2018 ජුලි 21 වන සෙනසුරාදා

කකුල් මාට්ටු පාලනය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

මේ ආණ්ඩුව හරියට කරන එක වැඩක් කියන්න පුළුවන්ද?

පසුගිය දවසක ආණ්ඩුවට හිතවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් මේ ප්‍රශ්නය අසා තිබුණේ ඔහුගේ හිතවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. අර තෙල් මිල ගැන අලකලංචියට කලින් ඔය ප්‍රශ්නය ඇහුවා නම් මට කියන්න තිබුණා මේ ආණ්ඩුව රටේ ජනතාවට නිදහසේ හැසිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීලා තිබෙනවා කියලා. ඒ වුණත් තෙල් මිල අනාගත්ත විදියයි සරත් ෆොන්සේකා මහත්තයා පාතාල කතාවට ප්‍රතිචාර දක්වපු හැටියටයි මට නම් ඔය ප්‍රශ්නෙට දැන් හරි පිළිතුරක් දෙන්න අමාරුයි.

මේ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරියා යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට දරදිය ඇද්ද පිරිසට තිරය පිටුපස සිට සහාය දැක්වූ අයෙකි. වුණේ මොකක්ද.... වෙන්න යන්නේ මොකක්ද යන්න ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණේය. කලින් ආණ්ඩුවේ දේශපාලන වැඩට රාජකාරි මට්ටමින් සහාය දුන් නිලධාරියකු වූ ඔහුට ඒ පාලනයේ අවුල් සහගත බවත් වැරදි තීන්දු ගැනීම් ගැනත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් දැඩිව මර්දනය කෙරුණු අවස්ථා ගැනත් හොඳ දැනුමක්ද තිබුණි. එම පාලනයේ නරකද එය වෙනස් කිරීමට හදිසියේ හදාගත් යහපාලන වට්ටෝරැවද හොඳින් සංසන්දනය කිරීමට ඔහුට හැකි විය. යහපාලනයට සපෝට් කිරීමට ඔහු තීන්දු කළේ ඒ අනුවය. හැබැයි දැන් ඔහුට කටඋත්තර නැතිවෙන තැනට වැඩ සිද්ධ වෙමින් තිබේ. ඔහු ගත් එක් උදාහරණයක් වන තෙල් මිල ගැන කතාව ආණ්ඩුවේ කල්ක්‍රියාව හොඳින් පෙන්නුම් කළ අවස්ථාවක් විය.

මැයි මාසේ මුල් කාලයේ මුදල් ඇමැති මංගල සමරවීර කිව්වේ සෑම මාස දෙකකටම වරක් මිල සූත්‍රයට අනුව තෙල් මිල තීරණය කරන බවය. එය සිංගප්පූරැ තෙල් මිල දර්ශකය පදනම් කර ගනිමින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට අනුව සිදුවන බවද ප්‍රකාශ විය. ඒ ගැන අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කළ බවත් ලෝකයේ මිල ඉහළ යනවිට මිල නැංවීමටත් පහළ එනවිට බැස්සීමටත් තීරණය වූ බවද සඳහන් විය.

ජූලි මාසේ 05 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තෙල් මිල වැඩි කෙරෙන්නේ එම එකඟත්වයට අනුවය. ජූලි 06 වැනිදා උදේ වරැවේ රථවාහන හිමියන් තෙල් ලබාගත්තේ නිදාගෙන නැගිටිද්දී වැඩි වී තිබූ මිලටය. නමුත් මෙහිදී රටේ ජනතාව වඩාත් පුදුමයට පත්වූයේ තමන් පමණක් නොව රටේ ජනාධිපතිවරයාද මිල වැඩිවීම දැනගත්තේ උදේ යැයි දැනගැනීමත් සමඟය. හැම සතියකම කැබිනට් රුස්වීමේ මුලසුන හොබවන ජනාධිපතිවරයා මධ්‍යම රාත්‍රියේ මිල වැඩිවීම නොදැන සිටීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද? වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකළ මිල ගණන් පහත හෙළීමය. හැම පිරවුම්හලකටම කතාකර මිල ගණන් වැඩි නොකරන්නැයි ඉල්ලා සිටීමට තෙල් සංස්ථාවට සිදුවිය.

