2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

පක්ෂ සංවත්සර සහ රට

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

අපේ රට නිදහස දිනාගැනීමෙන් පසුව පාලනය වූයේ ප්‍රධාන පක්ෂ දෙකක් මගිනි. එක්සත් ජාතික පක්ෂය 1948 දී රට නිදහස ලබන විටද ප්‍රමුඛ දේශපාලන පක්ෂය බවට පත්ව සිටියේය. ඉන් පසුව 1951 දී ශ්‍රීලනිපය බිහිවිය. එතැන් පටන් කුමන සන්ධානයක් හෝ පෙරමුණක් හෝ මෙරට ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වී ජය ලැබුවත් පරාජය වුවත් ඒ සියලු අවස්ථාවල ප්‍රධානම පක්ෂය බවට පත්වූයේ එක්කෝ එක්සත් ජාතික පක්ෂයයි. නැතහොත් ශ්‍රීලනිපයයි.

මේ ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් මාර්ගවල ගමන් කළද පොදුවේ එකී පක්ෂවලට නායකත්වය ලබාදුන් ජන නායකයන් විසින් රටේ යහපත වෙනුවෙන් ඉටුකෙරුණු මෙහෙය විශාලය. රටේ නායකත්වය ලබාගෙන පසුව ඡන්දවලින් පැරැදී ගෙවල්වලට යන්නට වුවත් මේ නායකයන් විසින් ඉටුකරන ලද මෙහෙවර රටේ ජනතාවගේ සිත් තුළ රුඳී පවතී. මතවාදී වශයෙන් වෙනස් වුවත් මේ දෙපක්ෂයම නියෝජනය කරන ජනතාව එකී පාලන කාල තුළදී ලබාගන්නා ලද ජයග්‍රහණ සම සේ භුක්ති විඳිති. එසේම ගන්නා ලද අනිටු තීන්දු තීරණවල පල විපාකද එකට විඳ දරාගනිති. එහෙත් සෙසු ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් නොව මේ රටේ දේශපාලන නායකත්වයන්  රැඩිකල් වෙනස්කම්වලට මුහුණ දී නැත. එනම් තවමත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් කවුරුන් බලයට පත්වුවත් එසේ බලයට පත්වූ සියලු නායකයන් රටේ දේශපාලන වංශකතාවේ පරපුරක් නියෝජනය කළ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත පවුල් පසුබිමකින් පැමිණියෝ වෙති. 1948 සිට 2018 දක්වා ඒ තත්ත්වය වෙනස් වී නැත.

අප මේ කෙටි විස්තරය සඳහන් කළේ එජාපයත් ශ්‍රීලනිපයත් දෙපක්ෂයම සිය පක්ෂ සංවත්සර දෙක පසුගිය දින කිහිපය තුළදී සැමරීම අවස්ථාවක් කරගනිමිනි. පක්ෂ සංවත්සර සමරන මේ දැවැන්ත පක්ෂ දෙකටම අද සිය අතීතය සහ වර්තමානය දෙස සංසන්දනාත්මකව බැලීමේදී සතුටු විය හැකිද? එසේ සතුටු විය හැකි නම් රට පැවැතිය යුත්තේ අද තිබෙන තත්ත්වයේද? නමුත් ජනතාවගේ පැත්තෙන් බැලුවොත් අද මේ පක්ෂ දෙකම සිටින්නේ එසේ සතුටු විය නොහැකි තත්ත්වයක බව පැහැදිලිය.
ශ්‍රී ලංකාව ආසියාවේ කැපීපෙනෙන රටක් බව සැබෑය. අප අභිමානවත් රටක පුරවැසියන් වුවද ආසියාවේ සෙසු රටවල් බොහොමයක් අප නිදහස ලබා ගෙවීගිය පසුගිය වසර හැත්තෑව තුළදී අප පසුකොට බොහෝ දුරක් ගොස් ඇති බව සඳහන් කළ යුත්තේ කනගාටුවෙනි. නවසිය පනස් ගණන්වලදී කොරියාව යනු අපේ රටට සංසන්දනාත්මකව මුඩුක්කුවක් විය. ඉන්දියාව මහ මඟ අයිනේ ප්‍රසිද්ධියේ ශරීර කෘත්‍ය කරන කෝටි ගණනක් ජනතාව සාගින්නෙන් සිටින රටක් විය. සිංගප්පූරුව, මැලේසියාව මුඩුබිම් සහිත රටවල් විය. වියට්නාමය ගැන කතා කරන්නටවත් ඒ කාලයේ සිටියේ ඔවුන් සමඟ යුදවැදී සිටි අමෙරිකාව පමණි. ඒ කාලයේ ශ්‍රී ලංකාව ආසියාව තුළ ජීවත් වීමට සුදුසුම පරිසරය තිබූ රට විය. ගන්නා වැටුප කොතරම් සුළු වුවද එයින් බඩ කට පුරා කා බී කීයක් හෝ ඉතුරු කරගෙන සාමකාමීව ජීවත් වීමට බාධාවක් තිබුණේ නැත. එහෙත් අද?

අපේ රට ආසියාවේ සෙසු බොහොමයක් රටවල් ලබා ඇති දියුණුව සමඟ සාපේක්ෂව සිටින්නේ ඉතාම පහළ මට්ටමකිනි. ඒකපුද්ගල ආදායම වැඩි කරගෙන තිබෙන එම රටවල් තාක්ෂණික දියුණුව අතින්ද ලබා සිටින්නේ ඉතා ඉහළ ආර්ථික වර්ධනයකි. මේ සියල්ල සිදුවන්නේ සාක්ෂරතාව අතින් ආසියාවේ ඉතාම පොහොසත් රට වශයෙන් ශ්‍රී ලංකාව විරුදාවලි ලබා සිටියදී වීම ලොකුම කනගාටුවයි. 

සිංගප්පූරුව ඉතාම වේගයෙන් සංවර්ධන තරගයේ කප් එක ගහද්දී මැලේසියාව, ඉන්දියාව පමණක් නොව වියට්නාමය පවා ප්‍රබල ස්ථාන රැකගැනීමට සමත්ව සිටී. දකුණු කොරියා ආර්ථිකය දැන් දෙවැනි වන්නේ ජපානයට සහ චීනයට පමණි. මේ රටවල්වලට පුළුවන් නම් ඇයි ශ්‍රී ලංකාවට බැරි යන ප්‍රශ්නයට එජාපය සහ ශ්‍රීලනිපය යන දෙපක්ෂයම සිය සංවත්සර සමරන මේ දිනවලදී පිළිතුරැ සෙවීම අවශ්‍යය. වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය විසින් රටේ දියුණුව ආපස්සට හරවන ලද බව සැබෑවක් වුවද දෙවැනි ලෝක යුද්ධයේදී බිමට සමතලා වී ගිය ජපානයට අද ලෝකයේ ලොකුම ආර්ථික බලවතකු වීමට හැකිවූවා නම් ශ්‍රී ලංකාවටත් එය බැරිවීමට හේතුවක් නැත. ඒ ගැන රටේ ජනතාවට ලොකු කනස්සල්ලක් තිබේ. එම කනස්සල්ල රටේ නායකයන්ටද එක සේ නොදැනීම ලොකුම අවාසනාවයි.