2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මැදමුලන ගමන

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

මඟුල් ගෙවල්, මරණ ගෙවල් අපේ රටේ දේශපාලනයේ ඇතැම් අවස්ථාවලදී හැරවුම් ලක්ෂ බවට පත්වූ අවස්ථා තිබේ. එහෙම වෙන්නේ මඟුල් ගෙදර හෝ මරණ ගෙදර සමීප ඥාතීන් ඉහළ දේශපාලන චරිත වන අවස්ථාවලදීය. සමහර විට උත්සවය ඉහළ දේශපාලනඥයකුට සම්බන්ධ නොවුණත් එවැනි අවස්ථාවකට සහභාගී වන දේශපාලනඥයන්ට තමන්ගේ පසමිතුරු නායකයකු හමුවී කරන කතාබහ දේශපාලන කරළිය උණුසුම් කරන මාතෘකා බවට පත්වෙයි. පසුගියදා මැදමුලන මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසද කරළිය උණුසුම් කළ හමුවීම්වලට ඉඩක් පෑදුවේ මහින්දගේ සොහොයුරකුගේ මරණය සමඟිනි.

චන්ද්‍රා රාජපක්ෂ මහින්දගේ පවුලේ තුන්වැනියාය. ඔහුගේ හදිසි මරණය පවුලේ සමීප ඥාතීන් දැඩි කම්පනයකට පත් කර තිබිණි. අවමංගල්‍යයේ සියලු කටයුතු සිදුවූයේ මහින්දගේ පරීක්ෂාව යටතේය.

කොහොම වුණත් රටේ දැනට පවතින දේශපාලන තත්ත්වය නිසා මරණ ගෙදරට ආ ගිය සහ නොගිය සියලු දෙනාගේම අවධානය ඒ කෙරෙහි යොමුවී තිබුණේය. විශේෂයෙන්ම මරණගෙදරට පැමිණ මහින්ද හමුවී කතාබස් කරන දේශපාලන නායකයන් කවුදැයි සෙවීමට හැමෝගේම ඇස් යොමුවී තිබුණේය. අගමැති රනිල් සිටියේ විදෙස් සංචාරයකට සහභාගි වෙමින් නිසා ඔහුගේ ශෝක පණිවුඩයද රැගෙන මැදමුලනට ඇවිත් සිටියේ කබීර් හෂීම් ඇතුළු ඇමැතිවරැන් කිහිපදෙනෙකි. එහෙත් මැදමුලනට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ගමනත් එහිදී හිටපු ජනපති රාජපක්ෂ සමඟ සිදුකෙරුණු සුහද පිළිසඳරත් රටේ දේශපාලන පෙරළියක පෙරනිමිති පහළ කරවන තරමට සාකච්ඡාවට භාජනය වෙමින් තිබේ. ජනාධිපතිවරයා මැදමුලනට ගොස් සිටියේ මහනුවර ඇසළ උළෙලේ සමාප්තිය පිළිබඳ සන්නස බාරගැනීමේ අවස්ථාවට සහභාගි වීමට ගිය ගමනට කලිනි.

මේ අවස්ථාව හැමෝගේම මේ තරමට විමසිල්ලට ලක්වූයේ මේ දවස්වල දේශපාලන වේදිකාවේ තිරය පිටුපසින් ඇසෙන දේශපාලන කපුකමක කතාබහ හේතුවෙනි. මහින්දත් මෛත්‍රීත් එකතුවෙන්න ඉඩකඩක් තියෙන බවත් දෙදෙනාගේම පණිවුඩ දෙපැත්තට ගෙන යන මැති ඇමැතිවරුන් පිරිසක් සිටින බවත් මේ දෙපාර්ශ්වයේම පිරිස් කියති. එස්.බී., ඩිලාන් මේ කපුකමේ ප්‍රධාන චරිතවලට පණපොවන බවද සඳහන්ය. හැබැයි මෙහෙම එකතුවකට පොහොට්ටුවේත් ශ්‍රීලනිපයේත් බහුතර පිරිසක් විරුද්ධ බවත් එවැනි එකතුවක් සිදුනොවනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කරන බවත් කියති.

