2018 ජුලි 28 වන සෙනසුරාදා

රටට දැන් අවශ්‍ය දේශපාලන පිපිරීමක් - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

♦සිංහල ජාතිවාදීන්ගේ සංකේතය මහින්ද
♦ජනතාව - මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන කරපු කැපකිරීම් මේ ජනපතියි අගමැතියි කොල්ලකෑවා
♦දැන් තියෙන්නෙ ජනාධිපති අපේක්ෂක සටන
♦සමහර ආණ්ඩු විරෝධී ඝෝෂා පදනමක් නැති බොරු ඒවා

ජනතා ප්‍රශ්න අමතක කරලා රටේ පක්ෂ දැන් ජනාධිපතිවරණයක් පස්සේ දුවනවා. මේ මොකද වෙලා තියෙන්නේ?

ඔය කියන කතාව හරි. රටේ ප්‍රධාන පක්ෂ වැඩි අවධානය යොමුකරලා තියෙනවා තියෙන බලය තවත් ශක්තිමත් කරගන්න. අපි කවදාවත් දැකලා නෑ. ජනාධිපතිවරණයකට අවුරුදු එකහමාරකට කලින් ඉඳන් මෙහෙම සූදානම් වෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මෙතන තියෙන්නේ ජනාධිපති කැම්පේන් එක නෙමෙයි. ඒ ඒ කඳවුරැවල ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනිමේ සටනක්. ජනතාවගේ ප්‍රශ්න පැත්තක. මේ සටන තියෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ කොතැනද?

ජනතා විමුක්ති පෙරමුණට එවැනි සටනක් නෑ. අපි ඉන්නේ නැවත ජනාධිපතිවරණයක් අවශ්‍ය නෑ කියන තැන.

එහෙනම් මේ අනෙකුත් පක්ෂ මැද්දේ ජනතා විමුක්ති පෙරමුණට ජනතා අවධානය ගන්න හැකියාවක් තියෙනවා නේද?

ඔව්. මම පිළිගන්නවා මේක තමයි අවස්ථාව. ජනතාවට පැරැණි පාලනය මතක වගේම වර්තමාන පාලනය දුර්වල අවධියක්. එතැනදී ජනතාවට වෙනත් දේශපාලන බලවේගයක් ගොඩනගන්නයි ඕන. එකී පරිවර්තනයට අපි මැදිහත් වීමක් සිදුකරනවා.

දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියනවා ඊළඟ ආණ්ඩුවට හරි ජනාධිපතිවරණයට හරි ප්‍රධාන සාධකයට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගන්නවා කියලා. මොකක්ද මේ ගනුදෙනුව?

අපිට එවැනි කිසිම ගනුදෙනුවක් නෑ. මේ වෙලාවේ අතිශය අසරණ වෙලා ඉන්නේ මෛත්‍රීපාල පාලනය. ඒ අසරණ භාවයට කවුරුත් වගකිව යුතු නෑ. ඔහුමයි වගකියන්න ඕන. අන්න ඒ අසරණභාවයට යම් විශ්වාසයක් ගොඩනගන්න වෙන්න ඇති අපේ සහයක් ගැන කියන්නේ. අපි එහෙම සාකච්ඡාවක් හෝ එහෙම අදහසක්වත් නෑ.

මේ ප්‍රශ්න මැද්දේ ඔබලා 20 වැනි සංශෝධනය ගෙනාවා. ඇයි මේ කඩිමුඩියේ මේක ගෙනාවේ?

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පාර්ලිමේන්තු කමිටුවත් අපි නියෝජනය කරනවා. ඒ වගේම එම කමිටුවට අපි සහභාගි වෙන්නේ මූලධර්මයක් හැටියට විධායකය අහෝසි කළ යුතුයි කියන තැන. ඒත් පෙබරවාරි 10 වැනිදා ඡන්ද ප්‍රතිඵලත් එක්ක පේනවා නැවත ව්‍යවස්ථාවක් ගෙන ඒම අතිශය සංකීර්ණයි කියලා. ඒ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය අවම වශයෙන් හෝ තහවුරු කර ගැනීමට මේ සංශෝධනය ගෙනාවේ. මේ සංශෝධනය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයන් තුන්දෙනාම දුන්නු පොරොන්දු. අපි මේක කලබලයෙන් නෙවෙයි ගෙනාවේ.

හැබැයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ 20 වැනි සංශෝධනය එජාප කොන්ත්‍රාත්තුවක් කියලා?

මොකක්ද යූ.ඇන්.පී. කොන්ත්‍රාත්තුව. වර්තමාන ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයට රාජ්‍ය නායකයා වෙන්නත් බෑ. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය නායකයා නොවුණත් අගමැති වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ රටේ යම් ආකාරයකින් ජනාධිපති ධුරය හිස් වුණොත් අගමැති තමයි ඊළඟ ජනාධිපති වෙන්නේ. එහෙනම් අගමැති ජනාධිපතිවීමට සුදුසුකම් ඇති අයකු වෙන්න ඕන. එතකොට මහින්ද මේ ව්‍යවස්ථාව අනුව කිසිම තැනකට එන්න බැහැ. මේ සංශෝධනය අනුව වැඩිම වාසි තියෙන්නේ මහින්දට. ඒ වගේම මෛත්‍රීපාලට. මේ සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 09. එතකොට ඔහු ගෙදර යන්න ඕන. හැබැයි අපි මේකෙදි කියනව ඊළඟ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙක් තෝරා ගන්නකල් 20 බලතල සහිත ජනාධිපති ඔහු කියලා. එතකොට ඔහුටත් ඒක අමතර වාසියක් වෙනවා.

හැබැයි කියන්නේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති පුටුවේ වාඩිකරන වැඩක් කියලා?

අපි කියලා තියෙනවා මේ සංශෝධනය අනුව පෙබරවාරි 08 පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන කියලා. මේ පාර්ලිමේන්තුව අනුව සැප්තැම්බර් 03 දක්වා විතරයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයට ඉන්න පුළුවන්. එහෙම බැලුවම දැන් තියෙන ක්‍රමය අනුව අගමැතිගේ ධුරකාලය මාස 07කින් අඩුවෙනවා. එතකොට මේක යූ.එන්.පී. කොන්ත්‍රාත්තුවක් වෙන්නේ කොහොමද? මේ ගැන ක්‍රමානුකූල අධ්‍යාපනයක් නැති අය තමන්ගේ ලාබ දේශපාලනයට විවේචන එල්ල කරනවා.

බොහෝ අය කියනවා මේක යක්ෂයෙක් කියලා....

ඇත්තම කිව්වොත් නව ව්‍යවස්ථාවක් ගෙන එන කඩඉම දැන් පහුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක වෙනසකට කඩඉම් දෙකක් තියෙනවා. එකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක. අනික ජනමත විචාරණය. මේ ආණ්ඩුවට මේ කඩඉම් දෙකම පනින්න බෑ. හැබැයි 18 වැනි සංශෝධනය ගේන වෙලාවේ මහින්ද රාජපක්ෂට තුනෙන් දෙක වගේම ඔහු ජනතා වරමින් ජනාධිපතිවෙලා හිටියේ. ඒකයි හදිසි පනතක් හැටියට ගෙනල්ලා සම්මත කරගත්තේ. එහෙත් එවැනි අවදානමක් අද නෑ. ඒ නිසා මේක යක්ෂයෙක් නෙමෙයි. දැන් තියෙන තත්ත්වය අනුව මේක ඉටු නොවෙන ඉඩකඩ වැඩියි.

ජනතා විමුක්ති පෙරමුණ හැමදා හිටියේ ඒකීයභාවය පැත්තේ. එහෙත් 20 වන සංශෝධනය හරහා ඉන්නේ ෆෙඩරල් ක්‍රමය යටතේ කියලත් චෝදනාවක් තියෙනවා?

මෙතන රාජ්‍ය‍යේ පාලන ව්‍යුහය ගැන ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් හැටියට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටෙව්වා. හැබැයි එහෙම කියලා ජනාධිපතිගේ බලතල අබමල් රේණුවකින් අඩුවෙලා නෑ. ඒ නිසා මෙතන ෆෙඩරල් ක්‍රමයක් නෑ. හැබැයි මෙතන පාලන ව්‍යුහ දෙකක්. අපි කියන්නේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ව්‍යුහයක්. අපේ රටේ සංස්කෘතික නායකයන් එක්ක බලද්දි ජනාධිපති පාලන ක්‍රමය බර වැඩියි. මේ නිසා එවැනි මිනිසුන් ඒ පුටුවේ වාඩි වුණාම විකෘති මිනිසුන් පේනවා. ඒ නිසා අවම වශයෙන් මේ ධනපති පාලකයන් මේ පුටුවේ වාඩිවෙන්නවත් නරකයි.

