2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

අද විශේෂ ස්ට්‍රයික්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

තරමක් පැරැණි කාලයේ නගරබද හෝටල් ඉදිරිපස ජනප්‍රිය දැන්වීමක් එල්ලා තිබුණේය. අදත් ඇතැම් විට දැකිය හැකි මේ දැන්වීම එදිනෙදා හෝටලයේ අලෙවියට තබා තිබෙන කෑම වර්ග සහ ඒවායේ මිල ගණන් සඳහන් පුවරුවට ආසන්නව රැඳී තිබිණි. එහි ලොකුවට සඳහන් වුණේ අද විශේෂ යන වචන දෙකයි. ඊට පහළින් හුණුකූරක් වැනි යමකින් ලියා තිබුණේ එළු සුප්, බාබත්, බැදපු ඉස්සෝ වැනි ජනප්‍රිය ආහාර වර්ගයක නමකි. සමහරැ මේ හෝටල්වලට ඇතුළු වූයේම අද විශේෂ වට්ටෝරුවේ සඳහන් ආහාර වර්ගය ගිලදැමීමේ ආසාවෙනි. අප මේ ටික මතක් කර දෙන්නේ දැන් ටික කලෙක සිට අපේ රටේ විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ක්‍රියාත්මක අද විශේෂ වර්ගයේ තවත් දෙයක් ගැන කීමටය. එය එළු සුප් වැනි කෑම විශේෂයක් නොව වැඩවර්ජන විශේෂයකි. 

ඒ කාලයේ හෝටලයකට ඇතුළුවන පාරිභෝගියකු අද විශේෂ බෝඩ් ලෑල්ල දෙස බලන ආකාරයටම වර්තමානයේ නිවසෙන් එළියට බසින ඕනෑම අයකු අද විශේෂ වැඩවර්ජනය කුමක්දැයි සොයාබැලීම අවශ්‍යය. ඒ තරමට හැමදාම වැඩවර්ජනය. අපේ මාතෘකාවට අදාළ වන්නේ මේ දිනවල පවතින ප්‍රයිවෙට් බස් වැඩවර්ජනයයි. එය ක්‍රියාත්මක බව ප්‍රකාශ කර තිබුණේ එහි ප්‍රධාන මෙහෙයුම්කරු වන සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක මහතා විසිනි. (මේ සටහන තබන විටත් වර්ජනය ක්‍රියාත්මක වෙමින් පැවැති නිසා මේ සඳහන් කරැණු වැඩවර්ජනයට අදාළව ලියැවෙන බව සැලකුව මැනවි.) ඔහු එසේ පැවසුවද ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික බස් සේවක වර්ජනය සමස්තයක් වශයෙන් අසාර්ථක බවය. මේ දෙපාර්ශවයට තමන්ගේ පම්පෝරිය කියා ගැනීමට ඉඩ දෙමින් අපි වැඩවර්ජනය ගැන කතා කරමු.

බස් සේවක වර්ජනය මෙහෙයවන සංගමය පවසන්නේ තමන් නව දඩ පත්‍රිකාවට විරෝධය පළකිරීම සඳහා මේ වර්ජනය මෙහෙයවන බවය. පැරැණි දඩක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ. තමන්ගේ ඉල්ලීම ඉටුකළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද ඔවුහු කියති. සමහර විට ඔවුන් මේ ඉල්ලීම ඉදිරිපත් කරන්න ඇත්තේ දුම්රිය සේවක වැටුප් විෂමතා ගැටලුව පැයක දෙකක සාකච්ඡාවකින් විසඳීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ නිසා වියහැක. ඊට දොසක් කිව නොහැකි නමුත් දුම්රිය සේවක වැටුප් ප්‍රශ්නය ඒ ආකාරයට විසඳී නොමැති බවද බස් වර්ජන සේවක සමිතිය දැන සිටීම වැදගත් වනු ඇත.

ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන් පමණින් කිසිම ගැටලුවක් විසඳෙන්නේ නැත. එසේ වීනම් මේ වනවිට මේ රටේ විසඳන්නට ප්‍රශ්නයක් ඉතිරි වන්නේ ද නැත. ජනාධිපතිවරයා ඒ තරම් වේගයකින් පොරොන්දු ලබාදෙයි. පවතින මේ යථාර්ථය පිළිබඳව සිහියේ තබාගනිමින් කටයුතු කිරීම ඕනෑම වැඩවර්ජනයක් මෙහෙයවන වෘත්තීය සමිතියක වගකීමද වෙයි.

