2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

බාලගිරි පළාත් සභා

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

මේ රටේ ඡන්ද කෙරුවාව හැබෑම විහිළුවක් බවට පත්වෙමින් තිබේ. ඡන්ද කෙරුවාව කියන්නේ ඡන්ද යාන්ත්‍රණය නොවේ. ඡන්ද පැවැත්වීමය. ඡන්ද පැවැත්වීම විහිළුවක් වෙනවා නම් එය පැහැදිලිවම ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය සමඟ ගැටගැසෙයි. අභියෝගයට ලක්වෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතියයි. තමන්ගේ ඡන්දය විහිළුවකට ලක්වෙනු දැකීමට කැමැති ජනතාවක් මේ රටේ නම් නොමැති බව මුලින්ම සඳහන් කළ යුතුය.

ඉහත කී කාරණාව අප සඳහන් කළේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් රටේ දේශපාලන කරළිය තුළ වර්තමානයේ හටගෙන තිබෙන අලකලංචිය හේතුවෙනි. පළාත් සභා තුනක, හරියටම කිව්වොත් උතුරැමැද, සබරගමුව සහ නැගෙනහිර විසිර ගොස් දැන් වසරක් ගෙවී තිබේ. තව සති කිහිපයකින් මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් සභා විසිර යාමට නියමිතය. මේ පළාත් සභාවලට අදාළව ඡන්දය පැවැත්වීම නිදහසින් පසුව බිහිවූ ශක්තිමත්ම සම්මුතිවාදී, ජාතික ආණ්ඩුව වශයෙන් හඳුන්වාගන්නා වත්මන් යහපාලන ආණ්ඩුවට මහ විශාල ගැටලුවක් වී තිබේ. රටේ සෙසු ගැටලු කෙසේ වෙතත් ඡන්දයක් පවත්වාගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම හෝ දමාගැනීමටවත් නොහැකි නම් එය ආණ්ඩුව තම ශක්තිය නොව දුර්වලකම ප්‍රදර්ශනය කිරීම බව කිව යුතුය.

පළාත් සභා හයේම ඡන්ද එකම දිනයක පැවැත්විය යුතු බවට මුලින් යෝජනාවක් ආවේ ආණ්ඩුවෙනි. පසුගිය පාලන කාලය තුළදී හිතෙන හිතෙන දවසට පළාත් සභා කඩින්කඩ ඡන්ද පැවැත්වීමේ ක්‍රමයට තිත තැබීමට අවශ්‍යවීම ඊට හේතු වශයෙන් පෙන්වාදෙනු ලැබීය. පළාත් සභා ඡන්ද කඩින්කඩ පවත්වන විට පවතින ආණ්ඩුවට ඒ සඳහා මුළු වැර යොදා බලපෑම් සිදුකළ හැකිය. එවැනි බලපෑම් ඒ කාලයේ සිදුවූ බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ ඒ ආකාරයට දූෂිත ගණයට වැටෙන ඡන්ද පැවැත්වීමෙන් නොවන බවටත් යහපාලනයේ අද ඉන්නා නායකයෝ එදා කෑගැසූහ. එහෙත් දූෂිත ගණයට වැටුණත් ඡන්ද පැවැත්වීම, තාක්ෂණික හේතු පෙන්වා ඡන්ද නොපවත්වා සිටීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව පෙන්වාදිය යුතුය. එසේ නොවන බව කිවහැක්කේ ඡන්දයක් පැවැත්වීමට කුමන හේතුවක් නිසා හෝ බියක් දක්වන පිරිසකට පමණි.

දැන් සිදුවෙමින් තිබෙන්නේ පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කර ගැනීමේ ක්‍රියාවලිය ඇනහිටීමය. පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ සීමානිර්ණ කමිටු වාර්තාවට ආණ්ඩුවේම පාර්ශ්වම විරුද්ධ වීමට තීන්දු කිරීම මෙහි ඇති ලොකුම විහිලුවය. ඒකාබද්ධ විපක්ෂයද එම පනතට විරුද්ධ වීමට තීරණය කර තිබූ අතර රජයට සම්බන්ධ ශ්‍රීලනිපය එම පනතට පක්ෂ වන බව මුලින් කියා තිබිණි. එහෙත් පනත ඉදිරිපත් කිරීමට නියමිත වූ 24 වැනිදා සිකුරාදා උදෑසන තීන්දු කර තිබුණේ පනතට විරැද්ධ වීමටය. පනතට පක්ෂව සිටියේ ජවිපෙ පමණි.

