2018 ජුලි 14 වන සෙනසුරාදා

කුඩු කුඩුකරන විසඳුම

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

රටේ අපරාධ, කුඩු ජාවාරම්, මිනීමැරුම් වාර්තා වීම අඩු වෙමින් පවතින බව පසුගිය දිනවල නායකයන්ගේ කතාවල පවා සඳහන් විය. එහෙත් දින කිහිපයකට පෙර රට තුළ මෙතෙක් පොතට පමණක් සීමා වී තිබූ එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට තීන්දුවක් ගෙන තිබිණි. අලුගෝසු රාජකාරියට සුදුස්සන් දෙදෙනකු බඳවා ගැනීමට ද පියවර ගැනෙමින් තිබේ. මේවා එකිනෙකට පරස්පර කතාය. අපරාධ අඩු වෙනවා නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ කුමකටදැයි ඕනෑම කෙනකුගේ සිතට නැගෙන ප්‍රශ්නයකි.


ඒ කතා කෙසේ වුවත් පසුගිය දිනවල අසන්නට ලැබුණු මහ තොග පිටින් කුඩු අසුවීමේ ඇඟ හිරිවට්ටන කතා කියන්නේ මරණ දඬුවම නැතිව බැරි තත්ත්වයකට රට පත්වෙමින් සිටින බවය. කොළඹට නුදුරු දෙහිවලින් රුපියල් කෝටි 113ක කුඩු තොගයක් හමුවුණ කතාවේ උණුසුම මැකී යාමටත් පෙර සේරුවිලෙන් කෝටි 12ක පමණ කුඩු තොගයක් අසුවිය. ඒ අතරවාරයේ කටුනායක ගුවන්තොටට පැමිණි මගියකුගේ බෑගයෙන් තවත් කෝටි 09ක කුඩු තොගයක් හමුවිය. කුඩු ජාවාරමුන්ට මොන දඬුවමක් දුන්නත් මදි යැයි සිතෙන්නේ මේවා කන වැකෙන විටදීය. සංචාරකයන්ගේ පාරාදීසයක් වශයෙන් නම් ලබා සිටින අපේ රට කුඩ්ඩන්ගේ පාරාදීසයක් බවට පත්වීමට වැඩි කාලයක් නොයනු ඇති බව මේ කුඩු ගොඩ හමුවීමෙන් නිහඬව පෙන්වා දෙන යථාර්ථයයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මරණ දඬුවම් ලැබ සිරගෙදර සිටිමින් කුඩු ජාවාරම් මෙහෙයවන ජාවාරම්කාරයන්ට එරෙහි එම දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවය. මරණ දඬුවම බලාත්මක වීමට නම් ඊට රාජ්‍ය නායකයාගේ අත්සන යෙදිය යුතුය. කුඩු ජාවාරම මර්දනය කිරීමට වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් නැත්නම් තාවකාලිකව හෝ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිවකුත් විරුද්ධ විය නොහැකි බව අපගේ විශ්වාසය ද වෙයි. මත්කුඩු ජාවාරමුන් විසින් බිලි ගන්නා රටේ අනාගත පරපුර බේරා ගැනීමට නම් නීතිමය වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ගත යුතු යුතුය.

මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ බන්ධනාගාරය ඉතාම ආරක්ෂිත කුඩු මධ්‍යස්ථානයක් බවට පත් වීමය. අවශ්‍ය වන්නේ සුපිරි ගණයේ දුරකථනයක් පමණි. අත දිග හැර මුදල් වියදම් කළ හැකි නම් එවැනි දුරකථන සපයා ගැනීම සුපිරි සිරකරුවන්ට සුළු දෙයකි. කුඩු රජවරුන් සිරගතව සිටිමින් දුරකථන යොදාගෙන ලංකාවට කුඩු ගෙන්වනවා පමණක් නොව එසේ ගෙන්වා ගන්නා කුඩු එළියේ සිටින තම ගෝලබාලයන් ලවා රිසි සේ බෙදා හරිති. මේ ගෝල පිරිසද එකිනෙකා මරා ගනිමින් ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේත්, දේශපාලනඥයන්ගේත් සහාය ඇතිව ජාවාරම මෙහෙයවති. බන්ධනාගාරයේ සිටින දූෂිත නිලධාරීන්ගේ සහායද මීට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. මේ සියලු වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ මරණ දඬුවම පොතට පමණක් සීමා වී තිබීම හේතුවෙනි.