එකමුතුවකට සහාය දැක්වීමත් විරෝධය පෑමත් මේ දෙකම දේශපාලනයේ දී එකම කාසියක දෙපැත්තකි. රටේ අනාගතයේ යහපතට වඩා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රවලට මුල්තැනක් දීමට සිදුවීම මෙවැනි තත්ත්වයකට මඟපාදා ඇති බව පැහැදිලිය. මහින්දට සමීපව සිටින කිසිවකුත් මෛත්‍රීපාල සමඟ එකතුවකට කැමැති නොවනු ඇත. ඒ බව තේරුම්ගැනීම පහසුය. මේ කපුකමට සම්බන්ධව ඉදිරියෙන්ම සිටින්නේ 2015 මහින්ද පරාජය වීමෙන් පසුව ඔහුගෙන් ඉවත් වී යහපාලන රජයට සහාය දැක්වූ මැති ඇමැතිවරුන්ය. මේ අය පාර්ලිමේන්තුවට ආවේ මහජන ඡන්දයෙන් නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් සකස් කරදුන් ජාතික ලැයිස්තුවේ ගමන් මඟ ඔස්සේය. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මහජන ඡන්දයෙන් තේරීපත්වූවන්ට වඩා වෙනස්ය. රටේ අනාගතය කෙසේ වෙතත් තමන්ගේ අනාගතය, තමන්ගේ සමීපතමයන්ගේ අනාගතය මෙහිදී තීරණාත්මක සාධක වී ඇති බවක් පෙනීයයි.

මෙවැනි එකතුවකට විරෝධය දක්වන පිරිස ඉන්නේ පොහොට්ටුවේය. ඊට හේතු දැක්වීමක් අවශ්‍ය නැත. කිසියම් හේතු දැක්වීමක් අවශ්‍ය වූවා නම් පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය විසින් එම අවශ්‍යතාව අවලංගු කරනු ලැබ තිබේ. රටේ ජනතාව අතර ජනප්‍රියම නායකයා මහින්ද බවත් ඔහුගේ ජනප්‍රියත්වය ඡන්ද බවට හැරවීමේ යාන්ත්‍රණය සකස් කළේ තමන් බවත් පොහොට්ටුවේ නායකයන් නොකියා කියන කතාවය. පොහොට්ටු විප්ලවයේ නියමුවා වන බැසිල් වරක් කිව්වේ ආණ්ඩුවට එකතු වී සිට ආපසු පැමිණි කිසිම ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු තමන්ගේ පක්ෂයට එකම ඡන්දයක් හෝ අලුතින් එක් නොකරන බවය. එහි ඇත්ත නැත්ත එකවරම විස්තර කිරීම අපහසු වුවද මේ මැති ඇමැතිවරුන්ටද මහ මැතිවරණයේදී විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබූ බවද අමතක කළ නොහැක. එසේ නම් බැසිල් මේ කියන්නේ ඔවුන්ට ඡන්ද නැති බව නොව ඔවුන්ගේ ඡන්දවලින් තමන් ලබන ප්‍රතිඵලය වෙනස් කළ නොහැකි බව විය යුතුය. 

එවැනි තර්කයක් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් සත්‍ය විය හැකිය. එහෙත් ජනාධිපතිවරණයකදී මේ තත්ත්වය වෙනස්ය. ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ වන්නේ රටම එකම ඡන්ද කොට්ඨාසයක් වශයෙනි. එහිදී පේදුරැතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ඇති හැම ඡන්දයකටම වටිනාකමක් ඇත. ඒ බව බැසිල් නොදන්නවා විය නොහැක. නමුත් මේ අවස්ථාවේදී ඒ බවක් පෙන්වීම පොහොට්ටුව තුළ නැති ප්‍රශ්න ඇතිකිරීමක් වන බව ඔහු හොඳින්ම දැන සිටී. එය වළක්වාගැනීමේ උත්සාහයක් එම වචනවල තිබෙන බව පැහැදිලිය.

