට එක්වුණ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, රෙජී සිරිවර්ධන, අජිත් සමරනායක හා මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනගේ අදහස් ද එහි දක්වා තිබේ. එය එක් අතකින් සංවේගය දනවන කාරණයක් වන්නේ මා හැර එම සංවාදයට සම්බන්ධ වූ සියලු දෙනාම දැන් මිය පරලොව ගොස් ඇති බැවිනි. එය මිතුරන් අතර ඇති වූ අවංක මත ගැටුමකි.

මා මේ ලිපියෙන් ද ඉදිරිපත් කරන්නේ එවැනිම වැදගත් මාතෘකාවකි. එහි විවිධ පැතිකඩ ලිපි කිහිපයකින් විභාග කිරීමට බලාපොරොත්තු වෙමි. සමාජ විද්‍යාත්මක ඇසින් බලන කල පසුගිය දශක දෙක තුළ සංඝ සංවිධාන හා සඟුන්ගේ හැසිරීම පුදුමාකාර ලෙස වෙනස්වී ඇත. මුළු ලෝකයම පාරිභෝජනවාදයට ලක්වන කාලයක අල්පේච්ඡත්වය හා දැඩි පෞද්ගලික විනය මුල් කරගත් සඟ සසුන හැසිරිය යුත්තේ කෙසේද? අප නොදැනුවත්වම වාගේ සංගයාගේ කාර්යභාරය රැඩිකල් අයුරින් වෙනස්වන බව නොපෙනේද? දැන් වයෝවෘද්ධව සිටින ජ්‍යෙෂ්ඨ සංගයාගේ අභාවයෙන් පසුව සංඟ සංස්ථාව නොසිතූ ආකාරයට වෙනස් වී ‍ථෙරවාදයේ මධ්‍යස්ථානය වූ ලක්දිව දිගු කලක් තුළ රැකගත් ඒ දුෂ්කර දහම පුද පූජාවලට මුල් තැන මහායානයක් බවට පෙරළෙයිද? මේ කරුණු සක්සුදක් සේ පැහැදිලි වූයේ දැන් මුහුණු පොතේ දක්වන වැදගත් සංවාදයක් දෙස මගේ අවධානය යොමු කිරීමෙන් පසුවය. එම වාදය හටගෙන ඇත්තේ රැඩිකල් ක්‍රමයට සංඝ හැසිරීම වෙනස් කිරීමට යත්න දරන සමන්තභද්‍ර (පිටිදූවේ සිරිධම්ම) හිමි හා කිරිබත්ගොඩ ඥානානන්ද හිමි අතර ඇවිලී ඇති විවාදය නිසයි. ඇත්ත වශයෙන් එයට විවාදයක් ද කිව නොහැකිය.  මක්නිසාද කිරිබත්ගොඩ හිමි දැනටමත් සටනින් පලාගොස් ඇත. මුහුණු පොතේ දක්වා ඇති අයුරු උන්වහන්සේ එම විවාදයට නොපැමිනෙණ බව ප්‍රකාශ කර ඇත්තේ එම විවේචනවලට පිළිතුරැ සැපයීම නොමනා නිසා නොව සඟුන් අතර විවාද නොතිබිය යුතු යැයි තමාට වාසි වන පාඨයක ආධාර පතමිනි.

