2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

මංගලගේ කොන්ද

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

මේ ආණ්ඩුව රටේ පාලනය බාරගත්තාට පසුව බොහොමයක් චෝදනාවලට මුහුණ දුන්නේය. බැඳුම්කර වංචාව, ආර්ථිකය කඩා වැටීම, රාජ්‍ය අංශයේ වැඩ වර්ජන, උද්ඝෝෂණ, සයිටම්, හැමදාමත් ඇදෙන දොස්තරලාගේ වර්ජන, ගිවිසුම්, සම්පත් විකිණීම් මේ චෝදනා අතුරින් කැපී පෙනෙන කිහිපයකි. මේ චෝදනා පත්‍රයට හරිහමං පිළිතුරු සැපයීමක් සිදු නොවීම ආණ්ඩුවට විශාල හානියක් සිදුකර තිබේ. පිළිතුරක් දුන් හැමවිටම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් එකක් කියන්නේ වෙනම කතාවකි. මුලින් ඇතුළෙන් සිදු වූ මේ කඹ ඇදිල්ල දැන් සිදුවෙන්නේ එළිපිටම වගේය.

පාර්ශ්ව දෙක අතර පමණක් නොව දැන් පෙනෙන්නට තිබෙන්නේ එකම පාර්ශ්වයක් ඇතුළේත් මණ්ඩලේ කචල් බවය. දුම්රිය සේවකයන්ගේ වැඩවර්ජනයට අදාළ ප්‍රශ්නය ඊට හොඳම උදාහරණයක් විය. වර්ජනයට ඔන්න මෙන්න තියා තිබියදී එය නවත්වාගත්තේ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයට අදාළ විසඳුම කැබිනට් එකේදී අනුමත කර දෙන බවට සරත් අමුණුගම ඇමැතිවරයා ලබාදුන් පොරොන්දුවකට අනුවය. එයට  රාජිතගේ සහාය ද ලැබී තිබුණේය. නමුත් කැබිනට්ටුවේ මේ ප්‍රශ්නය ඇදුණු විට මංගල එයට විරුද්ධ විය. ඔහුගේ ස්ථාවරය වී තිබුණේ කෝච්චි ටික දිව්වේ නැතත් ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ නොදිය යුතු බවය. එයට එරෙහිව දුම්රිය නැවැත්වුවහොත් දුම්රිය සේවා නවත්වා දමා ඒක ප්‍රයිවෙට් කොම්පැණියකට දිය යුතුය යන ස්ථාවරයට ඔහු තල්ලු වී සිටියේය. අවසානයේ මංගල කියා තිබුණේ මේ තරම් කොන්ද පණ නැති කැබිනට්ටුවක් තමන් දැක නැති බවය. 

ඊළඟට පුංචි කාර්වල මිල මංගල ලක්ෂ ගණනින් ඉහළ දැම්මේය. ඒ බව ඔහු කියා තිබුණේ ජනාධිපතිවරයාට පමණක් බවද සඳහන් වෙයි. ඒ මිල වැඩි කිරීම අඩුකරන දිනය කවදාදැයි විමසමින් අගමැතිවරයාට නිවේදනයක් නිකුත් කිරීමට සිදුවූයේ ඒ නිසා බවද කියති. කොහොම වුණත් වාහන මිල ගණන් ඉදිරි කාලය තුළදී නම් යළිත් පහළට ගෙන ඒමට මංගල නම් ක්‍රියා කරනු ඇතැයි බලපොරොත්තු විය නොහැක. බජට් එක බැලන්ස් කර ගැනීම සඳහා එවැනි පියවරකට යාමට සිදුව ඇතැයි ජනාධිපතිවරයාට මංගල කරුණු පෙන්වා දී ඇතැයි ද කියති. මේ තීරණය අගමැතිවරයා වෙනස් කළොත් එය ආණ්ඩුවේ යූ.එන්.පී පාර්ශවය ඇතුළේ ප්‍රබල මත ගැටුමක ආරම්භය විය හැකි බව පෙනේ. 

මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් පිළිතුරු දීමේදී ද මංගලගේ මේ දැඩි ස්ථාවරයේ වෙනසක් තිබුණේ නැත. පසුගිය බ්‍රහස්පතින්දා (02) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මංගල කියා තිබුණේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ පඩි වැඩි කිරීමේ යෝජනාවක් ගැන තමන් නොදන්නා බවය. එවැනි සැලැස්මක් ගැන තමන්ට දැනුම් දී නැති බවද කියා තිබූ මංගල එවැනි යෝජනාවක් භාණ්ඩාගාරයට යොමු වුණොත් ඒ ගැන ඒ අවස්ථාවේදී තීරණයක් ගන්නා බවත් කියා තිබුණි. එවැනි පඩි කිරීමකට තමන් පෞද්ගලිකව විරුද්ධ බවද මංගල කිව්වේය. නමුත් මේ පඩි වැඩි කිරීමට කිසිදු පක්ෂයක මන්ත්‍රීවරයකු විරුද්ධ බවක් කියා නැත. රන්ජන් රාමනායක නම් කියා තිබුණේ තමන් වැඩි කළ පඩිය නොගන්නා බවය. මංගල කොහොම කිව්වත් යූ.එන්.පී.යේම කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ වැටුප් වැඩිකිරීම අත්‍යාවශ්‍යම පියවරක් බවය. දැන් පෙනෙන්නට තිබෙන්නේ මංගලට හොරෙන්ම පඩි වැඩි වීමට ඉඩ ඇති බවය.

එකළඟ එළඹුණු අවස්ථා තුනකදීම මංගල තමන්ගේ පක්ෂයේ සගයන් සමඟ ගැටුණේ මේ ආකාරයටය. මංගලගේ හැසිරීම පිටත සිටින කෙනකුට පෙනෙනු ඇත්තේ ආණ්ඩුව ඇතුළේම බෙදීම් හටගනිමින් තිබෙන බවත් මංගල එහි ලොකු භූමිකාවක් ඉටු කරන බවත්ය. ආණ්ඩුව ඇතුළේ බොහෝමයක් ජ්‍යෙෂ්ඨයන් නිහඬව සිටින විට මංගල කරන දේ කියන කතාවලට වැඩ අවධානයක් යොමු වන බව සැබෑවකි. දැන් යූ.එන්.පිය ඇතුළේ මත ගැටුම් එළියට පනින බව රටේ ජනතාව කියන්න පටන් ගත්තොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත. මේ යන විදියට සමහර රජයේ මැති ඇමැතිවරැන්ට මංගලගේ හැසිරීම පේනවා ඇත්තේ ඔහු ආපසු ඡන්දයකට මුහුණදීමට බලාපොරොත්තුවක් නැතුව කරන වැඩ වශයෙනි.

මංගල මහින්දගේ ආණ්ඩුවේදීත් තම අභිමතය අනුව වැඩ කළේය. අවසානයේ ඔහුට තමන් දැරූ විදේශ ඇමැති ධූරයද අහිමි විය. ඒ මංගලගේ හැටිය.

ආණ්ඩුව ඇතුළේ දිගින් දිගටම මේ විදිහට මතගැටුම් ඇතිවීමේ දේශපාලන වාසිය ලැබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණට බව බැලූ බැල්මට පෙනී යයි. මෙතෙක් තමන්ගේ සටන මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය නිවේදන හරහා ගෙනගිය මහින්දලා පසුගිය බදාදා (01) එළියට බැස්සේ පවතින තත්ත්වයට උණකටුව තබා බැලීමට විය යුතුය. හදිසියේ දැනුම් දීමකින් සංවිධානය කෙරුණු විහාරමහා දේවී උද්‍යානයේ ජනරැළියට සෑහෙන ජනකායක් පැමිණ සිටියත් එය අපේක්ෂා කළ තරම් ප්‍රමාණයක් වූවාදැයි සැක සහිතය. එතැනදී මහින්ද ලබාදුන් පණිවුඩය යොමු වී තිබුණේ ජාත්‍යන්තරයට වීම වඩාත් කැපී පෙනුණේය. මෙතෙක් කාලයක් රට ඇතුළේ ජනතාවට කතා කළ මහින්ද හිටි හැටියේ ජාත්‍යන්තරය අමතමින් ලංකාවේ ආණ්ඩුවෙන් විකුණන දේවල් ගන්න එපා කියා අනතුරැ ඇඟවීමක් කළේ තමන් බලයට ආ ගමන් විකිණූ සියල්ල ආපසු ගන්නා බවද සඳහන් කරමිනි. රජයටද තදින් පහරදුන් මහින්ද මෙහෙමත් කියා තිබිණි.