ඉතින් මෙච්චර හොඳයි නම් ඇයි මේ ව්‍යවස්ථාව ඔබලට නිවැරදි ලෙස සමාජ ගත කරන්න බැරිවුණේ?

මෙතන ප්‍රධාන කඩඉම තියෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක. අපේ ඉන්නේ හයදෙනයි. තව 144ක් අවශ්‍යයි. ඒක තනි පාර්ශ්වයෙන් ගන්න බෑ. ඒ නිසා කණ්ඩායම් ගණනාවක් එක්ක එක අදහසකට එන්න ඕන. ඒක තමයි අපි කරන්නේ.

පක්ෂත් සමඟ සාකච්ඡා කළාද?

අපි නිල වශයෙන් කතා කරලා නෑ. ඒත් අපි අභ්‍යන්තරිකව සාකච්ඡාවක් සිදුකරගෙන යනවා.

එතකොට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට හොර පාරෙන් නීති විරෝධී කෙටුම්පතක් ආවා කියලා පහුගිය දවසක හෙළිවුණා. එහෙම වුණේ කොහොමද?

ඇත්තටම එතන වුණේ ඒ කමිටුවට උපදේශන මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ උපදේශන මණ්ඩලය ඒකමතික තීරණයකට එන්න බැරිවෙලා තියෙනවා. එතන බෙදීමක් ඇවිත් තියෙනවා. ඒ බෙදීම තමයි මෙතන ඉදිරිපත් වුණේ. මෙතන මෙහෙයුම් කමිටුවෙන් උපදේශක මණ්ඩලයට දුන්නා මහජන අදහස්, අනුකමිටු වාර්තා පාර්ලිමේන්තුවේ දිනපතා සාකච්ඡා කළ දේවල්. ඒ කරුණු පාදක කරගෙන සාකච්ඡා සැකිල්ලක් සකසලා දෙන්න තමයි කීවේ. ඒත් ඒක වෙනුවට ඒ අය යම් යම් දේවල් කරන්නේ. ඒවා මේ ව්‍යවස්ථා ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ නෑ. ඒ නිසා මොන දේ හැදුවත් වැඩක් නෑ. ව්‍යවස්ථා කමිටුවෙන් සම්මත වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න ඕන. ඒ නිසා සමහර අය මේ කුඩා සිදුවීම් විශාල ලෙස පෙන්නන්න හදනවා.

ජනතාවට යන්නේ මේ ව්‍යවස්ථාව උගුලක් හැටියට?

අනිවාර්යයෙන්ම. අග්‍රාමාත්‍යවරයා මීට වඩා වගකීමෙන් වැඩකළ යුතු වෙනවා. හැබැයි අනික් සියල්ලම අසාර්ථක වෙච්ච පාලනයකින් ව්‍යවස්ථාවක් නිවැරදි වෙයි කියලා හිතනවද?

ඔබ කියනවා සියලු දේ කඩා වැටිච්ච පාලනයක් කියලා. කොහෙද වැරදුණේ ආණ්ඩුවට?

2015 ජනවාරි 08 ජයග්‍රහණය ලැබුවේ ජනතාවගේ අභිලාෂයන් එක්ක. අන්න ඒ ජනතා අභිලාශයට එරෙහිව හිටගැනීම තමයි වැරදුණු තැන. එය ජනාධිපතිවරයත්, අග්‍රාමාත්‍යවරයත් සිදුකළ දේ. ඉතාමත් කෙටිකාලයක් තුළ ආරම්භයේදීම ඒක සිදුකළා.

ඒ කියන්නේ රාජපක්ෂවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකළ නිසාද?

