2018 ජුලි 14 වන සෙනසුරාදා

නොබැඳි ජාතීන්ගේ උපත

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

2015 දී නව රජය පත්වීමෙන් පසුව මට එක්තරා සුවිශේෂ මෙහෙවරක් පැවරුණේය.  එනම් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් බැන්ඩුං ආසියා - අප්‍රිකානු සම්මේලනයේ හැට වැනි සංවත්සරයට සහභාගී වීමයි. 1955දී ඉන්දුනීසියාවේ බැන්ඩුං නගරයේ පවත්වන ලද්දේ ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන සම්මේලනයකි. එම ඓතිහාසික සම්මන්ත්‍රණයට ආසියානු හා අප්‍රිකානු රටවල් තිහක පමණ නායකයන් පැමිණ සිටි අතර එය නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ මූලාරම්භය හැටියට සැලකෙයි.

1955 රැස්වීම කැඳවන ලද්දේ ඉන්දුනීසියානු ජනාධිපති සුකර්නෝ විසිනි. එකල ඔහු ලෝක පූජිත ජන නායකයෙක් විය. ඉන්දුනීසියාව අල්ලාගෙන සිටි ලන්දේසින් පලවා හැර රටේ අද්විතීය නායකයා හැටියට සුකර්නෝ පත්වූයේය. ජනතාවගේ නිදහස් සටනකට මුහුණදීමට ශක්තියක් නොතිබූ ඕලන්ද රජය යුද පිටියෙන් පසුබැස රටින් පිට විය. එම හිඩැස පිරවීමට සුකර්නෝ ඉදිරිපත් වූයෙන් ඔහු යටත් විජිත රටවල ගෞරවයට පාත්‍ර විය.  ඔහුට මෙම රැස්වීම සංවිධානය කිරීමේ ගෞරවය හිමි වූයේ ඉන්දුනීසියාව ඊට ප්‍රථම කොළඹ රැස්වුණ ආසියානු බලවතුන්ගේ සම්මේලනයට සහභාගී වෙමින් එහිදී ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වූ නිසයි.

