2018 ජුලි 14 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

අර්ජුන තවමත් මුරණ්ඩුයි

ඩොලර් මිලියන 10ක මැලේසියානු සමාගමක ආයෝජනයක් වන මුතුරාජවෙල ලිහිසි තෙල් නිෂ්පාදන කම්හල සම්බන්ධ ආරවුල තවම විසඳී නැත. පසුගිය සතියේදී විශේෂයෙන් මෙම තීරුවෙන් හෙළිදරව් කර තිබූ පරිදි ඉහත කැබිනට් රැස්වීමේදී එම කම්හලට බලපත්‍ර ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විෂය භාර ඇමැති අර්ජුන රණතුංගට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබිණි. වහාම එම බලපත්‍ර ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා නියෝගයක්ද කළේය.

කෙසේ වුවද ඊළඟ කැබිනට් රැස්වීමේදී අර්ජුන ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ තෙල් සංස්ථා සභාපති ධම්මික රණතුංග මහතාත් (ඇමැතිගේ සොහොයුරා) තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතාත් අදාළ බලපත්‍ර ලබාදීමට විරෝධය පළ කරන බවය. මෙය කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට එරෙහිව යාමක් සේම තීන්දුවක් ගැනීමෙන් පසු එය ක්‍රියාත්මක නොකිරීමේ වැරැදි පූර්වාදර්ශයක් බවද පෙනී යයි.

මේ බලපත්‍ර ලබානොදීමට අමාත්‍යාංශය විවිධ හේතු විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කර තිබිණි. මේ වසරේ ජනවාරි මාසයේදී දැනට ඉවත් වී සිටින ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතාට එවා තිබෙන ලිපියකින් පෙන්වා දී ඇත්තේද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීමේ වගකීම අමාත්‍යාංශ පරිපාලනයේ අසමත්කම පිට පැටවෙන බවය. අදාළ කාරණය සම්බන්ධයෙන් මැලේසියානු සමාගම බේරුම්කාර මණ්ඩලයකට ගියහොත් වන්දි ගෙවීමට පවා සිදුවිය හැකි බවටද එහි සඳහන්ය.

ජනාධිපතිවරයා ෙම් ගැන සිය අවධානය යොමුකර ඇත්තේ මාස 06කට පසුව බවද ලේකම්වරයාගේ මේ ලිපිය පෙන්වා දෙයි. තවමත් ඒ ප්‍රමාදය පිළිබඳ වගකිවයුත්තන්ට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ලංකාවට එන විදේශ ආයෝජන සම්බන්ධ යථාර්ථය මෙයයි. 

සන්ඩේ ටයිම්ස්

මීළඟ පොදු අපේක්ෂකයා තමා යැයි කියාගන්නා තරුණ මන්ත්‍රී

පාර්ලිමේන්තු කොරිඩෝව බොහෝ මැති ඇමැතිවරුන්ගේ අල්ලාප සල්ලාප, මතගැටුම්, බහින් බස්වීම් සිදුවන ස්ථානයකි. ඒවාට පක්ෂ විපක්ෂ භේදයක් නැත.

මෙවැනි ඇතැම් සිදුවීම් ඒ ඒ මැති ඇමැතින්ගේ පෞරුෂත්වය පිළිබඳ පමණක් නොව ඔවුන් තුළ පවතින අසීමිත අනාගත අපේක්ෂාවන්ද හෙළි කරයි.

පසුගිය සතියක පාර්ලිමේන්තු කොරිඩෝවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිපදෙනකු සිටි ස්ථානයට පැමිණි තරැණ දේශපාලනඥයෙක් පැවැසූ කාරණයක් එතැන සිටි සියලු දෙනාගේ සිනහවටත් පසුව කතාබහටත් ලක්විය. මේ තරුණ දේශපාලනඥයාගේ පියාද දොඩමලු චරිතයකි. තරුණයා කියා සිටියේ තමන්ගේ පියා රටේ නායකයන් දෙදෙනා හමුවට තමන්ව කැඳවාගෙන යාමට සූදානම් වන බවය. හේතුව - මීළඟ ජනාධිපතිවරණයේදී ඔවුන් දෙදෙනා තමාව පොදු අපේක්ෂකයා වශයෙන් සලකා බලමින් සිටීමය.

මේ කතාව අසා සිටි ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති චන්දිම වීරක්කොඩිගේ ඇස් එකිනෙක ගැටුණි. ඔවුන්ට සිනහ පහළ වීම නවතාගත නොහැකි විය.

මේ පොදු අපේක්ෂකයා පොදු නොවන කතාවලට රැසියෙකි. වරක් ඔහු කිව්වේ අභාවප්‍රාප්ත විජය කුමාරණතුංග සමඟ දේශපාලනය කර ඇති බවය. දේශපාලනඥයෙක් වහාම ඔහුගේ උපන් දිනය සොයා බැලූ අතර හෙළිවූයේ ඒ කාලයේ මොහු පොඩි බබෙක් බවය. මේ පියා සහ පුතා දෙදෙනාම මහත් බලාපොරොත්තු පොදිබැඳ සිටින දෙදෙනෙකි.

සන්ඩේ ටයිම්ස්

පුෂ්පා රාජපක්ෂ පදනමට දුන් රුපියල් මිලියන 19.4

පුෂ්පා රාජපක්ෂ පදනම සඳහා රුපියල් 19,410,000 (ඩොලර් 1,50,000) ක් තම සමාගම මගින් ලබාදුන්නේ සද්භාවයෙන් යුත් පරිත්‍යාගයක් වශයෙන් බව කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් (සී.අයි.සී.ටී.) නිවේදනයක් නිකුත් කරමින් යළිත් ප්‍රකාශ කරයි. අඩු වරප්‍රසාද සහිත පවුල් වෙනුවෙන් නිවාස සාදා දීමට එම මුදල් ලබාදුන් බවද එහි සඳහන්ය.

මාධ්‍ය මගින් හෙළිකරන ලද වාර්තාවකට පිළිතුරු වශයෙන් එම සමාගම මේ නිවේදනය නිකුත් කර තිබේ. අදාළ බලධාරීන් විසින් වසර තුනකට පෙර මෙම කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ බවත් සඳහන් කරන එම නිවේදනය මෑතකදී යළිත් පළවූ වාර්තා හේතුවෙන් මේ නිවේදනය නිකුත් කරන බවද කියයි. තමන්ගේ ආයතනික සමාජ වගකීමේ දායකත්ව කොටසක් වශයෙන් මේ පරිත්‍යාගය ලබාදුන් බවත් එම මුදල වෙනත් කටයුත්තකට යොදවන්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් එම ආයතනය කියයි.

අරමුදල් නිකුත් කිරීමෙන් පසුව අරමුණු කරගත් ව්‍යාපෘතිවලට එම මුදල් අදාළ ආයතන මගින් යොදවනු ඇතැයි අපේක්ෂිත අතර තමන් ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා මැදිහත් නොවන බවද එහි සඳහන් වේ.

ඩේලි එෆ්.ටී.