ඒක පමණක් නෙවෙයි. හොරකම් කරන්නේ නෑ කියලා හොරකම් කළා. දින 50න් මහබැංකු බැඳුම්කර වංචාව සිද්ධ කළා. නැවත තමන්ගේ ඥාතීන් එකතු කරගෙන ගමන යන්න ලෑස්ති වුණා. පොදුජනතාවගේ අදහසට ඇහුම්කන් නොදී උද්දච්ච හැසිරීමක් සිදුකළා. පැති ගණනාවකින් ඒ දේ සිදුකළා.

හැබැයි ආණ්ඩුව අහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමම මදිද කියලා?

විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතාව, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන කළ කැපකිරීම් කොල්ලකාලා තමයි අද අගමැති සහ ජනාධිපති පුටුවල වාඩිවෙලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය එක්ක කොහෙද මේ දෙන්න හිටියේ. මෛත්‍රීපාල මහත්තයා හිටියේ මහින්ද රාජපක්ෂගේ කැබිනට් එකේ. රනිල් වික්‍රමසිංහ හිටියේ මහින්ද එක්ක කෝපි බිබී. ඒ වෙලාවේ මාධ්‍යවේදීන් ඝාතනය කළා, අතපය කැඩුවා, මාධ්‍ය ආයතනවලට බෝම්බ තිබ්බා. මිනිස්සුන්ට වෙඩි තිබ්බා. මේ ජීවිත පූජාකරලා සිදුකළ සටනක් තිබ්බේ. මේ දෙන්නා ඉතාමත් පහත් විදිහට කොල්ලකෑවා. අද තියෙන්නෙත් ඒ ජනතාවගේ සටන. එහෙම නැත්නම් මේ ආණ්ඩුවත් ලෑස්තියි මර්දනයට දැනුත්.

මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා රාජ්‍ය දේපළ විකුණනවා කියලා හැමතැනින්ම චෝදනා. ඔබ හිතන්නේ මොකක්ද?

ඇත්තටම මේක වැරදි ආර්ථික ප්‍රතිපත්තියක්. අපිට නිදහස අරගලයක්. ඒ විජයකලාටවත්, මුස්ලිම් අයටවත් එරෙහිව නෙමෙයි ආර්ථිකයට අනුව. කියමනක් තියෙනවා රටවල් කඩුවලින් සහ ණයවලින් අල්ලනව කියලා. අපේ රට ඉතිහාසයේ කඩුවලින් යටත් වුණා. වර්තමානයේ ණයවලින් යටත් වුණා. ඒ නිසා අපේ රටේ ගන්නා කිසිම ආර්ථික තීන්දුවක් ස්වාධීනව ගන්න ඒවා නෙමෙයි. ඒකනේ දේවල් හදලා විකුණන්නේ. අපිට තියෙන්නේ ආර්ථිකය ස්වාධීන කිරීමේ අරගලයක්. ඒකට තමයි අපි මේ සටන කරන්නේ?

ඒත් චීනය වගේ සමාජවාදී රටවල් පවා ධනවාදී ආර්ථික ක්‍රමයකට ගිහින් තියෙනවා. අපේ රටට මේක අකැපද?

විශේෂයෙන් චීනයට ජාත්‍යන්තර ආර්ථික වුවමනාවක් තියෙනවා. එවැනි දෙයක් ගොඩනැගීම ගැන අප පක්ෂපාතියි. හැබැයි චීනයේ ජාත්‍යන්තර ආර්ථික වුවමනාවල ගොදුරු බවට පත්වෙලා තියෙනවා අපේ රටේ පාලකයන්. ඒ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට. එකී න්‍යාය පත්‍රවලට අපේ නායකයන් අහුනොවී ඉන්න ඕන. චිනයත් එක්ක රණ්ඩු කරලා වැඩක් නෑ. බලන්න කොච්චර දුර්වලද? අපේ රටේ නායකයන් සමාගම්වලින් මිලදී ගන්න තැනට වැටිලා.

අපේ රටේ බිහිවෙන ඊළඟ නායකයන් රටවල් වලින් බෙදාගෙන. ඔවුන්ට මුදල් දෙනවා?

ඒ රටේ ආර්ථික ක්‍රියාදාමය ඉදිරියට ගෙන ඒම සඳහා ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ඒ අය හිතනවා මේ පුද්ගලයා හොඳයි කියලා. හැබැයි ඔබ හිතන්න එපා එයා ආවේ නෑ කියලා අත් හරියි කියලා. නෑ එයාලා ලෑස්තියි ඉන්න පාලකයන් එක්ක වැඩ කරන්න. ඒකනේ මහින්ද රාජපක්ෂගෙන් හම්බන්තොට වරාය ගන්න හදලා පස්සේ චීනය මේ ආණ්ඩුවෙන් ඒක ගත්තේ.

