2018 ජුලි 14 වන සෙනසුරාදා

යහපාලනය කොහොමද?

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 281

යහපාලන ආණ්ඩුවක් යනු අපූරු පාලන ක්‍රමයක් විය හැකි බවට අදහසක් 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාවට තිබිණි. සියල්ල හරියට නොකෙරුණත් රට එතෙක් ගමන් කරමින් තිබූ මාර්ගයෙන් වඩාත් යහපත් මාර්ගයකට රට යොමුකරවනු ඇති බවට ඔවුන්ගේ විශ්වාසය විය. එහෙව් ආණ්ඩුවක් ගැන අවුරුදු තුන හමාරක් ගතවීමෙන් පසුව ජනතාව හිතන්නේ කොහොමද කියා සොයා බැලීම සුදුසුය. මේ ආණ්ඩුවේ ගමනට ඔක්සිජන් ඇත්තේ තව මාස 15ක පමණ කාලයක් සඳහා පමණක් වීම ඊට හේතුවය.

වැඩිදුරකට යා යුතු නැත. ආණ්ඩුව වැඩ ඇල්ලුවේ දින සීයක වැඩපිළිවෙළකිනි. රටේ ජනතාවට, විශේෂයෙන්ම රජයේ සේවකයන්ට දහදාහකින් වැටුප් වැඩිකිරීම, කන බොන දේවල්වල මිල බැස්සීම, කාර්වල මිල ගණන් පහත දැමීම, පෙට්රල්, ඩීසල් සහ ගෑස්වල මිල බැස්සීම, මේ සියල්ල ඒ දවස් සියය ඇතුළත සිදුවිය. ඊටපස්සෙ වුණේ මොකක්ද?

අගෝස්තුවේ මහ ඡන්දය ආවේය. කාටවත් ආසන 113 නොමැති වීම නිසා ආණ්ඩුව කරන්න වුණේ හවුලේය. ඒ අවස්ථාවේදීද රටේ ජනතාව යහපාලනය ගැන හිටියේ ලොකු බලාපොරොත්තුවකින් බව පැහැදිලිය. මේ අතරවාරයේ මහ බැංකුවේ බැඳුම්කර මගඩිය එළියට පැන්නේය. යහපාලන නම රැකගැනීමට නම් හවුල් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය යූ.එන්.පියට එරෙහිව බැඳුම්කර මගඩි සටන් පාඨය අතට ගත යුතුව තිබිණි. එය ප්‍රමාදවීම මහින්දලාගේ ඒකාබද්ධ විපක්ෂයට ආශිර්වාදයක් විය. ඒ අය බැඳුම්කර මගඩියේ එල්ලෙන විට ආණ්ඩුවේ ශ්‍රීලනිප කට්ටියද බැඳුම්කරයට වෙර යොදා පහරදෙනු හැර වෙනත් මගක් නොතිබිණි. යහපාලනයේ නාමයෙන් වැඩේ යට ගසන්නට හැකි වෙතැයි යූ.එන්.පිය තුළ යම් අදහසක් තිබුණා නම් ඒ අදහස හකුලා ගැනීමට වැඩි කලක් ගියේ නැත. ඒ වුණත් යූ.එන්.පි.ය යහපාලන බෝඩ් ලෑල්ලත් හවුල් ආණ්ඩුවත් දෙකම අතහැරීමට කැමැති වූයේ නැත. නමුත් ශ්‍රීලනිප කට්ටිය නම් බල බලා හිටියේ යහපාලන බෝඩ් ලෑල්ලෙන් ගැලවීමටය. එය වළක්වා ගැනීම වෙනුවට යූ.එන්.පිය කළේ තනිවම ආණ්ඩුවක් හදාගන්නා බවක් පෙන්වමින් එහිම ඇලී ගැලී සිටීම පමණි. අවසානයේ මහින්දලාගේ ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වී පොහොට්ටුව පිපී එය පොදුජන පෙරමුණ නමින් දේශපාලන කරළිය තුළ ඉඩ හදාගනිද්දී ශ්‍රීලනිපයේ ප්‍රබල කොටසක් කැඩී වෙන් විය.

කැඩී වෙන්වී යාම සිදුවීමට යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර තුන හමාරකට ආසන්න කාලයක් ගෙවුණත් හවුල හදනකොටම එය ගැලවෙන බවට පැහැදිලි ලකුණු තිබිණි. දෙපිරිසම තනිවම ආණ්ඩු හදන කතා කියමින් සිටියේ ඒ හේතුවෙනි. දැන් නම් පෙනෙන්නේ හවුල් ආණ්ඩුව සහ යහපාලනය දෙකම ඇත්තේ නමට පමණක් බවය. නායකයන් දෙදෙනාම කතා කරන්නේ මතවාද දෙකක සිටිමිනි. යහපාලනය පවත්වාගෙන යාමට දැන් හැබෑම වුවමනාවක් ඇත්තේ කාටද? ඒ ගැන කතා කිරීමට පෙර යහපාලනය ගෙන ඒමට දරදිය ඇද්ද පිරිස් කවුදැයි සොයා බැලිය යුතුය.