තමන් කවදා හෝ එළියට එන බව දැන සිටීම නිසා කුඩු රජවරැ මේ වැඩවලට අත ගැසීමට කිසිම බියක් නොදක්වති. ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳින බව පැවසුවද විවිධ වර්ගයේ සමාව ලැබීම් හේතුවෙන් ඇතැම් දේශපාලන ලොක්කන්ගේ සහායද ලබාගෙන මේ අය වසර කිහිපයකින් එළියට එති. හිරගෙවල් වල සිටිමින් දාමරික වැඩකරන අයට මරණ දඬුවම දීම සාධාරණ බව අගරදගුරැතුමන් පවා ප්‍රකාශ කරන්නේ මේ හේතුවෙනි. මීට මාස කිහිපයකට පෙර පිටකොටුවේ හරස් වීදියකදී මහ දවල් මෝටර් රියකින් ගමන් කරමින් සිටියදී මරා දැමුණු එක් පුද්ගලයකු කුඩු ජාවාරම් හේතුවෙන් සිරගත වී සිට නිදහස ලබා එළියට පැමිණ සිටි අයකු බව හෙළි විය. වසර 11ක සිර දඬුවමකට යටත්ව සිටි ඔහු වසර දෙක තුනකින් එළියට පැමිණ සිටියේ කෙසේදැයි කිසිවෙක් නොදනිති. ඔහු එළියේ සිටි බව දැනගත්තේද මරාදමනු ලැබීමෙන් පසුවය. එසේම ඇතැම් කුඩු රජවරුන් සිරගතව සිටින බව හෙළිවන්නේ ද කුඩු තොග අල්ලා ගැනීමෙන් පසුව සිදුවන විමර්ශනවලදීය. පසුගියදා දෙහිවලදී කුඩු තොගයක් අල්ලා ගැනීමේ සිද්ධියෙන් පසුව එය මෙහෙයවූ රටේ නම ගිය කුඩු රජකු බව පැවැසෙන සුසෙයි නැමැත්තා හිරේ සිටින බව හෙළි වීම බොහෝ දෙනාගේ ඇස් ඇරවන්නක් විය. මරණ දඬුවම පොතෙන් එළියට ගෙන එල්ලුම් ගහ දක්වාම ගෙන යාමේ තීන්දුව ක්‍රියාත්මක කිරීමටද එම සිද්ධිය මූලික විය.

දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහාය කුඩු රජවරුන්ට ලැබුණත් ඒ අතර අවංකවම තම රාජකාරිය ඉටු කරන තම බුද්ධි අංශය හොඳින් ක්‍රියාත්මක කර ලැබෙන තොරතුරු අනුව වැටලීම් කර අපරාධකරැවන් අල්ලන නිලධාරීන් පිරිසක්ද පොලීසියේ සිටීම එක්තරා වාසනාවකි. එසේ නොවන්නට මේ කුඩු තොග නතර වන්නේ රට ඇතුළේය. ඉන් සිදුවිය හැකි විනාශය කොතරම් දැඩි දැයි වටහාගැනීම අපහසු නැත.

මෙහිදී කිවයුතුව තිබෙන තවත් වැදගත් කාරණයක් වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පමණක් කුඩු ජාවාරම මැඩලීමට ප්‍රමාණවත් නොවන බවය. බලයට පත්වන  කිසිදු රජයක් පාතාලය මැඩපවත්වා රටේ නීතිය යථා අන්දමට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ පාතාලයන් තම ඔඩොක්කුවේ තබාගෙන ඔවුන්ට ආරක්ෂාව ලබාදී තමන්ගේ දේශපාලන ජඩකම්වලට යොදවා ගැනීමය. ඒවා නැවැත්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනු එවැනි ක්‍රියාවලියක එක් පියවරක් පමණි. පොලීසියත්, බන්ධනාගාරයත්, දේශපාලනයත් එකතු වුණොත් රටම කුඩු උවදුරින් මුදාගැනීම අසීරැ නොවන බව අපේ විශ්වාසයයි.