2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

පාපන්දු හා ඇන්ටෝනියෝ ග්‍රැම්ෂි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

ලංකාවේ මාක්ස්වාදීන් බොහෝදෙනෙක් ඇන්ටෝනියෝ ග්‍රැම්ෂි ගැන දන්නේ නැත.  ඇත්ත වශයෙන් සිංහල පමණක් හෝ දෙමළ පමණක් දන්නා අයට මාක්ස්වාදය ගැන හරි අවබෝධයක් ලබාගත නොහැකිය. එයට හේතුව වාමාංශික ව්‍යාපාරය අත්‍යන්තයෙන්ම භාෂාව හා බැඳී තියෙන නිසාය. මාක්ස්වාදය ගොඩනැගුණේ භාෂාව හා පොත් වටාය. කාල් මාක්ස්ගේ වටිනාම ග්‍රන්ථයක් වන “ඩාස් කපිටාල්” හෙවත් “ප්‍රාග්ධනය” ලියැවුණේ බ්‍රිතාන්‍ය පුස්තකාලය තුළයි. එම ධර්මය ප්‍රචලිත වූයේ පොත්පත්, සඟරා, පුස්තකාල හා ප්‍රසිද්ධ දේශන හරහායි. මේ තර්කය ඉදිරිපත් කරන ලද්දේ  නූතන මාක්ස්වාදියෙක් වූ ප්‍රංශ ජාතික රේජිස් දෙබ්‍රේ විසිනි. දැනට පනස් වසරකට පමණ පෙර පැරීසියේ බුද්ධිමතුන් අතුරින් බුද්ධිමතකු වූ දෙබ්‍රේ සරසවියේ දී දර්ශනය උගැන්වීමෙන් නොනැවතී හොර රහසේම කියුබාවට පැනගොස් පිදෙල් කැස්ත්‍රොගේ ගරිල්ලා හමුදාවට එක්විය. එහිදී කැස්ත්‍රෝ වීරෝධී රාජ්‍ය නායකයා වූ බැටිස්ටාගේ යුද සෙබළුන්ට හසු වූ දෙබ්‍රේට මරණිය දණ්ඩනය නියම කරනු ලැබීය. එහෙත් ඒත් සමඟම පැරීසියේ බුද්ධිමතුන් විශාල හඬක් නගමින් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලුවෝය. එම ඉල්ලීමට නායකත්වය දුන්නේ ෂාන් පොල් සාත්‍ර බව සඳහන් කරනු වටී. බුද්ධිමතුන්ගේ හඬට යටත් වූ ප්‍රංශ රජය එවකට බලයේ සිටි කියුබානු රජය සමඟ ගනුදෙනු කර රේජිස් දෙබ්‍රේව මුදවා ගත්තේය. නිදහස ලැබුණ වහා ඔහු ලියූ එක් ශාස්ත්‍රීය ලිපියක මාතෘකාව වූයේ “වම සහ මුද්‍රිත වචනය” යන්නයි. එම ලිපිය මා කියවන කාලයේදීම ලේක්හවුසියේ ප්‍රධානියා වූ බන්ධුල පද්මකුමාර මට අජිත් සමරනායක සමරු දේශනය කිරීමට ආරාධනා කළේ. එහි මාතෘකාව ලෙස මම තෝරා ගත්තේ දෙබ්‍රේගේ මාක්ස්වාදය පිළිබඳ විග්‍රහයයි.

මගේ දේශනයේ දී පෙන්වාදුන් කරුණක් වූයේ ලංකාවේ වාමාංශිකයන්ද පොතට අනුගත වූ අය බවයි. එය සංකේතවත් කරන සංසිද්ධියක් වූයේ පිලිප් ගුණවර්ධන හා ඇන්.ඇම්. පෙරේරාගේ මුල්වරට හමුවීම ලන්ඩන් කෞතුකාගාරයේ පුස්තකාලය තුළ  වීමයි. පිලිප්, ඇන්.ඇම්. කොල්වින්, පීටර් හා බර්නාර්ඩ් වැන්නවුන් පොත්පත්වලට ලොල්වූ නායකයින් බව එකල ප්‍රකට කරුණක් විය. ඇත්ත වශයෙන් ඔවුන් එකල ඉහළම පොත මුල් කරගත් බුද්ධිමතුන් වූයේ යැයි ප්‍රකාශ කළ හැකිය. සමසමාජ පක්ෂය ආරම්භ කිරීමෙන් පසුව ඔවුන් කොළඹ හා කොලොන්නාව වැනි තැන තැන කුඩා සමාජවාදී පුස්තකාල ආරම්භ කළෝය. එසේ කළේ යුරෝපීය කොමියුනිස්ට්වාදීන්ව අනුකරණය කරමිනි. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයෙක් වූයේ කොලොන්නාවේ පාසලක ගුරැවරයෙක් වූ ටෙරන්ස් ද සිල්වාය.