මුලින්ම රනිල් හොරා කිව්වේ වත්මන් ජනපති මිසක් අපි නොවේ. දෙන්නා දෙපැත්තට අදින කොට පාලනයක් නැතුව රට අරාජික වෙනවා. බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සුවසේ විදේශවල ඉන්නවා. ඔවුන්ගේ දරුවන්ගේ මඟුල් ගෙවල්වලට මේ අය යනවා.

තමන්ට ඕනෑ විදියට වැඩ කරන්න ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම් වෙනවා. පහුගිය අවුරුදු තුනට රටට කිසිම වැඩක් කෙරුණෙ නැහැ.

ආණ්ඩුව පොලිස් බලය හමුදාවට දෙන්න යනවා. මේක ඉතාම භයානකයි. මෙය රට හමුදාකරණය කිරීමේ පළමු පියවරයි.

මහින්දලාගේ රැස්වීම් වේදිකාවලත් මාධ්‍ය සාකච්ඡාවලත් ආණ්ඩුවට එරෙහිව සිදු කෙරෙන චෝදනාවලට ආණ්ඩුව පැත්තෙන් ලැබෙන්නේ දුර්වල ප්‍රතිචාර බවක් පෙනී යයි. මේ චෝදනා වල දිග පළලක් රටේ ජනතාව බොහෝ විට දන්නේ නැත. දැනගත්තත් එය එහෙන් මෙහෙන් අහුලා ගන්නා කරුණු කිහිපයකට සීමාවෙයි. මහින්දගේ කතා කිහිපයකට මංගල සහ හරීන් පිළිතුරු දී තිබුණත් යූ.එන්.පී.යේ සෙසු ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඒ පිළිතුරු කතාවලට ලොකු සපෝට් එකක් ලැබෙන්නේ නැත. යාපනය කොටුව හමුදාවට තහනම් කලාපයක් වී ඇතැයි පසුගිය දිනක රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයත් ඊට ආණ්ඩුවේ පිළිතුරත් මීට හොඳම උදාහරණයකි.

රෝහිත අබේගුණවර්ධන යාපනය කොටුව කතාව කිව්වේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් බව පැහැදිලිය. එයට ආණ්ඩුවෙන් ලැබිය යුතුව තිබුණේ දේශපාලන පිළිතුරකි. එහෙත් ඒ වෙනුවට එම කතාවට පිළිතුරැ දී තිබුණේ යුද හමුදාපතිවරයාය. ඔහු යාපනය කොටුවේ සංචාරයකින් පසුව කියා තිබුණේ යාපනය කොටුව හමුදාවට තහනම් කලාපයක් බවට පළවන වාර්තා අසත්‍යයක් බවය. හමුදාපතිවරයා එහිදී රෝහිත අබේගුණවර්ධන කළ ප්‍රකාශය සඳහන් මාධ්‍ය වාර්තාවද උපුටා දක්වමින් එම ප්‍රකාශය කර තිබුණි.

තාක්ෂණිකව බැලුවොත් මේ ක්‍රමය හරිය. හමුදාව සම්බන්ධ ගැටලුවලදී එයට පිළිතුරු දිය යුත්තේ හමුදාපතිවරයාය. නමුත් රෝහිත අබේගුණවර්ධන යනු මහින්දට ඉතාම සමීප කටකාර මන්ත්‍රීවරයෙකි. ඔහු මාධ්‍ය සාකච්ඡාවලදී කරන්නේ කුමන හෝ කරුණක් යොදාගෙන යූ.එන්.පී.යට ගහන එකය. යාපනය කොටුවේ කතාවත් එවැන්නක් විය හැකිය. යූ.එන්.පී.ය කළ යුතුව තිබුණේ තමන්ගේ කටකාර මන්ත්‍රීවරයකු යොදාගෙන ඊට පිළිතුරු දීමය. මෙවැනිම කාරණයක් අල්ලාගෙන මහින්දලාට ගහන එකය. අවශ්‍ය නම් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවා එය උපුටා දැක්වීමටද හැකියාවක් තිබුණි. ඒ වුණත් අන්තිමට වුණේ හමුදාපති ලවා රෝහිතගේ කතාව නිවැරුදි කිරීමක් පමණි.