මේ ක්‍රියාවලිය පෙන්නුම් කළේ රටේ ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරුන්ගෙන් කිසිම විමසීමක් නොකර තමන්ගේම ආණ්ඩුවෙන් ගත් තීන්දු වෙනස් කරන බවය. තමන්ගේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන බවය. මිල සූත්‍රයකට අනුව තෙල් මිල තීරණය කරන බව කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ජනාධිපතිවරයා නොදැන සිටීමට හේතුවක් නැත. සකස් කරගත් මිල සූත්‍රය ජූලි මාසේ 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවට සිහිකැඳවීමක්ද සිදුකෙරී තිබිණි. ඒ අනුව ලෝකයේ මිල ගණන් ඉහළ මට්ටමේ පවතිද්දී තෙල් මිල වැඩිවීම අපේක්ෂිත දෙයක් වී තිබිණි. එහෙම වුණත් ජනාධිපතිවරයාගේ තීරණය වී තිබුණේ එම මිල නැංවීම වැරදි බවය. එහෙම තීන්දුව ආපස්සට හැරෙව්වත් දවස් 06කට පසුව තැබූ ඊළඟ කැබිනට් රැස්වීමේදී එම මිල වැඩිකිරීම අනුමත වී තිබුණි. එම රැස්වීමද පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථා දෙකේදීම කිසිදු හේතු දැක්වීමක් සිදු නොවීම යහපාලනයට කොතරම් දුරට උචිතදැයි පෙන්වා දිමට හෝ කෙනකු ආණ්ඩුවේ සිටියේ නැත.

වගවීම සහ විනිවිදභාවය පිළිබඳව විශාල හඬක් නගමින් බලයට පත්වූ යහපාලන ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ මෙහෙම බවක් දන්නවා නම් මුලින් සඳහන් කළ විශ්‍රාමික නිලධාරියා වැනි උගතුන් මේ ආණ්ඩුව බලයට පත් කිරීමට සපෝට් නොකරන බවට කතා දෙකක් නැත. දැන් එවැනි පුද්ගලයන්ට සද්ද වහගෙන ඉඳීම හැර වෙනත් කරන්නට දෙයක් නැත.

ඊළඟට ඇමැති සරත් ෆොන්සේකා පසුගියදා මාධ්‍ය සමඟ පැටලුණේ යහපාලන ප්‍රතිපත්ති තඹේකට මායිම් නොකරමිනි. ඔහුගේ ආරක්ෂක නිලධාරීන් අතර පාතාලයේ පස් දෙනකු සිටින බවට පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔහු දැක්වූ ප්‍රතිචාරය ආණ්ඩුවට එකතු කළේ කළු පැල්ලමකි. තමන් ළඟ පාතාලයන් නොසිටින බව ඔහු ප්‍රකාශ කළත් ඔහු යන එන තැන්වල ඡායාරූපවල එවැනි පාතාලයන් සිටින බවට එල්ල වූ චෝදනාවට ඔහු දුන්නේ ලිස්සා යන පිළිතුරකි. එපමණක් නොව කේරළ ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකු මුදාහරින්නැයි පොලීසියට කළ බලපෑම් සම්බන්ධයෙන් තමාට එල්ල වූ චෝදනාවද ඔහු ප්‍රතික්ෂේප කළේය.

එහෙත් එම සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍යවලට ලැබී තිබුණේ නිවැරුදි තොරතුරු බව එම මාධ්‍ය හමුවේදී සඳහන් විය. මෙහි වඩාත්ම බැරූරැම් කාරණය වන්නේ එම ප්‍රවෘත්තිය ඡායාරූපද සමඟ පළකළ නෙත් එෆ්.එම්. ආයතනයට ඒවා ඉවත් කරන්නැයි ඇමැතිවරයා දැඩි බලපෑම් එල්ල කළ බවට නැගෙන චෝදනාය.