‘කොළඹ බලවතුන්’ යැයි විරුදාවලිය ලත් රටවල් වූයේ ඉන්දුනීසියාව, ඉන්දියාව, බුරුමය, පකිස්ථානය හා ලංකාවයි. අනුපිළිවෙළින් එම රටවල්වල නායකයන් වූයේ සුකර්නෝ, ජවහර්ලාල් නේරු, ඌනු, මොහමඩ් අලි හා ජෝන් කොතලාවලයි. මුල් රැස්වීම කැඳවන ලද්දේ ලංකාව විසිනි. එසේ රැස්වූ රාජ්‍ය නායකයන් “කොළඹ ප්‍රකාශනය” නැමැති වැදගත් ලේඛනය ලොවට ඉදිරිපත් කළෝය. එම ප්‍රකාශයේ සඳහන් වූ ප්‍රධාන යෝජනාවක් වූයේ අප්‍රිකානු - ආසියානු නොබැඳුණු රටවල නායකයන්ගේ සමුළුවක් සංවිධානය කළ යුතු බවයි.  එම ප්‍රකාශයට ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවලයි. ඔහුගේ සමීප මිතුරා මෙන්ම විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයා වූයේ රනිල් වික්‍රමසිංහගේ පියතුමා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. එස්මන්ඩ් එවකට ලේක් හවුස් ආයතයේ සභාපතිවරයා මෙන්ම ‘තිරය පිටුපස’ සිට ලංකාවේ දේශපාලනය මෙහෙයවූ බුද්ධිමතා විය. කිසියම් වැඩක් භාර ගතහොත් අවසානය දක්වා ඒ සඳහා කැපවී සිටීම එස්මන්ඩ්ගේ සුවිශේෂ ලකුණක් විය. 1980 ගණන්වලදී ඔහුත් මමත් නූතන සන්නිවේදනය දුප්පත් රටවලට හඳුන්වාදීමට පැරීසියේ යුනෙස්කෝ තුළ අරගලයක් කළෙමු. එසේ කිරීම සඳහා එම එක්සත් ජාතීන්ගේ ආයතනය විසින් පිහිටුවන ලද නව කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා හැටියට මම කටයුතු කළෙමි.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය දියුණු කිරීමට එස්මන්ඩ් විශාල පරිශ්‍රමයක් දැරුවා පමණක් නොව ඔහුගේ කාලය හා ධනය ද ඒ සඳහා කැප කළේය. එකල ලේක් හවුස් පුවත්පත් නොබැඳි ව්‍යාපාරය ගැන පුළුල් ප්‍රචාරයක් කළේය. එපමණක් නොව නොබැඳි රටවල් තුළ සම්බන්ධතා ගොඩනැගීම පිණිස “ජන” නමින් පුවත් සඟරාවක් ද ඔහු නිර්මාණය කළේය.  “ටයිම්” හා “නිව්ස් වීක්” වැනි සුප්‍රසිද්ධ පුවත් සඟරා සමග තරග කිරීමට තරම් ශකිත්මත්ව “ජන” සඟරාව ඉදිරිපත් කිරීමට ඔහුට වුවමනා විය. ඒ සඳහා බේරේ ගෙදර සුප්‍රසිද්ධම ඉංග්‍රීසි භාෂා ලේඛකයන් වූ ජයන්ත පද්මනාභ, රෙජී සිරිවර්ධන, ඩෙන්සිල් පීරිස් හා මර්වින් ද සිල්වා යොදා ගන්නා ලදී. පසු කලෙක හොංකොංවල පළ කරන ලද ජාත්‍යන්තර සඟරා ආදර්ශයට ගත්තේ එස්මන්ඩ්ගේ “ජන” පුවත් සඟරාවයි. මා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් “දෙසතිය” සඟරාව ආරම්භ කිරීමට මට ද ආදර්ශයක් වූයේ එස්මන්ඩ්ගේ “ජන” සඟරාවයි.

“කොළඹ ප්‍රකාශනය” අනුව සැලසුම් කරන ලද බැන්ඩුං සමුළුව සාර්ථක කර ගැනීමට එස්මන්ඩ් විශාල වෙහෙසක් දැරීය. ජාත්‍යන්තර සිරිත අනුව සමුළුවට සහභාගී වීමට රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ඔහුට රට රටවල්වලට යෑමට සිදුවූ බව ඔහු මට වරක් පැවසුවේය. ඒ ගමන් සඳහා ඔහු යොදාගත්තේ තමාගේ පෞද්ගලික ධනයයි. වරක් අප දෙදෙනා බැංකොක් නගරයේ සම්මන්ත්‍රණයකට සහභාගී වන අතර ඔහු දිගු කලකට පෙර තායිලන්තයේ පාලක සේනාධිපතියාව හමුවූ හැටි මට විස්තර කළේය. ඒ වන විට අමෙරිකන් රජයේ ඉත්තෙක් වූ තායි නායකයා මෙම හවුලට එක්වීමට අදිමදි කළේය. වැඩි කල් නොගොස් නොබැඳි සමුළුව දෙස අමෙරිකන් පාලකයන් වපර ඇසකින් බැලීමට පටන් ගත්තෝය. එයට ප්‍රධාන හේතුව වූයේ බැන්ඩුං සමුළුවට එන ලෙස නව චීනයට ආරාධනා කිරීමයි. අමෙරිකන් ඉත්තා වූ චියාං කයි ෂෙක් මේ වන විට පැනගොස් කුඩා දූපතක රැඳුණ අතර අමෙරිකන් නායකයන් විසින් ඔහුව චීන රාජ්‍ය නායකයා හැටියට තවදුරටත් පිළිගත්තෝය. අමෙරිකන් පාලකයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රතිගාමී ආරක්ෂක වළල්ල බිඳ දැමීමට හොඳම උපාය මාර්ගය හැටියට චීන අගමැති චූ එන් ලායි නොබැඳි රටවල් සමඟ අත්වැල් බැඳ ගනිමින් බැන්ඩුං සම්මේලනයට සහභාගී විය. රතු චීනයට අමෙරිකන් රජය කොතරම් වෛර කළාද යත් ඔවුන් චූ එන් ලායි රුගෙන එනවායි සැක කළ ගුවන් යානය ගමන් ගන්නා අතර එය තුළ බෝම්බයක් පුපුරවා හැරියෝය. එහෙත් කලින් ඔත්තුවක් අනුව චූ වෙනත් ගුවන් යානයකින් ඉන්දුනීසියාවට පැමිණියේය. අමෙරිකන් ඉත්තන් ලංකාවේ ද ඇතැම් මර්මස්ථාන අල්ලාගෙන සිටියෝය. (අගමැති චූ එන් ලායි ලංකා සංචාරයකට පැමිණි විට “චූ කළාද?” කියා පෝස්ටරයක් කොළඹ පුරාම අලවන ලදී. එකල කොළඹ ප්‍රවාදයක් වූයේ එය ප්‍රසිද්ධ පුවත්පත් ලේඛකයෙක් වූ ධර්මසිරි කුරුප්පුගේ නිර්මාණයක් වූ බවයි.)