මා මුලින්ම කිව යුත්තේ කිරිබත්ගොඩ හිමි විසින් දියත් කර ඇති පුද පූජා ක්‍රමය මා කිසිසේත් අනුමත නොකරන බවයි. දරිද්‍රතාවයෙන් පෙලෙන දහස් සංඛ්‍යාත දරුවන් සිටින මෙරට ලක්ෂ ගණන් පෝෂ්‍යදායක පලතුරු දාගැබක් වටා ගොඩගසා නැති භංග කර දැමීම මොන අපරාධයක්ද? මේ අසංවේදිතාවය බුද්ධාගමට අපහාසයක් නොවේද? එයට මානසික ව්‍යාධියක් හැර වෙනත් නමක් යෙදිය හැකිද?  ඇත්ත වශයෙන් මෙවැනි පුදපූජාවලට අනුබල දෙන්නේ බුද්ධාගම නොව හින්දු ආගමයි. හින්දු දෙවි දේවතාවුන් හා පුදපූජා මහනුවර යුගයේදී කාන්දු වූ සැටි රචකයන් කීපදෙනෙක්ම විස්තර කර තිබේ. ඊටත් වඩා ජුගුප්සාසහගත වන්නේ මේ වෙළඳ ක්‍රියා මෙහෙයවන්නට වෙළඳුන් ඉදිරිපත්ව සිටීමයි. සුදු වතින් සැරසී මහත් භක්තියෙන් මේ පුද සත්කාරවලට එක්වන මහලු ගෑනුන් ඔවුන්ගේ මුදල් මේ තක්කඩියන් විසින් කඩා ගන්නා බව නොදන්නවා විය හැකිය.

එසේ වුවද මෙවැනි කටයුතු කරන්නේ කිරිබත්ගොඩ හිමි පමණක් නොවේ. උන්වහන්සේගේ ක්‍රියාපටිපාටිය අනුකරණය කරන තවත් තක්කඩි රැලක් බෝවී තිබේ. සමහරැ ලක්ෂ ගණන් මල් පූජා කරති. තවත් සමහරු ලක්ෂ ගණන් පහන් පූජා කරති. තවත් සමහරු ගැලුං ගණන් ගිතෙල් එක් කරති. සමහරැ දාගැබ් වටා බෞද්ධ කොඩි ඔතති. කිසිම ආගමික හෝ ආර්ථික ප්‍රතිලාභයක් නැති මෙවැනි මුග්ධ ක්‍රියා නිසා බෞද්ධ ප්‍රජාව ලෝකයා ඉදිරියේ විහිළුකරුවන් බවට පත්ව තිබේ. බොහෝවිට මේ පුදසත්කාර කරන්නේ කිසියම් ප්‍රභූවරයකුට සෙත් පැතීමටයි. එවැනි අලුගුත්තේරුවන්ට සෙත් පැතීමට තරම් දෙවිවරු මෝඩ නැති බව වැටහෙන්නේ නැද්ද?

මා ආයෝජන භාරව ඇමැතිව සිටි අවධියේ කුණ්ඩසාල ප්‍රදේශයේ මධ්‍යම පංතිකයන් වෙනුවෙන් නවීන තට්ටු නිවාස ක්‍රමයක් ගොඩනැගීමට සැලසුම් සකස් කළෙමි. ඒ සඳහා ඉඩමක් ද වෙන් කරගෙන එවකට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක ලවා මුල් ගලක් ද තබන ලදී. එහෙත් පුදුමයකි.  මා එම තනතුරින් නික්ම ගිය පසු ඉහත සඳහන් යතිවරයාගේ සහචරයන් විසින් එම සැලැස්ම ඉවත දමා එම වටිනා ඉඩම ‘මහමෙව්නාවක්’ කළේය. දැන් එය පාළු කනත්තකි. නාම පුවරුවක් පමණක් තිබේ. මේ ගැන තවදුරට සොයා යෑමේදී මට දැන ගන්නට ලැබුණේ රටේ විවිධ තැන්වල වටිනා ඉඩම් මෙසේ කොල්ල කා ඇති බවයි.  