මේ වෙනකොට චෝදනා තියෙනවා පක්ෂවලට මුදල් දුන්නා කියලා?

ඔව්. ඉතා පැහැදිලිවම. නිව්යෝර්ක් ටයිම්ස් එකේ තිබ්බේ. ඒක පැහැදිලි නෑ තවම. හැබැයි අපි ගාව තියෙනවා. සමහර මුදල් දුන්න චෙක්පත්වල කොපි. ජනවාරි හත හරි තරගකාරී දවසක්. ඊට පහුවෙනිදා ඡන්දය. ඒත් එදා අරලියගහ මන්දිරයේදී චෙක් මාරු කරනවා. දැන් බලන්න අධික ණය අරගෙන ව්‍යාපෘති හදනවා. ඊට පස්සේ ඒක අසාර්ථක වෙනවා. අන්තිමට ඔවුන් මිලදී ගන්නවා. මේ සල්ලි දෙන දෙයින් උත්සාහ කරන්නේ මේක වෙන්න බැරිද? ඒ නිසයි මෙතන පැහැදිලිවම විකුණන්නේ ජනතාවගේ ජනවරම. වෙන්දේසි කරන්නේ ජනවරම.

ඒත් ජනතාව ඔවුන්ට ඡන්දය දෙනවා....

මම කියන්නේ ඒකයි ජනතාව සම්පූර්ණයෙන් වගකියන්න ඕන. ලෝකයේ මෙවැනි දේවල් වුණා නම් මොනවා වෙයිද? ඒත් අපේ රටේ දූෂණය වංචාව සාමාන්‍ය වෙලා.

හැබැයි මේ දේවල්වලට ජනතා විමුක්ති පෙරමුණ විශාල සටනක් කළා. ඒත් අද වෙද්දි පොඩි කොටුවීමක් තියෙනවා. ඇයි ඒ?

මෙහෙමයි මහින්ද රාජපක්ෂ මහත්තය එරෙහි ඉහළම ප්‍රහාරය එල්ල කළේ අවුරුදු හත අටකට පස්සේ. ඒක හා සලකලා බලද්දි ඊට කලින් අපි මේ ආණ්ඩුවට එරෙහිව නැගිටලා තියෙනවා. හැබැයි අපි අතිශය ලෙස ප්‍රවේසම් වෙනව අපේ විවේචන තව අයට ඩැහැගන්න ඉඩ නොදෙන්න. අපි රාජපක්ෂවරුන්ට විරුද්ධව ගොඩනගපු බලවේගය වර්තමාන නායකයෝ කොල්ලකෑවා. ඒ නිසා එහෙම නොවුණොත් අතරමැද්දෙන් කොල්ලකරුවන් පැනලා කොල්ලකයි.

හැබැයි ඔබලා එහෙම හිතනකොට වෙන වෙන කණ්ඩායම් ආණ්ඩු විරෝධී සටන අරගෙන යනවා?

එකක් තමයි සමහර විරෝධ අතිශය පදනම් විරහිත තර්කානුකූල නොවෙන ඒවා. අතිශය මිත්‍යාවෙන් පිරුණු පදනමක් නැති ඝෝෂාවක් තියෙනවා. අපි අවංකව පිළිගන්නවා ඒ ඝෝෂාවේ අපි නෑ. මොකද ඔය ඝෝෂාකාරයන්ට කිසිම වගකීමක් නෑ. හැබැයි අපි අපේ වචනවලට වගකීමක් ගන්න කණ්ඩායමක්.

හැබැයි මේ ඝෝෂාකාරී සටනට ජනතාව ඇදිලා යනවා නේද?

ඔව්. හැබැයි ඒ ඝෝෂාවල ප්‍රතිඵලත් ජනතාව අත්විඳලා තියෙනවනේ. කොතනක හරි මේක දැනෙයි. අන්න එදාට කෙළවර වෙනවා. දැන් අවශ්‍ය දේශපාලන පිපිරීමක්. ඒ පිපිරීම තමයි නැවත මෙවන් යුගයක් ඇති නොවෙන්නේ. ඒ සඳහයි අප ක්‍රියාකරන්නේ.