මුලින්ම මහින්දගේ කඳවුර බලාපොරොත්තු නොවන අපේක්ෂකයකු සොයාගැනීම අවශ්‍ය විය. ඔවුන් මුල සිටම තමන්ගේ කැම්පේන් එක සැලසුම් කර තිබුණේ රනිල්ට එරෙහිවය. මෛත්‍රීපාල ජනාධිපති අපේක්ෂකයා වීමෙන් මහින්දලාගේ කැම්පේන් එක අතරමං විය. යහපාලන ආණ්ඩුවේ මුල්ගල තැබුණේ එතැනිනි.

ඊළඟට මෛත්‍රීපාල සහ රනිල් එකතුව සමාජගත කිරීම සිදුවිය. ඒ සඳහා මුල සිටම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ (ඒ හිමියන්ගේ නම දැන් නම් සඳහන් වන්නේ කලාතුරකිනි.) ව්‍යාපාරය, සිවිල් ක්‍රියාකාරිකයන්ගේ එකතුව, රතන හිමියන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වය, රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ බහුතරය සහ ප්‍රබල වෘත්තීය සමිති කිහිපයක්ද ඒ සඳහා සුසංයෝග විය. දැන් යහපාලන ආණ්ඩුවේ තත්ත්වය විමසා බැලීමට නම් එදා එම ආණ්ඩුව පිහිටවූ පිරිස් අද සිටින්නේ කොතැනදැයි සෙවිය යුතුය.

සෝභිත හිමියන් අද නැතිවුවද ආණ්ඩුවේ මුල් කාලයේ ක්‍රියාකාරීත්වය ගැන උන්වහන්සේ සිටියේ දැඩි පශ්චාත්තාපයකිනි. තැටිය රත්කරල දුන්නෙ ගිනි තපින්න නොවේ යන උන්වහන්සේගේ සුප්‍රසිද්ධ කියමන එම කනස්සල්ල ප්‍රකාශ වූ අවස්ථාවකි. ඒ කියමන ආණ්ඩුව පිහිටුවා මාස කිහිපයක් යන්නට පෙර ප්‍රකාශ වුවද එහි ගැබ්ව තිබූ සංඥාව හඳුනා ගැනිමට යහපාලන නායකයන්ට නොහැකි විය. නොහැකි වූවාට වඩා උවමනාවක් තිබුණේ නැත. වැඩ සිදුවුණේ ආපසු ඡන්දයකට මුහුණදීමට සිදු නොවන ආකාරයට බව පෙනුණි. මේ අතරවාරයේ පැත්තකින් සිදුවෙමින් තිබූ මහින්දගේ ප්‍රතිරෑපය යළි නැංවීමේ වැඩපිළිවෙළද ආණ්ඩුවේ ග්‍රහණයට හසු වූයේ නැත.

යහපාලනය බලයට ඒමේදී ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූ රාජපක්ෂවරුන්ගේ පැත්තේ ලෝක හොරුන් ඇල්ලීමේ ව්‍යාපෘතියද ඒ වනවිටත් දියාරු වෙමින් තිබුණි. ඉඳහිට එක් අයකු දෙදෙනකු අල්ලා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් ජනතාවගේ බලාපොරොත්තුව ඊට වඩා වෙනස් විය. කොටින්ම වසර තුනහමාරක් ගෙවී ඊළඟ ජනාධිපතිවරණයටත් සූදානම් වනවිටත් ආණ්ඩුව කතා කරන්නේ අලුතින් පිහිටුවන මහාධිකරණයේ පවරණ නඩු ගැනය. මහා විශාල හොරකම් කළ බවට චෝදනා එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව කිසිම නඩුවක් ක්‍රියාත්මක නොවන බව ජනතාව වටහාගත්තේ දැනට කාලයකට පෙර යැයි කීම බොරැවක් නොවේ. දැන් ජනතාව කියන්නේ බැඳුම්කර මගඩියේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යහපාලන ආණ්ඩුව රාජපක්ෂ යුගයේ හොරුන් ඇල්ලීම බොරු ෂෝ එකක් බවට පත්කර ඇති බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවද හොරකම පිළිබඳ දේශපාලන ඉතිහාසයේ වැඩිම චෝදනා ලැබූ මහින්ද ඇතුළු රාජපක්ෂ යුගයේ නායකයන් අද සිටින්නේ එම චෝදනා එල්ල කළ මෛත්‍රී - රනිල් නායකයන්ට වඩා ඉතාම ශක්තිමත් දේශපාලන පදනමක බව පැහැදිලිය.

අද යහපාලන නායකයන් යන පාර ගැන හොඳම කතාවක් පසුගියදා කියා තිබුණේ නීතිඥ ශිරාල් ලක්තිලකය. ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට ගෙන ඒමට තිරය පිටුපස විශාල මෙහෙයක් කළ චරිතයකි. අදටද ඔහු ජනාධිපතිගේ සමීපතම දේශපාලන උපදේශකයෙකි. ඔහු කියන්නේ මොකක්ද?