දේශපාලන ගේම්වලදී තාක්ෂණික පිළිවෙත් ඔස්සේ කවදාවත් ගොඩ යා නොහැක. ඒ බව යූ.එන්.පී.ය කවදාවත් අවබෝධ කර නොගන්නා බවට එය එක් උදාහරණයක් පමණි. මේ සිද්ධියේදී හමුදාපතිවරයා කළ නිවැරුදි කිරීමේ කතාවට වඩා රටේ බහුතරයක් ජනතාවගේ බොක්කටම වැදුණු කතාව වුණේ යාපනය කොටුව හමුදාවට තහනම් බවට රෝහිත කළ ප්‍රකාශයයි. එම ප්‍රකාශයෙන් ආණ්ඩුවට සිදු වූ හානිය මකා දැමීමට හමුදාපතිගේ කතාවට හැකිවී යැයි කියන කෙනෙකු නැත. ජනාධිපතිවරණයට තව වසර එකහමාරකින් මුහුණදීමට සිටින ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ කෙරුවාව මෙහෙමය.

යූ.එන්.පී.ය ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා රටේ බිම් මට්ටමට, ගම් මට්ටමට ළඟාවීමට උත්සාහ දරණ බව පෙනෙන්නට තිබේ. මේ වැඩසටහන් දෙක හරහා තරුණ තරුණියන්ටත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් සමීප වීමට විශාල මුදලක් ආයෝජනය කරන බවක්ද දැකිය හැකිය. නමුත් දේශපාලන කරළිය තුළ ජනතාවගේ හිතට වඩාත් කා වදින සන්නිවේදන ජාලයක් ආණ්ඩුවට නොතිබීම මෙහිදීද කැපී පෙනෙන අඩුපාඩුවක් වී තිබේ. රට ඇතුළේ ප්‍රබල ජනමතයක් ඇති කිරීමට නම් වැඩ කිරීම පමණක් මදිය. තමන් කරන සහ කළ වැඩ ගැන ප්‍රචාරයක් දීමක් අවශ්‍යය. රටේ ජනතාව අපි කරන හොඳ වැඩ ගැන දන්නවා යැයි සිතාගෙන සිටීම ලොකුම මුළාවක් බව බොහොමයක් ආණ්ඩුවලට වැටහෙන්නේ ඡන්දයෙන් පරාජය වූ දවසටය. ජනතාවට සාමාන්‍යයෙන් මතක හිටින්නේ ආණ්ඩුවක හොඳ වැඩවලට වඩා නරක වැඩ බව අමතක කිරීම හොඳ නැත.

මේ ආණ්ඩුව දැන් උත්සාහ දරන්නේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ආර්ථික වර්ධන වේගය වැඩිකර ගැනීමට බවද පෙනී යයි. කෙසේ වුවද පසුගිය රාජපක්ෂ පාලනය යටතේ රට විශාල ණයගැති භාවයකට පත්වූ බවත් එය රට බංකොළොත් කළ හැකි මට්ටමක තිබූ බවත් රටට අවබෝධ කරදීමට යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවට කවදාවත් හැකිවූයේ නැත. එතැනදීද කැපි පෙනුණේ ආණ්ඩුවේ සන්නිවේදනයේ දුර්වලකමය. මේ වනවිට මිනිසුන්ගේ බොක්කටම වැදුණු කතාව වෙලා තිබෙන්නේ මහින්දලා උරුම කරදුන් ණය කන්දරාව නොව මේ ආණ්ඩුවේ බැඳුම්කර වංචාවය. හේතුව ආණ්ඩුව විශේෂයෙන්ම යූ.එන්.පී.ය මහින්දලාගේ ණය කතාව මාකට් කරනවාට වඩා ආකර්ෂණීය ලෙස මහින්දලා ආණ්ඩුවේ බැඳුම්කර වංචාව මාකට් කිරීමය.
මේ වෙනස හඳුනාගන්නා තුරු එය හඳුනාගෙන ආපසු මහින්දලාට බැට දෙනතුරැ මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නැත. මේ කැබිනට් එකට පිටකොන්දක් නැතැයි මංගල කිව්වේ ඒ බව අවබෝධ කරගෙන දැයි කියන්න දන්නේ නැත.

- ශශීන්ද්‍ර