පළාත් පාලන මැතිවරණයෙන්ද ලොකු පරාජයක් ලබා පළාත් සභා මැතිවරණය නොතබන තැනකට පොහොට්ටුව විසින් රජය තල්ලුකර සිටියත් ජනාධිපතිවරණ ඡන්දයේදී යූ.එන්.පි.යට එරෙහිව තීන්දු ගැනීමේ ප්‍රධානියා මහින්ද වීම වැළැක්විය නොහැක. පවුලේ සාමාජිකයන් පමණක් නොව තමන්ගේ සමීප දේශපාලන නායකයන්ද ගාණට මිම්මට බැලන්ස් කරගන්නා මහින්ද ජනාධිපතිවරණයේදී මුහුණදීමට සිදුවන තත්ත්වය හොඳින්ම අවබෝධ කරගෙන සිටී. තමන් විසින් නම්කරනු ලබන අපේක්ෂකයා වෙනුවෙන් කොතරම් කැම්පේන් කළත් ජනාධිපතිවරණයකදී තීරණාත්මක සාධකයක් වන සුළු ජාතික ඡන්ද ලබාගැනීම ලොකු ගේම් එකක් බව මහින්ද නොදන්නවා නොවේ. ඒ සමඟ යූ.එන්.පියද ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හරහා ගමේ ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට අතගසා සිටින බවද ගමේ ඡන්ද විවිධ ණය සහන ලබාදීම් හරහා ආකර්ශනය කර ගැනීමට සමත් වුවොත් වැඩේ ගොඩවිය හැකි බවද ඔහු දැන සිටී. තම සොහොයුරාගේ මරණය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට මැදමුලනට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සුහදව පිළිගෙන පිළිසඳරක යෙදීමට මහින්ද පෙළඹවූයේ එම කාරණාද?

ඒ බව හරියටම කිව හැකිවන්නේ මෙතැනින් පසුව කරළියේ පසුපස දිගහැරෙන කතාබහ ගැන සොයා බැලීමෙනි. මැදමුලන නිවසේ පැවති සත්දවසේ පින්කමේ ධර්මදේශනාව සඳහා වැඩම කරවනු ලැබ සිටියේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණෝය. අභයතිස්ස නාහිමියෝ මහින්දට සමීපව කටයුතු කරන හිමිනමක් වශයෙන් ප්‍රසිද්ධය. සත්දවසේ පින්කමට රජයෙන් සහභාගි වී සිටි මංගල සමරවීර ඇමැතිගේ පැමිණීමද මේ සියලු කතාබහට උත්තේජනයක් සපයා තිබුණි. එහිදී මංගල සහ ගෝඨාභය අතරද හමුවක් සිදුවූ අතර සුබපැතුම් පිරිනැමීමක් ගැන අසන්නට ලැබීමද කතාබහට ලක්විය. මේ කාරණා සියල්ලම හේතුවෙන් මැදමුලන පසුගිය සතියේ ලොකුම දේශපාලන කේන්ද්‍රය වී තිබුණේය.

දැනට දැනගන්නට තිබෙන්නේ මෙතෙක් මහින්ද - මෛත්‍රීපාල එකතුවකට දැඩිව විරෝධය දැක්වූ ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් තරමක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවකි. උගත්, රටක් සමාජයක් පිළිගන්නා පිරිසක් ද ඒ වෙනුවෙන් පෙනී සිටින බවක් ද පෙනේ. මැදගොඩ නාහිමියන් මෙහිදී විශාල භූමිකාවක් ඉටුකිරීමට ඉදිරිපත්ව සිටින බවත් ඒ සඳහා තවත් උගත් ප්‍රසිද්ධ නමක් ඇති නාහිමිවරැන් පිරිසක් සම්බන්ධව සිටින බවත් කියති. මේ සම්බන්ධයෙන් තවම වැඩිදුර කරුණු දැනගන්නට නැතත් වැඩේ යටින් සිදුවන බවට හැම අතින්ම පෙනෙන්නට තිබේ.

දේශපාලනය මහා අමුතුම සෙල්ලමකි. අද මිතුරා හෙට සතුරාය. අද සතුරා හෙට මිතුරාය. මඟුල් ගෙවල් සහ මරණ ගෙවල් ඒ යාළු මිතුරුකම් ඇතිකර ගැනීමට, නැතිකර ගැනීමට යොදවාගන්නා බවක් පෙනේ. මීට පෙර මහින්දත් ජනාධිපති මෛත්‍රීපාලත් ප්‍රසිද්ධියේ එකට මුණගැසුණේ මන්ත්‍රී ලක්ෂ්මන් යාපාගේ පුතණුවන්ගේ මඟුල් ගෙදරදීය. ඉන්පසුව මේ දෙදෙනා හමුවන්නේ මැදමුලන මරණගෙදරදීය. පළමු හමුවීම නම් එතැනින් එහාට ගියේ නැත. හැබැයි මැදමුලන හමුවීම නම් තවදුරටත් ඉදිරියට යන බව පෙනෙන්නට තිබේ. අගමැති රනිල් මේ තත්ත්වය කොහොම දකිනවාදැයි කියන්න දන්නේ නැත.

 ශශීන්ද්‍ර