යහපාලන දේශපාලනය දැන් අවසන් බව මගේ මතයයි.

19 වැනි සංශෝධනයෙන් නාමික අගමැතිවරයා විධායක අගමැතිවරයකු බවට පත්වුණි. විධායක ජනාධිපති අර්ධ නාමික ජනාධිපතිවරයකු බවට පත්වුණි. විධායක ජනාධිපතිවරයකු සිටින බව ජනතාව සිතුවද එවන් අයකු නැත. මෙයට සමගාමීව අලුත් විධායක අගමැතිවරයා බලතල පාවිච්චියට යොමු වූයේය. මෙයින් ජනපතිවරයා වටකර තිබේ. තමන් ආක්‍රමණය කරන බවට ජනපතිවරයාට සිතීමට මේ කරැණු බලපෑවේය.

ලංකාදීප පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් නීතිඥ ශිරාල් ලක්තිලක මේ කරුණ ඇතුළු තවත් බොහොමයක් දේ විස්තර කර තිබුණි. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 19 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම මූලික අරමුණක් විය. මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රුඳී සිටීම සඳහා හදිසියේ සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා උපයෝගී වූ 19 වැනි ව්‍යවස්ථාව ආණ්ඩුවේ අර්බුදයට මුල බව දැන් කියන්නේ රටේ ජනතාව නොවේ. යහපාලනය ගෙනඒමට දරදිය ඇදි ශිරාල් ලක්තිලකලාය.

මීළඟට යහපාලන ආණ්ඩුව ගෙන ඒමට තවත් මූලික වූ චරිතයක් වන අතුරලියේ රතන හිමියන් පවසන්නේ රට අස්ථාවර බව රටේ හැමෝටම දැනී තිබෙන බවය. රටේ එක පැත්තක හිට්ලර් කෙනකු ගැනත් තවත් පැත්තක ප්‍රභාකරන් කෙනකු ගැනත් කතා කිරීමෙන් පෙනෙන්නේ රට විශාල අරාජික භාවයක තිබෙන බව යැයිද කතාවට ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡාව, සම්මුතිය වුණාට අත්තනෝමතික පුද්ගලයන් තුන්හතර දෙනකුගේ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙන්නේ යැයිද උන්වහන්සේ කියා තිබිණි.

මේ කතා කියන්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට මූලික වූ පුද්ගල පිරිසමය. සිවිල් ක්‍රියාකාරී කමිටුව දැඩි විවේචනයකට නොගියත් දැන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ කලාතුරකිනි. එසේම යහපාලනයකට තමන්ගේ කැමැත්ත දුන් බොහොමයක් රජයේ ඉහළ නිලධාරි පැලැන්තියද දැන් ඉන්නේ ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයකය. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක වැටුප් වැඩි කිරීම ඔවුන්ගේ බලවත් උදහසට ලක්වී තිබේ. ආණ්ඩුව තමන්ට අවශ්‍ය නිලධාරි පිරිස් හීලෑ කර ගැනීම සඳහා මේ වැනි තීන්දුවක් ගත්තත් එයින් සිදුවී තිබෙන්නේ රටේ කිසි කලෙකත් සිදු නොවූ පරිදි සියලු විධායක, වෘත්තීමය නිලධාරි සංගම් එකම සටන් පෙරමුණකට ඒමය. දැන් ආණ්ඩුවට මේ ප්‍රශ්නය ගොඩින් බේරාගැනීමට හැකියාවක් නැත. විගණක, ආයුර්වේද වෛද්‍ය, ඉංජිනේරු, දේශීය ආදායම් ඇතුළු ක්ෂේත්‍ර 23ක් මේ සටනේ පෙරමුණ ගෙන සිටී. මේ සියලු ක්ෂේත්‍ර අවසානයේ නතර වනු ඇත්තේ තමන් බලයට ගෙන ආ යහපාලන හවුල් ආණ්ඩුවේ අභියෝගකරුවන් හැටියටය. නමුත් ආණ්ඩුව තවමත් සිටින්නේ මේ බරපතළ අනතුර ගැන හැඟීමකින් තොරව බව පැහැදිලිය. නැත්නම් මෙතරම් ප්‍රශ්න ගොඩගැසෙද්දී රටේ ජනාධිපතිවරයා අපරාධ අඩුවීම ගැන කතා කිරීමටත් අගමැතිවරයා 2050 වසරේ රටේ ආර්ථිකය ගැන කතා කිරීමටත් හේතුවක් නැත.

මෙතෙක් කාලයක් යහපාලන ආණ්ඩුව විවේචනය කළේ ඊට පහරදුන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ මහින්දගේ කණ්ඩායමය. දැන් පහර ගහන්නේ ආණ්ඩුව ගෙන ආ පාර්ශ්වකරුවන්මය. තවදුරටත් යහපාලනයක් හෝ හවුල් ආණ්ඩුවක් පවතින්නේදැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තනිවම සාකච්ඡා කර තීරණයක් ගැනීමට කාලය පැමිණ තිබේ.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00