එසේම අදාළ පුවත ලියූ ලංකාදීප මාධ්‍යවේදියාටත් නෙත් එෆ්.එම්. මාධ්‍යවේදියාටත් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය ඉදිරියේ බරපතළ චෝදනා එල්ල කළේය. එම චෝදනා එල්ල කිරීමේදී පැහැදිලි වූයේ ඇමැතිවරයා ලංකාදීප මාධ්‍යවේදියාගේ රාජකාරි සීමාවන් පිළිබඳව හෝ දැන නොසිටි බවය. ආරක්ෂක තොරතුරැ සහ අපරාධ සම්බන්ධ තොරතුරු වාර්තා කරන ලංකාදීප මාධ්‍යවේදියා සරත් ෆොන්සේකා මහතා දැන සිටියේ දේශපාලන කොලම් ලියන මාධ්‍යවේදියකු හැටියටය. මෙසේ කරුණු හරිහැටි සොයා නොබලා සිදුකරන ප්‍රකාශවලින් හානිය සිදුවන්නේ ඇමැතිවරයාටත් වඩා ආණ්ඩුවටය. ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිවලටය. මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට තර්ජන කරන බවට රාජපක්ෂ රජයට චෝදනා කරමින් බලය ලබාගත් යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරැන්ට මේ ආකාරයට හැසිරීමට අයිතියක් නැත. එය ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවීම් කළ සියලු දෙනාගේම කනස්සල්ලට හේතුවන බව මේ මැති ඇමැතිවරුන් තේරුම් නොගැනීම ලොකුම අවාසනාවය.

ග්ලයිෆොසේට් තහනම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය, මරණ දඬුවම පැනවීම වැනි කාරණා සම්බන්ධයෙන්ද ආණ්ඩුව ඇතුළේම ඒකමිතික බවක් නොතිබීමද පැහැදිලිව හඳුනාගත හැකිය. ග්ලයිෆොසේට් තහනම් කිරීමත් තහනම ඉවත් කිරීමත් දෙකම සිදුවන්නේ මේ ආණ්ඩුව යටතේමය. සටන්පාඨ ප්‍රතිපත්ති බවට හැරවීම පහසු කටයුත්තක් නොවන බව මේ ආණ්ඩුවටද දැනෙන්න ඇත්තේ ග්ලයිෆොසේට් තහනම් සිද්ධියෙනි. එහි තහනම ඉවත් කිරීම ගැන පැහැදිලි, ඍජු ප්‍රකාශයක් ආණ්ඩුවේ නායකත්ව මට්ටමින් කවදාවත් ප්‍රකාශ නොවීම ලොකු අඩුපාඩුවක් විය.

එසේම ආණ්ඩුවේ තවත් පොරොන්දුවක් වූ අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමද දැන් අර්බුදයකට යමින් තිබේ. එය සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා ලබාදුන් පොරොන්දුවක් මෙන්ම ජිනීවා සැසිවාරවලදී සඳහන් වූ කාරණාවක්ද විය. කෙසේ වුවද එක් දේශපාලන විචාරකයකු පසුගියදා පෙන්වා දී තිබුණේ 2017 ජනවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරත් මහින්ද - ගෝඨාභය පාලනය කාලයේ පැවැසූ කරුණත් අතර වෙනසක් නැති බවය. පොලීසියේ වාර්තාවලට අනුව ජනවාර්ගික අරගලය තුළදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ සඳහන් නොවන බවත් කෙසේ වුවද නීති විරෝධී, සම්ප්‍රදායික නොවන මාර්ග ඔස්සේ විදෙස් රටවලට පළාගිය පුද්ගලයන් සිටිය හැකි බවත් අගමැතිගේ එම පිළිතුරේ සඳහන් වී තිබිණි. එසේ නම් අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් කුමකටදැයි යන ප්‍රශ්නය ඉතිරිවෙයි.