හරියට බැලුවොත් බස් සේවකයකුට තබා බස් හිමිකරුවකුට වුවද දින කිහිපයක් බස් නොදුවා සිටීමට හැකියාවක් නැත. තමන්ගේ ආදායම අහිමි වීම නිසා බස් හිමිකරුවෝ ෆිනෑන්ස් ගෙවාගත නොහැකිව අමාරැවේ වැටෙති. බස් රියැදුරු, කොන්දොස්තර සේවකයන්ට දවස ගානේ ලබන වැටුප් නොලැබීමෙන් ඔවුහු ද අසරණ වෙති. මෙවැනි අත්තනෝමතික තීන්දු මත සිදුකරන වැඩවර්ජක සේවක සමිතිවලට අන්තිමට සිදුවන්නේ අපි සටන දිනුවා යැයි බොරැවට හෝ ප්‍රකාශයක් කර බස් ටික පාරට දැමීමටය. විශේෂයෙන් බස් ගැමුණුගේ සංගමයේ සහායකින් තොරව බස් වැඩවර්ජනයක් සාර්ථක කරගැනීමට ඇත්තේ අල්ප ඉඩක් බැවිනි.

මේ සියල්ලටමත් වඩා වැදගත් කාරණය වන්නේ වර්ජනයට හේතුවයි. නව දඩ ක්‍රමය එපා කීමට මේ රටේ බස් හිමිකරුවන්ට තිබෙන අයිතිය කුමක්දැයි විමසීමට රටේ ජනතාවට අයිතියක් තිබේ. රටේ සිදුවන භයානක රිය අනතුරු අධික සංඛ්‍යාවත් එම අනතුරුවලට බස් රථ ඇතුළු වෙනත් වාහන හේතුවීමත් සලකා බලන විට ඊට කොතැනකින් හෝ විරාමයක් තැබිය යුතුව තිබිණි. අපේ රටේ දිනකට හදිසි අනතුරැ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. මේ වැඩවර්ජනය ඇරුඹීමට පැය 24කට පෙර පිටකොටුවේදී ඩී.අයි.ජී. පොලිස් කාර්යාලයේ ප්‍රධාන  නිලධාරිනියක් ඒ අසලදී මිය ගියේ ප්‍රයිවෙට් බස් රියක ගැටීමෙනි. පසුගිය සති කිහිපය තුළ සිදුවූ එක් බස්රිය අනතුරකින් නිවාඩු ලබා ගෙදර යමින් සිටි බස් රථ රියැදුරෙක් මිය ගියේය. ඒ අවස්ථාවේ බසය පදවා තිබුණේ කොන්දොස්තර බවද ප්‍රකාශ විය. මෙවැනි ඉල්ලීමක් කිරීමට පෙර නව දඩ ක්‍රමය ක්‍රියාත්මක වීමට කිසියම් කාලසීමාවක් ලබාදී එහි හොඳ නරක පිළිබඳව හැදෑරීමක් කිරීමෙන් අනතුරැව විරෝධය පෑමකට ගියානම් අඩු වශයෙන් එහි කිසියම් සාධාරණත්වයක් පෙනෙන බව කිවයුතුය. එසේ නොවන විට නව දඩ ක්‍රමය එපා කියන්නේ මහා මාර්ගයේ අනතුරු සිදුකිරීමට අයිතිය ඉල්ලීමක් වැනි අදහසක් රටේ ජනතාව තුළ ඇතිවිය හැකියැයි බස් සංගම් අවබෝධ කරගත යුතුය. මුලින් තමන්ගෙන් සිදුවන වැරුදි අඩුකර ගැනීමෙන් පසුව මෙවැනි ඉල්ලීමක් කළානම් එහි යුක්ති සහගත බවක් දැනෙනු ඇත.

අප යළිත් කියා සිටින්නේ කරන්නන් වාලේ අද විශේෂ වර්ගයේ වැඩවර්ජන සිදුකර රටේ ජනජීවිතය කඩාකප්පල් කිරීමේ හවුල්කරැවන් වනවාට වඩා තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට බස් සංගම් මීට වඩා බුද්ධිමත් කටයුතු කළ යුතු බවයි. නැතහොත් සිදුවන්නේ ප්‍රශ්න විසඳීමක් නොව වැඩවර්ජනවල තත්ත්වය ඉතිහාසයේ කුණු බක්කියට වැටීමක් පමණි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00