සිංහල පමණක් දත් වාමාංශිකයන් තම මාක්ස්වාදය ඉගෙන ගත්තේ නායක කාරකාදීන්ගේ කතාවලට සවන් දීමෙන් පමණි. නායකයන් තුළ සිංහල භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් තිබුණේ නැත. නිදසුනක් වශයෙන් අප පේරාදෙණිය සරසවියේ සිසුන්ව සිටි කාලයේ තරුණ පාක්ෂිකයන් වූ අපට ඩොරික් ද සුසා මාක්ස්වාදය ගැන දේශනා කළේ ව්‍යක්ත ඉංග්‍රීසි බසිනි. එහෙත් සිංහල පමණක් දත් සිසුන්ට ඔහු සිංහලෙන් දේශනය කළේ තතනමින් පමණක් නොව විකාර යෙදුම්ද සහිතවය. විජේවීර පවා සිය දේශනවලට මාක්ස්වාදය යන්තමින් කට ගා ගත්තා මිස වික්ටර් අයිවන් වැනි අය ප්‍රකාශ කරන පරිදි ඒ පිළිබඳ ඔහු තුළ ගැඹුරු අවබෝධයක් තිබුණේ නැත.

ඉහත කී සිතුවිලි මා තුළ හටගත්තේ වර්තමානයේ මාධ්‍යය විසින් නිර්මාණය කරන ලෝකය ගැන කල්පනා කරන විටයි. මාක්ස් එකල තිබු ප්‍රාථමික කාර්මික ලෝකය ආදර්ශයට ගනිමින් ආර්ථික සම්බන්ධතාවලට මුල්තැන දෙන මතුමහලක් ඒ අනුව නිර්මාණය වෙත බව තර්ක කළේය.  මේ අනුව සම්ප්‍රදායික වශයෙන් මාක්ස්වාදීන් පංති සටනත් මතු මහලත් සරලව සම්බන්ධ කර ගත්තේය. දෙවැනි ලෝක යුද්ධයට පෙර මුසෝලිනී ඉතාලියේ ආඥාදායකයා ලෙස පත් විය. සමාජවාදී වේදිකාවක් මත ගොඩනැගුණ මුසෝලිනීගේ “පැසිස්ට්” දර්ශනය මුලින්ම මාක්ස්වාදීන්ට ප්‍රහේළිකාවක් බඳු විය. ජර්මනිය හිට්ලර් පවා සිය පක්ෂය නම් කළේ “ජාතික සමාජවාදී” (නාසි) පක්ෂය හැටියටය. බර්ලීනයේ වීදි මත කඩු කිණිසි අමෝරා ගෙන සටන් කළේ කොමියුනිස්ට් කම්කරුවන් හා ඔවුනට එරෙහිව හිට්ලර්ට ලැදි වූ කම්කරුවන්ය.  

ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ න්‍යායාචාර්යවරයෙක් වූ ඇන්ටෝනියෝ ග්‍රැම්ෂි මෙම සංසිද්ධිය අලුතින් විභාග කිරීමට ඉදිරිපත් විය. කුඩා විකෘතිවූ සිරුරකින් යුක්ත වුවද ග්‍රැම්ෂි දැඩි ලෙස කොමියුනිස්ට් ධර්මයට කැපවූ සටන්කාමියෙක් විය. ඔහුගේ වැඩිමහල් ජීවිතයේ වැඩියම කාලය ගෙවුණේ හිරගෙදරය. ඔහු මුසෝලිනීගේ ප්‍රධාන බුද්ධි ප්‍රතිමල්ලවයෙක් විය.  ඔහු ඉතාලියේ සමාජයේ සංසිද්ධිය වෙනත් විදියකට විග්‍රහ කළේය.  දියුණුවූ කම්කරු පංතියක් රෝමය හා මිලාන් ආදී නගර අවට සිටියද එම සංස්කෘතියේ මතු මහල මාක්ස්වාදීන් ඇදහූ පරිදි අනිවාර්යයෙන් යටිතලය මත නිර්මාණය වූවක් නොවේ යැයි ග්‍රැම්ෂි තර්ක කළේය. කතෝලික ලෝකයේ මර්මස්ථානය වූ ඉතාලියේ මතු මහල ආගමික සංස්කෘතික හර පද්ධතියක් නිසා එය පංති සටන අභිබවා ගියේය.  එපමණක් නොව ප්‍රචලිත රදල නෂ්ටාවශේෂ ද එම මතුමහල නිර්මාණය කිරීමට ඉවහල් වුණි. ඒ අනුව කම්කරැවන්ගේ “විඥානය” මාක්ස්වාදීන් කියන අයුරු සරලව සැකසෙන්නේ නැති බව ග්‍රැම්ෂි තර්ක කළේය.

ඉහත සඳහන් කරුණු අනුව ග්‍රැම්ෂි කම්කරු සමාජයක වුවද මතුමහල පංති සටනට බාහිර වූ “සංස්කෘතිය” නිරූපණය කරන බව කීවේය. දැන් මාධ්‍ය හා ක්‍රීඩා ආදිය තුළින් අප රටවල මතුමහල සෑදී ඇත. මෑතකදී පවත්වන ලද පාපන්දු තරගය ජනිත කළේ කම්කරු පක්ෂය බලාපොරොත්තු වන සහෝදරත්වය නිරූපණය කරන මතුමහලක් නොව සුඛෝප‍භෝගි “සංස්කෘතියක” ගති ලක්ෂණයි.

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00