රටේ ජනතාව එදිනෙදා විඳින විවිධ අපහසුතා දිනෙන් දින ඉහළ යාමද යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කලකිරීම උත්සන්න වන කාරණා අතර ඉහළින්ම වෙයි. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කර රැකියා අවස්ථා දස ලක්ෂයක් උත්පාදනය කරන බවට ලබාදුන් පොරොන්දු සියල්ල දැන් වාෂ්ප වී ගොසිනි. ඒ ගැන කතාවක් හෝ නැත. පසුගිය පාලන කාලයේදී රුපියල් 3000කින් වැටුප් වැඩිකරන බව කියා එය පසුව රුපියල් 350ක් දක්වා අඩුකර ඉතිරි වැඩිවීම පසුව සිදු කරන බව කීමට තරම් හැකියාවක් රාජපක්ෂ පාලනයට තිබුණත් මේ ආණ්ඩුව ඒ කිසිවක් සිදු නොකරන බව පෙනේ. රාජපක්ෂලා එවැනි කතා කිව්වේ ඊට කෙටියෙන් හෝ හේතු පහදා දෙමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළත් පෙට්රල් ලීටරය රුපියල් 100ට අඩු නොකරන බව මහින්ද කිව්වේ එහෙම මිල අඩුකර රටේ ආර්ථිකය හැසිරවීමට නොහැකි බවය. එහෙම කියූ මහින්ද රුපියල් 2කින් තෙල් මිල බස්සා තමන්ගේ පාලනය ගෙන ගියේය. නමුත් දැන් රටේ තෙල් මිල වැඩිවීම හෝ අඩුවීම හේතු දැක්වීමකින් තොරවම සිදුවෙයි. එය කෙසේ නම් යහපාලනය වශයෙන් හැඳින්විය හැකිදැයි ප්‍රශ්නයකි.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ තීන්දුවද ඒ ආකාරයම හදිසියේ ගත් තීන්දුවක් වශයෙන් පෙනී යන්නේ ඊට බලපෑ හැකි සෙසු කාරණා ගැන සැලකිල්ලක් යොමු කර නැති බවට කරුණු හෙළිවෙද්දීය. කැබිනට් මණ්ඩලයේ බහුතරය එයට එකඟ වුවද මංගල, රාජිත, අජිත් පී. පෙරේරා, කරු පරණවිතාන මීට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. එසේම අන්තර්ජාතික සම්මුතීන්ට ගරැකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන්නේ යැයි ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ආණ්ඩුව ලබා දී ඇති පොරොන්දුවලට එම තීරණය හරහට හිටින බව රජය තේරුම් ගත්තේ නැත. විශේෂයෙන්ම යුරෝපා ප්‍රජාව, ජගත් මානව හිමිකම් කවුන්සිලය මේ තීන්දුවට විරෝධය පාන බව දැන සිටිමින් තීන්දුව ගැනීමට පෙර කිසියම් හෝ කරුණු දැක්වීමක් සිදු කිරීමට ආණ්ඩුව අපොහොසත් විය. එහි ප්‍රතිඵලය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දැමීම විය හැකිය. එසේම මෙරට කුඩු ජාවාරම මෙහෙයවීමට යටින් සිටිමින් සහාය දක්වන බලවත් පුද්ගලයන් නිදැල්ලේ සිටියදී එක් පිරිසකට පමණක් එවැනි දඬුවමක් ලබාදීමෙන් මේ ප්‍රශ්නය නොවිසඳෙන බවට තර්ක කරන ලොකු පිරිසක්ද සිටිති. ආණ්ඩුව බොහෝ තීරණ ගන්නේ හැම පැත්තක්ම සලකා බැලීමකින් තොරව බවට මෙය උදාහරණයකි.

මේ සියලු කාරණා මැද පසුගිය බ්‍රහස්පතින්දා (19) පාර්ලිමේන්තුවේදී ජනාධිපති නෙරපීමට සිදුකෙරෙන කුමන්ත්‍රණයක් ගැන ඒකාබද්ධයේ නායක දිනේෂ් එල්ල කළ චෝදනාව හේතුවෙන්ද ආණ්ඩුවේ අර්බුදය තවත් බරපතළ අතට හැරෙන බව පැහැදිලිය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන එක් වගන්තියකින් කථානායක, අගමැති සහ විපක්ෂනායක කැමැත්තෙන් ජනාධිපති ඉවත් කළ හැකි යැයි ප්‍රකාශ වෙන බවට කෙරෙන එම චෝදනා ජනාධිපතිවරයා කෙසේ බාරගනීදැයි කීම අපහසුය. එහෙත් එම වගන්තිය තමන්ගේ කකුලෙන් අදින පිරිසක් උවමනාවෙන් ඇතුළු කළාදැයි ජනාධිපතිවරයා සිතනවා වෙන්නත් පුළුවන.

 ශශීන්ද්‍ර

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30