ආණ්ඩුවෙන්ම ගෙන එන පනතකට විපක්ෂය විරුද්ධ වීම සාමාන්‍ය සිරිතකි. එහෙත් ආණ්ඩුවම පනතට විරුද්ධ නම් එවැනි පනතක් ඉදිරිපත් කිරීමට තීන්දු කළේ මොන කෙංගෙඩියකටදැයි රටේ ජනතාව නිසැකවම විමසනු ඇත. පාර්ලිමේන්තුවට පළාත් සභා සීමානිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට ගතවූ කාලයත් වැයවූ මුදලත් ඒ සඳහා සාක්ෂි ලබාදුන් සහ කමිටුවේ කටයුතු ඉටුකළ නිලධාරීන්ගේ වටිනා කාලය සහ ශ්‍රමයත් නිරපරාදේ කා දැමිණි. මේ නාස්තියට දැන් වගකියන්නේ කවුද? ආණ්ඩුව එහි වගකීම බාරනොගන්නා බව නම් සහතිකය.

මීළඟට සිදුවීමට නියමිතව ඇත්තේ සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කතානායකගේ නියෝගයෙන් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලබන පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමය. සීමානිර්ණ වාර්තාව පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කොට මාස දෙකක් තුළදී ලබාදෙන කමිටු වාර්තාවට අනුව ඉදිරි කටයුතු කෙරෙනු ඇත. එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් පනත සම්මත විය යුතු නැතැයි සඳහන් වේ. එය එසේ නම් මේ තරම් මහන්සියක් දරා පනත සම්මත කර ගැනීමට සූදානම් වූයේ ඇයිදැයි යන්න ගැටලුවකි. මේ සියලු දෙනා උත්සාහ දරන්නේ පළාත් සභා ඡන්දය කල්දැමීමට කිසියම් උප්පරවැට්ටියක් යෙදීමටද? ඒකාබද්ධ විපක්ෂයට නම් එවැනි අවශ්‍යතාවක් නැති බව ඉතාම පැහැදිලිය. එසේ නම් මේ අවශ්‍යතාව, එනම් ඡන්දය කල් යවාගැනීම ආණ්ඩුවේ සැඟවුණු අරමුණ බවට ජනතාව චෝදනා කරනු ඇත. එයට පිළිතුරු බැඳීම ආණ්ඩුවට එතරම් පහසු නොවනු ඇත.

පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ නව ක්‍රමයටද එනම් මනාප සහ කේවළ මිශ්‍ර ක්‍රමයටද යන්න විවාදයට තුඩු දී තිබෙන ප්‍රශ්නයයි. ජවිපෙ පනතට පක්ෂ වන්නේ ඔවුන් සැමකල්හිම මනාප ක්‍රමයට විරුද්ධව ක්‍රියා කරන බැවිනි. රජයට එම ක්‍රමය අවශ්‍ය වුවද ඊට සම්බන්ධ සුළු පක්ෂවල විරෝධය හේතුවෙන් ඔවුන්ට පනතට විරුද්ධවනවා හැර වෙනත් විකල්පයක් නොතිබෙන්නට ඇත. එහෙත් නිසි කලට පැවැත්විය යුතු පළාත් සභා ඡන්ද කල්දමාගැනීමට මෙවැනි උපක්‍රම යොදවාගැනීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගාදැමීමකි. එය ඔවුන්ගේ ප්‍රබල විරෝධයට හේතුවිය හැකි බව රජයේ බලධාරීන් තේරැම්ගැනීම අවශ්‍යය. දහසක් ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට මෙවැනි කාරණා තවත් එම පීඩනය වැඩි කරවීමක් මිස සහනයක් නොවන බව රජය දැනගැනීම අවශ්‍යය.