2018 ජුලි 28 වන සෙනසුරාදා

ප්‍රජාතන්ත්‍රවාදී විහිලු

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් ශ්‍රේෂ්ඨ පාලන ක්‍රමයක් වුවද ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නන් විසින්ම එහි ශ්‍රේෂ්ඨත්වයට හානි සිදුවන අන්දමට සිදුකරන ක්‍රියා ජනතාවගේ කනස්සල්ලට හේතුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය විසින් රැකදිය යුතු තමන්ගේ අයිතිවාසිකම් නොරුකෙන විට එම කනස්සල්ල ඇතිවීම සාධාරණය. ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට නම් එහි මූලික ගුණාංගය වන නිදහස් සහ සාධාරණ ඡන්ද පැවැත්වීම අවශ්‍යය. එය කලට වේලාවට සිදුවීමත් අවශ්‍යය. ඒ කාරණා ඉටු නොවන විට ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරවනීය අර්ථය විකෘති වෙයි.

අප මෙසේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අප්‍රමාණ පම්පෝරි ගසන අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් ඡන්දය යන වචනයට දක්වන බිය ගැන සැලකිලිමත් වෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ඡන්ද පැවැත්වීමට බිය වියයුතු නැත. ඡන්දයකදී සිදුවිය හැක්කේ දෙකකි. එකක් ජය ලැබීමය. අනෙක පරාජය උරුම වීමය. මේ දෙකටම ඕනෑම දේශපාලනඥයකු සූදානම්ව සිටිය යුතුය. ඡන්දය නැති තැන ප්‍රජාතන්ත්‍රික දේශපාලනය නොරුකෙන බැවිනි.

අපේ රටේ අද සිදුවෙන්නේ කුමක්ද? පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ඉල්ලා කෑගැසීමට සිදුව තිබීමය. පළාත් සභා කිහිපයක ඡන්දය මේ වනවිට මාස ගණනාවකින් කල් ගොස් තිබේ. තවත් කිහිපයක කල්යාම ඉදිරි මාස දෙක තුන තුළදී ප්‍රකාශයට පත්වෙනු ඇත. දැන් අපට කියන්නට සිදුවී තිබෙන්නේ ඡන්දය පැවැත්වෙන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත්වනු ඇතැයි කියා නොව ඒවා කල්යාම පිළිබඳව නිවේදනය ප්‍රකාශයට පත්වනු ඇතැයි කියාය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ මෙසේ වීම රටේ අභාග්‍යයකි. ජනතාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව යාමකි.

පළාත් සභා ඡන්ද ඊළඟට පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත්වෙන්නේ ජනතාවගේ වරදකින් නොවේ. ඒ ඒ පළාත්වල ජනතාවට තමන් පාලනය විය යුත්තේ කා අතින්දැයි තීරණය කිරීමට වසර 05කට වරක් ලැබෙන අයිතිය ප්‍රමාද කිරීම රජය අතින් සිදුවන වැරැද්දකි. පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල්යාමේදී ද අපට මේ වැරැද්ද පෙන්වාදීමට සිදුවිය. ඡන්දයක් කල් දමා ගැනීමට හෝ වේලාසනින් තැබීමට හෝ කඩින් කඩ පැවත්වීමට හෝ ඕනෑම ආණ්ඩුවකට හේතු සොයාගැනීම පහසුය. මේ වැරදි තුනම හෝ එයින් එකක් හෝ මෙතෙක්, බලයට පැමිණි හැම රජයක් අතින්ම සිදුව තිබේ. අඩු වශයෙන් 70න් පසුව බලයට පැමිණි බොහෝ ආණ්ඩු මේ වැරැද්දට එක්වරක් හෝ හවුල් වී තිබේ.

මේ වැරුදි සිදුකිරීම් මගින් මේ හැම ආණ්ඩුවක්ම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර තිබෙන බව සඳහන් කිරීම අවශ්‍යය. වැඩිදුර අතීතයට නොයා වර්තමාන තත්ත්වය සැලකුවද ඊට උදාහරණ සොයාගත හැකිය. අද එක්වර තැබිය යුතු පළාත් සභා ඡන්දය වරින්වර තැබීමට සිදුව තිබෙන්නේ මීට කලින් පැවැති රාජපක්ෂ රජය සිය දේශපාලන වාසි මැන බලමින් පළාත් සභා ඡන්ද කඩින්කඩ පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙනි. ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වුවත් ආණ්ඩුවේ සියලු සම්පත් අවභාවිත කිරීමට මගපාදා ගනිමින් වරින්වර ඡන්ද පැවැත්වීම ක්‍රියාකිරීම මගින් ඉටුවූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු  නොව එම ආණ්ඩුවේ අරමුණුය. එහෙත් කිසිදු අවස්ථාවක එම ආණ්ඩුව ඡන්ද කල් දැමීමට ක්‍රියා නොකිරීම මගින් ජනතාවගේ අයිතිය එක පැත්තකින් රැකදුන් බව කීමත් අවශ්‍යය.

මේ ඡන්ද කතා සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ ආකාරයට සටහනක් තැබීමට මුල් වූ කාරණාව වන්නේ පළාත් සභා ඡන්දය කෙසේ හෝ පවත්වන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කාලයක් තිස්සේ බලපෑම් සිදුවුවත් එය තවදුරටත් කල් යනු ඇති බවට පළවන ප්‍රවෘත්ති හේතුවෙනි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය යැයි පවසන්නා සේ ඡන්දය මෙසේ කල් යන්නේ සීමා නිර්ණය හෝ පවත්වන ක්‍රමය පිළිබඳව හෝ පැන නැගී ඇති ගැටලු හේතුවෙන් බවත් ඒවා නිරාකරණය වීමට තවත් බොහෝ කාලයක් යනු ඇති බවත් ප්‍රකාශ වෙයි. මෙය ඉතාම අයහපත් තත්ත්වයක් බව පෙන්වාදීම අවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කරන බවටත් පෙර රජයෙන් සිදුකෙරැණු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අවසාන කරන බවටත් පොරොන්දු වෙමින් බලයට පැමිණි රජයකට මේ ආකාරයට හැසිරීමට කිසිම අයිතියක් නැති බවත් කිව යුතුය.

මේ රටේ දැනට තිබෙන ප්‍රධාන ගැටලුව පළාත් සභා ඡන්ද නොතැබීම යැයි අපි නොකියමු. එහෙත් රටේ දිගින් දිගටම එකතු වන සංකීර්ණ ගැටලු අතරට ඡන්ද කල්යාමද එකතු වී තිබෙන බව වසං කළ නොහැකිය. රටක නොවිසඳී ඉතිරිවන ගැටලු ගොඩගැසෙන විට ඡන්ද කල්යාම එම ගැටලු විසඳීමට නොව තවදුරටත් අවුල් කර දැමීමට හේතුවනු ඇත. අවසානයේ ජනතාව මේ සියල්ල දකිනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රකින බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි රජය ප්‍රජාතන්ත්‍රවාදය සමඟ විහිලු කරන බවකි. එය යහපාලනයකට උචිත නැත.