ප්‍රධාන ආසියානු නායකයන් පස්දෙනා අතරින් වඩාත්ම බටහිර ගැති නායකයා වූයේ සර් ජෝන්ය. අනිත් අතට ඉන්දුනීසියානු විදේශ ඇමැති කොමියුනිස්ට්වාදියෙක් හැටියට සලකන ලදී. නේරු හා යු.නු. මධ්‍යස්ථව සිටි අතර සර් ජෝන් සමඟ පකිස්ථානයේ මෙහොමඩ් අලි ද චීනයට එරෙහිව ඇනුම්පද කීමට එක්විය. එකල පකිස්ථානය අමෙරිකන් ආධාරයෙන් යැපුණු රටක් වූ අතර ඔවුන් ඉන්දියාවේ අගමැති නේරුව දුටුවේ හතුරු නායකයෙක් හැටියටයි.

බැන්ඩුං සමුළුවේ වීරයා වීමට තැත් කළේ ජවහර්ලාල් නේරුයි. මේ වන විට ඔහුට මුළු ලෝකය පුරාම විශාල ගෞරවයක් හිමිව තිබුණේය. “නොබැඳි ජාතීන්” නමැති සංකල්පය ගොඩනැගුවේ සුපතල බුද්ධිමතෙක් වූ නේරුයි. ඔහු චීන අගමැතිව සෙසු නායකයන්ට හඳුන්වා දීමට ඉදිරිපත් විය. සර් ජෝන් ඔහුට කීකරු නූන නිසා නේරු ලංකා අගමැතිට තරවටුවක් ද කළේය. “ඇයි මගෙන් නොඅසා ඔබ කතාවක් කළේ?” යැයි ඔහු චෝදනා මුඛයෙන් කොතලාවලගෙන් විමසීය. “මං මොකටද ඔයාගෙන් අහන්නේ? ඔයා කතා කරන්නේ මගෙන් අහලා දැයි” කොතලාවල පිළිතුරු දුන්නේ සුපුරුදු මුරණ්ඩු ලීලාවෙනි.

චූ එන් ලායි සමඟ කුළුපග වීමට නේරු මහන්සි ගත්තත් වැඩිකල් යන්නට පෙර දේශ සීමා අරගලයක් නිසා ඉන්දියාව හා චීනය අතර තදබල විරසකයක් ඇති විය. නේරු චීනය අතහැර අමෙරිකන් ආධාර පැතීය. යුද්ධය නිසා නේරු බෙහෙවින් සිත් තැවුලට පත්වී ටික කලකින් හෘදයාබාධයකින් මිය ගියේය. සමහරවිට ඒ වන විට ඔහු ජෝන් කොතලාවලගේ මතය නිවැරදි යැයි සිතන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැකිය‍.

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30