සමන්තභද්‍ර රහතන් වහන්සේ සිය මුහුණු පොත තුළින් තවත් බරපතළ චෝදනාවක් එල්ල කරයි. එනම් රෝමානු කතෝලික පුද පූජා ද ආභාෂයට ගනිමින් අලුත් අලුත් පුද පූජා නිර්මාණය කරන බවයි. නූතනත්වය අනුව ආගමික වුතවල සංකලනයක් ඇතිවීම පුදුමයට හේතුවක් නොවේ. මහනුවර යුගයේදී සිංහල රජ පවුලට එක් වූ නායක්කාරවරුන්ගේ පුදපූජා හා සිරිත් බෞද්ධ වෘතවලට එක් විය. ඊට පෙර පටන් බමුණන් සිංහල සමාජයේ සිටි බවට සාක්ෂි තිබේ. උඩරට ප්‍රධාන රදළ පවුල් සියල්ලේම පාහේ බමුණු ඥාතීන් සිටි බව පෙනේ. මුලින්ම බමුණන් පැමිණ ඇත්තේ පූසාරිවරුන් හැටියටයි. නිදසුන් වශයෙන් සුප්‍රසිද්ධ රත්වත්ත පවුලේ පුරෝගාමියකු වන්නේ මාවනැල්ලේ අලුත් නුවර දේවාලයේ දේව කාරිය කළ බ්‍රාහ්මණයෙක් බව අනුරුද්ධ රත්වත්තගේ චරිත කතාව වූ “මහායායේ කතාවේ” සඳහන් කර තිබේ.

බ්‍රාහ්මණ පුද පූජා සහ දේවකාරියන් පැරැණි උඩරට සමාජයට ඇතුළු වුවද ඒවා සංවේදීව හා කලාත්මක බවකින් යුතුව අන්තර්ග්‍රහණය වී තිබේ. දැන් දළඳා පෙරහරේ දර්ශනීයම අංගයක් වූ වෙස් නැටුම පෙරහැරට එක්කරන ලද්දේ 1920 ගණන්වලදීය. ආගමික වෘතයක් වූ කොහොඹා කංකාරියේ නටන්නේ “යක් දෙස්සන්” හෙවත් දේව කාරියට කැප වූ කපු මහත්වරුන්ය. ඔවුන් හුදෙක් නැට්ටුවන් නොවේ. ඔවුන් රාජ රාජ මහාමාත්‍යවරුන් ඉදිරියේ නැටුවේ නැත. එහෙත් කල් යෑමේදී නුගවෙල දියවඩන නිලමේතුමාගේ ඉල්ලීම අනුව එම නැටුම් පෙරහරට ඇතුළත් කරන ලදී. ඉන් පසුව බස්නායක නිලමේවරැන් එම නැටුම් කණ්ඩායම් මාළිගාවේ ඇතා ඉදිරියට පමණක් නොව නිලමේගේ මහන්තත්වය පෙන්වන නැටුම් දක්වන්නන් බවට පත් කරගෙන තිබේ. මේ සැරේ තවත් පැරුණි සම්ප්‍රදාය කැඩිල්ලක් මට විද්‍යමාන විය. එය පෙරහැර දේශපාලනකරණයේ තවත් ලකුණකි. අප කුඩා කල දේවාලවල බස්නායක නිලමේලා මුලින් ගමන් කළ අතර පිටිසර දේවාලවල නිලමේලා ඔහු පසුපස ගමන් ගත්හ. බොහෝ දවස්වල බස්නායක නිලමේ පසුපසින් ආවේ පිටිසර දේවාල නියෝජනය කරන කෝරාලලා හා කපුවන් පමණි. දැන් පිටිසර නිලමේලා ද මැයි දිනයක ගමන් කරන්නා සේ බස්නායක සමග එකම පේලියට යාම පමණක් නොව ඔහුව අභිබවා යෑමට ඇඳුම්, මල්මාලා, ආදිය සකස් කර ගනිති.  පිටිසර නිලමේලාගේ ඡන්දය බස්නායක පත්වීමක් ගැනීමට අත්‍යාවශ්‍ය නිසා අනාගතයේ ද මීටත් වඩා ගරු බුහුමන් ඔවුන් වෙත ලබාදෙනු ඇත. නූතන සන්නිවේදනය මුල් කරගත් ලෝකයේ ආගමික සංවිධාන පවා අනාවරණයෙන් වෙනස් වෙන්නේ ඒ ලෙසටය. ඉදිරියට එන්නේ පිටිසර දේවාලවල නිලමේවරුන්ගේ කාලයයි.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00