දේශපාලන පිපිරීම කෙසේ වෙතත් පක්ෂ නම් පිපිරෙනවා?

ඔව්. පක්ෂ පිපිරිලා තියෙනවා. ඒ දේශපාලන පිපිරීමක ගති ලක්ෂණ පෙන්වීමක්. මෙවැනි දුබල සමාජ වටපිටාවක් ඇතුළේ තමයි පිපිරීම් ඇතිවෙන්නේ.

හැබැයි ඒ පිපිරීම් හමුවේ ගොඩනැඟෙන කණ්ඩායම් නේද අවසාන මොහොතේ එක කඳවුරකට එන්නේ සියලු ජනතා මතයන් අරගෙන?

ඔව්. අනිවාර්යයෙන්. අපි ඒ ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. අපි ඊට ප්‍රතිපක්ෂ කඳවුරක් ගොඩනැගීම තමයි කරන්නේ. අපි හොරකම් කරන්නේ. අපි එවැනි තැනක ජනතාවගේ මතයේ  ස්ථාන ගත වෙලා ඉන්නේ.

හැබැයි ඔබලට චෝදනාවක් තියෙනවා එජාපයේ ඉහළ ඇමැති කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා?

පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් අපේත් සාමාජිකයන් 437 තේරැණා. ඒත් කිසි කෙනෙක් සල්ලිවලට ගන්න බැරුව ගියා. නගරාධිපතිකම් දෙනවා කිව්වා. ඒත් ගියේ නෑ. හැබැයි ඒ පක්ෂ තුනේම කට්ටිය එහෙට මෙහෙට විකිණුනා. එවැනි නායකත්වයක් හදන්න පුළුවන් වෙන්නේ එවැනි නායකත්ව මණ්ඩලයකට විතරයි. නායකත්ව මණ්ඩලය දූෂණය කරලා වංචා කරලා පහළ මට්ටම හදන්න බෑ. ඒ නිසා අද ප්‍රාදේශීය නායකයන් අතින් සිදුවන අපරාධවලට වගකිව යුත්තේ එහි නායකයන්.

ඔබල පසුගිය කාලයේ වැඩිපුරම ගැහුවේ මහින්දට. ඒ මහින්දම රටේ උඩට ඇවිත් තියෙනවා?

එකක් ඔහුගේ දේශපාලනය.

මොකක්ද ඒ අමුතු දේශපාලනය?

සිංහල ජාතිවාදී චණ්ඩියෙක්. සිංහල ජාතිවාදී සංකේතය මහින්ද. හැබැයි ඔහුගේ දේශපාලනය විනාශකාරී දේශපාලනයක්.

ඔබ කියන හැටියට 20 වැනි සංශෝධනය ගේන්න හදනවා. හැබැයි පක්ෂ නායකයෝ දුවනවා ජනාධිපතිවරණය පස්සේ. වැඩේ වෙන්නේ නෑ වගේ නේද?

අපි කලබල විය යුතු නෑ බලමු. අපි සාර්ථක වීම අසාර්ථක වීම බලන්න නෙවෙයි අපි ආවේ. තවත් අවස්ථාවක් තියෙනවා නම් ඒකත් උත්සාහ කරලා බලනවා.

එක පැත්තකින් කියනවා ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා කියලා. තව පැත්තකින් කියනවා මෛත්‍රී කියලා. තව අය කියනවා රනිල් කියලා. ජවිපෙ හිටගන්නේ කොයි කඳවුරත් එක්කද?

අපේ පළවෙනි පියවර තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක.

එහෙනම් ඔබලා කියන්නේ 2020 දි අපිට දෙන්න කියල?

ඔව්. අපි කියනවා අපිට රට බාරදෙන්න කියලා. අපි ජනතාවට ආරාධනා කරනවා.

ඒ කියන්නේ එළඹෙන ඕනෑම මැතිවරණයකට තරග වදිනවා?

ඔව්. ජනතා විමුක්ති පෙරමුණ හෝ ඒකාබද්ධ සංවිධානයකින් අපි තරග වදිනවා.

ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00